
මේ වන විට ලොව වැඩි ම ජනගහනයක් සිටින රටවල් අතර පස්වැනි ස්ථානය හිමි වී තිබෙන්නේ පාකිස්තානයටයි. එරටේ ජනගහනය 212,357,000 කි. මෑත ඉතිහාසයේ එරටේ ඉතා තීරණාත්මක දිනයක් ලෙසට පසුගිය ජූලි මස 25 වැනිදා දැක්විය හැකිය.
ඒ 2018 මහ මැතිවරණය එදින පැවැත්වූ බැවිනි. එය ජය ගැනීමට සමත් වූයේ ටෙහ්රීක් - ඊ - ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂයයි. එම පක්ෂය පිහිටුවූයේ 1996 වසරේදීය. මෙවරත් එම පක්ෂය තරග කළේ හිටපු සුපිරිතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේය.
ඒ අනුව පාකිස්තානයේ මීළඟ අගමැතිවරයා වශයෙන් ඉම්රාන් ඛාන් තේරීපත් වී තිබේ. ලෝක දේශපාලන ඉතිහාසයේ රටවල ජනාධිපති හෝ අගමැති ධුරයන්ට තේරී පත් වූ ඇතැමුන් කලක් ක්‍රීඩාවල නිරත වූවන්ය.
ඉම්රාන්ට පෙර සිය රටේ නායකත්වයට තේරීපත් වූ ක්‍රීඩකයා ජෝර්ජ් වෙයාහ්ය. ඒ මේ වසරේ මුලදී ය. හෙතෙම ලයිබීරියාව නැමැති අප්‍රිකානු රාජ්‍යයේ විශිෂ්ටතම පාපන්දු තරුවයි. මෙසේ කලක් ක්‍රීඩකයන්ව සිට පසුව රටවල නායකත්වයට පත් වූ විදෙස් දේශපාලනඥයන් කිහිප දෙනෙකු පිළිබඳ විමසා බැලීම කාලෝචිත ය.
ඉම්රාන් ඛාන් (පාකිස්තානය)
ඉම්රාන් අහ්මඩ් ඛාන් නියාසි 1952 ඔක්තෝබර් 05 උපත ලැබීය. 2018 වසරේ දී අගමැති ධුරයට තේරීපත් විය. ඉම්රාන් වඩාත් ප්‍රකටව සිටියේ තුන් ඉරියව් හපෙනකු සහ විශිෂ්ටතම නායකයකු ලෙසටයි. හෙතෙම 1971 සිට 1992 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. ඒ දකුණත් පිතිකරුෙවක් සහ දකුණත් වේග පන්දු යවන්නකු ලෙසටයි.
ඔහුට ටෙස්ට් තරග 88 කි. ලකුණු 3807 කි. කඩුලු 362 කි. රැක ගත් උඩපන්දු 28 කි. මීට අමතරව එක්දින ජාත්‍යන්තර තරග 175 කි. ලකුණු 3709 කි. කඩුලු 182 කි. උඩපන්දු 36 කි. එමෙන්ම 1992 ලෝක ශූරයන්ගේ නායකයාත් ඉම්රාන් ය. රටක නායකත්වයට තේරී පත් වූ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා ඉම්රාන් වේ.
ජෝර්ජ් වෙයාහ් (ලයිබීරියාව)
ජෝර්ජ් ටොව්ලන් මානෙහ් ඕපොන්ග් අවුස්මන් වෙයාහ් 1966 වසරේ ඔක්තෝබර් 01 උපත ලැබීය. හෙතෙම එරටේ 25 වැනි සහ වත්මන් ජනපතිවරයා ලෙස තේරී පත් වූයේ 2018 ජනවාරි මාසයේදීය. ඔහු සුපිරිත ම පාපන්දු තරුවකි. ඒ වගේම ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි.
වෙයාහ් 1987 - 2007 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. එහිදී තරග 60 කි. රැස් කළ ගෝල 22 කි. ප්‍රංශයේ මොනකෝ, පැරිස් සෙයින්ට් ජර්මෙයින්, මාර්සෙයි, ඉතාලියේ ඒ.සී. මිලාන්, එංගලන්තයේ චෙල්ෂි සහ මැන්චෙස්ටර් සිටි ඔහු ක්‍රීඩා කළ ප්‍රධානතම කණ්ඩායම් වේ.
විශිෂ්ට දස්කම් නිසා ම ප්‍රධානත ම පාපන්දු සම්මාන සතරකින් ද ඔහුගේ ක්‍රීඩා දිවිය සම්පූර්ණ ය. ඒ ලෝක පාපන්දු සම්මේලන (ෆීෆා) වසරේ ක්‍රීඩකයා 1995 සහ 1989, 94, 95 අප්‍රිකානු වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයන්ය.
ජෝර්ජ් වොෂිංටන් (ඇමෙරිකාව)
උපත - 1732 පෙබරවාරි 22 - විපත 1799 දෙසැම්බර් 14 ජීවත් වූයේය. ලොව සුපිරිත ම බලවතාගේ ප්‍රථම ජනපතිය. ඒ 1789 - 97 අතර කාලයේදීය. වොෂිංටන් දේශපාලනයට පිවිසීමට පෙර දක්ෂතම මල්ලවපොර ක්‍රීඩකයෙකි.
ඒබ්‍රහම් ලින්කන් (ඇමෙරිකාව)
ලින්කන් ජීවත් වූයේ 1809 පෙබරවාරි 12 සිට 1865 අප්‍රේල් 15 දක්වා ය. හෙතෙම එරෙට් 16 වැනි ජනපතිය. ඒ 1861 සිට 1865 දක්වාය. ලින්කන් විශිෂ්ටතම මල්ලවපොර තරුවකි. ඒ සඳහා ඔහුගේ අඩි 6 අඟල් 4 උසත් බලපෑවේය. හෙතෙම ක්‍රීඩකයකු ලෙසට ඉලිනොයිස් ප්‍රාන්ත ශූරතා ජය ගත්තේ ය.
ශ්‍රීමත් ඇලෙක් ඩග්ලස් හෝම් (බ්‍රිතාන්‍යය)
ඇලෙක්සැන්ඩර් ෆ්‍රෙඩරික් ඩග්ලස් හෝම් උපත - 1903 ජූලි 02. විපත 1995 ඔක්තෝබර් 09 අතර ජීවත් විය. හෙතෙම 1963 - 64 දක්වා අගමැති ධුරය දැරීය. බ්‍රිතාන්‍ය අගමැති ධුරය දැරූ පළමු සහ එක ම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයා ය.
ඔහු දකුණත් පිතිකරුවෙකි. දකුණතින් මද වේග පන්දු යැවීය. පළමු පෙළ තරග කාලය 1924 - 27 දක්වාය. තරග 10, ලකුණු 147, කඩුලු 12 සහ උඩපන්දු 09 කි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, මිඩ්ල්සෙක්ස් සහ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (එම්.සී.සී.) යන කණ්ඩායම්වලට ඔහු ක්‍රීඩා කළේය.
වුඩ්රොව් විල්සන් (ඇමෙරිකාව)
තෝමස් වුඩ්රොව් විල්සන් 1856 දෙසැම්බර් 28 - 1924 පෙබරවාරි 03 දක්වා ජීවත් විය. ඔහු එරටේ 28 වැනි ජනපතිවරයා ය. ඒ 1913 - 21 අතර කාලයේදී ය. විල්සන් දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකි. ඒ වගේ ම රග්බි ක්‍රීඩා පුහුණුකරුවෙකි.
තියඩෝර් රූස්වෙල්ට් කනිෂ්ඨ (ඇමෙරිකාව)
26 වැනි ඇමෙරිකන් ජනපතිවරයා ය. ඒ 1901 - 1909 දක්වාය. රූස්වෙල්ට් ජීවත් වූයේ 1858 ඔක්තෝබර් 27 සිට 1919 ජනවාරි 06 දක්වාය. හෙතෙම ක්‍රීඩා කිහිපයකට ම දක්ෂයෙකි. ඒ මල්ලවපොර, බොක්සිං, ඔරු පැදීම, ටෙනිස් සහ ජුඩෝ වැනි ක්‍රීඩාවලටයි.
නවාස් ෂරිෆ් (පාකිස්තානය)
1949 දෙසැම්බර් 25 උපත ලැබීය. මියාන් මුහමද් නවාස් ෂරිෆ් පාකිස්තානයේ 12 වැනි අගමැතිවරයාය. ඔහු තෙවරක් අගමැති ධුරය දැරීය. ඒ 1990 - 93, 1997 - 99 සහ 2013 - 17 දක්වාය. හෙතෙම 1973 - 74 තරගවාරයේදී පළමු පෙළ තරගයකට ක්‍රීඩා කළේය. ඒ පාකිස්තාන දුම්රිය සේවා කණ්ඩායම නියෝජනය කරමිනි. ප්‍රතිවාදින් වූයේ පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවා කණ්ඩායමයි. ෂරිෆ් දකුණත් පිතිකරුවෙකි. කෙසේ වෙතත් ඉහත තරගයේදී ඔහුට ලකුණු ලබා ගැනීමට නොහැකි විය.
ඩ්වයිට් අයිසන්හවර් (ඇමෙරිකාව)
ඩ්වයිට් ඩේවිඩ් ‘අයික්’ අයිසන්හවර් 1890 ඔක්තෝබර් 14 උපත ලැබීය. 1969 මාර්තු 28 මිය ගියේය. ඔහු එරටේ 34 වැනි ජනපතිවරයාය. ඒ 1953 - 61 අතර කාලයේදීය. ගොල්ෆ්, ඇමෙරිකානු පාපන්දු, බේස්බෝල්, බොක්සිං, ජිම්නාස්ටික් සහ කඩුහරඹ වැනි ක්‍රීඩාවල නිරත වූයේය.
ඔහු කෙටි කලක් වෙනත් නමක් භාවිතා කරමින් අර්ධ වෘත්තීමය බේස්බෝල් ක්‍රීඩා කළේය. එමෙන් ම විශ්ව විද්‍යාල කණිෂ්ඨ පාපන්දු පුහුණුකරුවෙකුත් විය.
බොබ් හෝව්ක් (ඔස්ට්‍රේලියාව)
රොබට් ජේම්ස් ලී හෝව්ක් 1929 දෙසැම්බර් 09 උපත ලැබීය. 1983 - 91 දක්වා එරටේ 23 වැනි අගමැතිවරයාය. 1950 දශකයේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකි.
ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් (ඇමෙරිකාව)
1924 ජුනි 12 උපත ලැබීය. ජෝර්ජ් හර්බට් වෝල්කර් ඇමෙරිකාවේ 41 වැනි ජනපතිවරයාය. ඒ 1989 - 93 දක්වාය. ඔහු යේල් විශ්ව විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමේ නායකයෙකි.
ටුයිලායෙපා මාලියිලිගාඕයි (සැමෝවා)
ටුයිලායෙපා අයෝනෝ සායිලෙලේ මාලියිලිගාඕයි 1945 අප්‍රේල් 14 උපත ලැබීය. හෙතෙම 1998 වසරේ සිට සැමෝවා 07 වැනි අගමැතිවරයා ලෙසට කටයුතු කරයි. ඔහු සැමෝවා රග්බි සංගමයේ සභාපතිවරයාය. ඔහු සතුව අපූරු වාර්තාවක් තිබේ. එනම් තෝරා ගත් රාජ්‍ය නායකයා ලෙසට ක්‍රීඩා උලෙළකදී සිය රට නියෝජනය කළ ලොව ප්‍රථමයා වශයෙනි.
ටුයිලායෙපා 2007 වසරේ පැවැති 13 වැනි දකුණු පැසිෆික් ක්‍රීඩා උලෙළට සහභාගි විය. ඒ දුණු විදීමෙනි. එහිදී මිශ්‍ර කණ්ඩායම් තරග ඉසව්වෙන් රිදී පදක්කමක් ද ඔහු හිමිකර ගත්තේය. මේ අතර ඔහුගේ පුත්‍රයාත් එහිදී අතිරේක ක්‍රීඩකයකු වූයේය.
ජෝන් එෆ්. කෙනඩි (ඇමෙරිකාව)
ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි 1917 මැයි 29 උපත ලැබීය. මිය ගියේ 1963 වසරේ නොවැම්බර් 22 වැනිදාය. ජේ.එෆ්.කේ. නමින් ප්‍රචලිත වූ ඔහු එරටේ 35 වැනි ජනපතිය. ඒ 1961 - 63 අතර කාලයේදීය. හෙතෙම හාවඩ් විශ්ව විද්‍යාල සමයේ දී පාපන්දු, රුවල් ඔරු සහ පිහිනුම් ක්‍රීඩාවෙන් තරග ජය ගත්තේය.
ව්ලැදිමිර් පුටින් (රුසියාව)
ව්ලැදිමිර් ව්ලැදිමිරොවිච් පුටින් 1952 ඔක්තෝබර් 07 උපත ලැබුවේය. ඔහු රුසියාවේ 33 වැනි අගමැතිවරයාය. ඒ 1999 - 2000 සහ 2008 - 12 දක්වාය. එමෙන් ම දෙවැනි සහ සිවුවැනි ජනපතිවරයා ය. ඒ 1999 - 2008 සහ 2012 සිට වත්මන දක්වාය.
හෙතෙම ක්‍රීඩාවට ලැදිය. ඒ විශේෂයෙන් ම ආත්මාරක්ෂක සටන් කලාවන්ටය. ඔහු මුලින් ම යොමු වූයේ ජූඩෝ ක්‍රීඩාවටය. ඒ වයස අවුරුදු 11 සිටය. මේ වන විට ඔහු කළුපටිධාරියෙකි. අයිස් හොකී සහ හිම මත ලිස්සා යාම ඔහු නිරත වන වෙනත් ක්‍රීඩාවන්ය.
ජෙරල්ඩ් ෆෝඩ් කනිෂ්ඨ (ඇමෙරිකාව)
1913 ජූලි 14 උපත ලැබීය. 2006 දෙසැම්බර් 26 මිය ගියේය. ජෙරල්ඩ් රුඩොල්ෆ් ෆෝඩ් ඇමෙරිකාවේ 38 වැනි ජනාධිපතිවරයාය. ඒ 1974 සිට 77 දක්වාය. ඇමෙරිකානු පාපන්දු, බොක්සිං සහ ගොල්ෆ් වැනි ක්‍රීඩාවන්ට දක්ෂයෙකි.
1932 සහ 33 ඇමෙරිකානු පාපන්දු ජාතික ශූරතාව දිනූ මිචිගන් කණ්ඩායමේ සාමාජිකයෙකි. එමෙන් ම එම තරගාවලියේ 1934 වසරේ වටිනාම ක්‍රීඩකයාත් විය.
පසුකළෙක පාපන්දු පුහුණුකරුවෙකුත් විය. කෙසේ වෙතත් ඔහුට වෘත්තීමය ක්‍රීඩකයෙක් වීමේ අවස්ථාවත් ලැබුණි. නමුත් ඒ වෙනුවට ඔහු යේල් විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරුවේය.
යුර්හෝ කෙකෝනෙන් (පින්ලන්තය)
පින්ලන්තය යනු ස්කැන්ඩෙනේවියානු රටකි. යුර්හෝ 1900 සැප්තැම්බර් 03 උපත ලැබීය. 1986 අගෝස්තු 31 මිය ගියේය. පින්ලන්තයේ 21 වැනි අගමැතිය. ඒ 1954 - 56 දක්වා ය. එමෙන් ම එරටේ 08 වැනි ජනපතිය. එරටේ දිගුම කාලයක් එම ධුරය දැරීය. ඒ 1956 - 82 දක්වාය. ඔහු දක්ෂ මලල ක්‍රීඩකයෙකි. 1924 වසරේ එරටේ උස පැනීමේ ශූරයාය.
රොනල්ඩ් රේගන් (ඇමෙරිකාව)
රොනල්ඩ් විල්සන් රේගන් 1911 පෙබරවාරි 06 සිට 2004 ජුනි 05 දක්වා ජීවත් වූයේය. එරටේ 40 වැනි ජනපතිය. ඒ 1981 - 89 දක්වාය. දේශපාලනයට පිවිසීමට පෙර හෙතෙම හොලිවුඩ් නළුවෙකි. ඊටත් පෙර ක්‍රීඩාවට දක්ෂයෙකි. හෙතෙම කලක් ක්‍රීඩා ප්‍රචාරකයෙකි. පාපන්දු සහ මලල ක්‍රීඩකයෙකි. එමෙන් ම පිහිනුම් ක්‍රීඩකයෙකි. ඒ වගේ ම ජීවිතාරක්ෂකයෙකි. ඔහු විසින් 77 දෙනකුගේ පමණ ජීවිත බේරා ගැනීමට දායක වී තිබේ. මෙවැනි දේ නිසා ඔහුට විශේෂ රන් පදක්කමක් ද හිමි වී තිබේ. තවද ජාත්‍යන්තර පිහිනුම් ශ්‍රේෂ්ඨයන් අතරටත් ඔහුව තෝරා ගත්තේය.
ශ්‍රීමත් ජෝන් මේජර් (බ්‍රිතාන්‍යය)
1943 මාර්තු 29 උපත ලැබීය. 1990 - 97 බ්‍රිතාන්‍ය අගමැතිය. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුට පළමු පෙළ තරග වරම අහිමි විය. ඒ ගුවන් අනතුරකදී දණහිසක් බරපතළ ලෙස තුවාල වීම නිසාවෙනි. පසුකළෙක ක්‍රිකට් ඉතිහාසය ගැන ග්‍රන්ථයකුත් ඔහු ලියුවේය. තවද එම්.සී.සී. කමිටුවේ සාමාජිකයෙකි.
ජෝර්ජ් ඩබ්. බුෂ් (ඇමෙරිකාව)
ඉහත ජෝර්ජ් බුෂ්ගේ පුත්‍රයාය. ජෝර්ජ් වෝල්කර් බුෂ් 1946 ජූලි 06 උපත ලැබීය. 43 වැනි ඇමෙරිකන් ජනපතිය. ඒ 2001 - 09 දක්වාය. ඔහු මවුන්ටන් පාපැදි, මලල ක්‍රීඩාවටත් දක්ෂයෙකි. 1993 වසරේ හුස්ටන් මැරතන් තරගයටත් සහභාගි විය. එය නිමා කිරීමට ගත කළ කාලය පැය 3 විනාඩි 44 තත්පර 52 කි.
මාර්කස් ස්ටීවන් (නාවුරු)
නාවුරු යනු මධ්‍යම පැසිෆික් කලාපයේ රාජ්‍යයකි. මාර්කස් 2007 - 11 දක්වා එරටේ ජනාධිපතිවරයා ය. ඔහු 1969 ඔක්තෝබර් 01 උපත ලැබීය. හෙතෙම ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීය.
එහිදී ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාවේ නිරත විය. කෙසේ වෙතත් ඔහු පසුව ප්‍රචලිත වූයේ බර ඉසිලීමේ ශූරයකු වශයෙනි. ඔහු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් 07 ක් සහ රිදී පදක්කම් 05 ක් හිමි කර ගත්තේ 1990 - 2002 අතර කාලයේදීය. එමෙන් ම 1999 ලෝක ශූරතාවලියේ රිදී පදක්කම් ලාභියෙකි.
බැරක් ඔබාමා (ඇමෙරිකාව)
බැරක් හුසේන් ඔබාමා 1961 අගෝස්තු 04 උපත ලැබීය. ඔහු 2009 - 17 අතර එරටේ 44 වැනි ජනපතිය. හවායි ප්‍රාන්ත උසස් පාසල් බාස්කට්බෝල් (පැසිපන්දු) ශූරතාව හිමි කර ගත් කණ්ඩායමේ සාමාජිකයෙකි.










