ඇන්ජි ක්‍රිකට් ලෝක කුසලානයේ ‍ලොකුම බලාපොරොත්තුවයි | සිළුමිණ

ඇන්ජි ක්‍රිකට් ලෝක කුසලානයේ ‍ලොකුම බලාපොරොත්තුවයි

 සංගා

ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකවීමට නම් ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍යම සාධකයක් වන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සංගා පවසයි.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් 2015 පැවැති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පිට පිට ශතක හතරක් වාර්තාකරගත් එකම පිතිකරුවා වන සංගා බංග්ලාදේශයට නොදැවී 105, එංගලන්තයට‍ නොදැවී 117, ඔස්ට්‍රේලියාවට 104, සහ ස්කොට්ලන්තයට එරෙහිව 124 බැගින් ශතක රැස් කිරීමට සමත් විය. සංගා විශ්වාස කරන පරිදි ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය පසුපස ඇන්ජිගේ තුන් ඉරියව් දක්ෂතා ඉතා වැදගත් බවයි.‍ සංගා පවසන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු බල ඇණිය ශක්තිමත් මෙන් ම එතරම් ගැටලුවක් නොවන නමුත් පන්දු යැවීමේ අංශයේ යම් යම් ගැටලු පවතින බව පවසයි.

“මම විශ්වාස කරන විදියට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරයි. ශ්‍රී ලංකාව සතුව විශිෂ්ට පිතිකරුවන් ඉන්නවා. මම හිතන විදියට පන්දු යැවීමේ අංශයේ යම් යම් ගැටලු තියෙනවා. අපට හඹා යා හැකි තරම් ලකුණුවලට ප්‍රතිවාදීන් නවත්වා ගන්න හෝ අපේ පිතිකරු බලඇණිය ලකුණු පුවරුවට එක් කරන ලකුණුවලට වඩා අඩුවෙන් ප්‍රතිවාදී පිතිකරුවන් නවත්වා ගන්න අපට දක්ෂ පන්දු යැවීමේ බලඇණියක් අවශ්‍ය වෙනවා‍.“

ජනවාරි මස සිට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ කටයුතු කළ නමුත් වරින් වර මතු වූ ආබාධ තත්ත්වයන් නිසා ඇන්ජිට දිගින් දිගටම කණ්ඩායමේ රැඳී සිටීමට අවස්ථාව නොලැබුණි. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ නැවතත් නායකයා ලෙස කටයුතු කරන්නේ ද ඇන්ජලෝයි.

ගෙවී ගිය වසරේ පැවැති අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඇන්ජි පිතිකරණයේ පමණක් යෙදුණු අතර, එකදු පන්දුවක් හෝ යැවීමට හැකි නොවීය. කෙසේ වෙතත් සංගා විශ්වාස කරන පරිදි එළැඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීමට‍ නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් විය යුතු ය.

“ඇන්ජි ක්‍රීඩා කරන විදියට තමයි කණ්ඩායමේ සමබරතාව රඳා තියෙන්නේ. ඇන්ජි පන්දු යැවීමට සුදුසු මට්ටමේ ශාරීරික යෝග්‍යතාවයෙන් සිටිනවා ද කියන කරුණ උඩ හුඟක් දේවල් තීරණය කරන්න පුළුවන්. මේ තරගාවලියේ වැදගත් ම දේ සහ වටිනාම දේ තමයි ඇන්ජිගේ තුන් ඉරියව් දක්ෂතා මගින් කණ්ඩායමට රැගෙන එන සමබරතාව. මට ලොකු විශ්වාසයක් තියෙනවා, ශ්‍රී ලංකාව වැදගත් තරගාවලි ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක් කියන එක“ සංගා වැඩිදුරටත් පවසයි.‍

 

 

Comments