
• දේශපාලන පක්ෂ 55ක්
• ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 23ක්
නිදහස් සිම්බාබ්වේ රාජ්‍යයේ 38 වසරක ඉතිහාසය තුළ ප්‍රථම වරට එරට නිදහස් සටනෙහි නායකයා වූ රොබර්ට් මුගාබේ සහභාගී නොවන ජනාධිපතිවරණයක් ද ඊට සමගාමීව පාර්ලිමේන්තු මැතිවරණයක් ද ජූලි 30 වන සඳුදා පවත්වනු ලබයි.
මෙහිදී ජනාධිපතිවරණයේ පළමු වටය පැවැත්වෙන අතර එහිදී කිසිදු අපේක්ෂකයකු සියයට 50 ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් හොඳ ම අපේක්ෂකයන් දෙදෙනා අතර දෙවන වටයේ තරගයක් පවත්වනු ඇත.
මේ අතර එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට ද සභිකයන් 270 ක් පත් වීමට නියමිත ය. ඉන් 210 ක් කේවල ක්‍රමයට පත් වන අතර ඉතිරි 60 දෙනා කාන්තා නියෝජනය සඳහා වෙන් කර තිබේ. ඔවුන් පත් වන්නේ සමානුපාත ක්‍රමයකිනි. මේ අතර සෙනට් සභාවේ ආසන 80 න් 60 කට ද මන්ත්‍රීන් සමානුපාත ක්‍රමයකට පත් කෙරෙන අතර ආසන 18 ක් සාම්ප්‍රදායික ගෝත්‍ර නායකයන්ට ද ආසන දෙකක් ආබාධිත තැනැත්තන්ට ද වෙන් කර ඇත.
කලක පටන් විපක්ෂ දේශපාලන පක්ෂයන්ට විවිධ බාධා කිරීම් සිදු වූ සිම්බාබ්වේ හි එම බාධා ඉවත් කිරීමත් සමඟ විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය විය. මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 55 ක් ඉදිරිපත් වීම ඊට උදාහරණයකි. මේ අතර ජනාධිපතිවරණයට ද අපේක්ෂකයෝ 23 දෙනකු වෙති. මින් සිව් දෙනෙකු කාන්තාවන් ය.
මේ මැතිවරණය සඳහා ලියපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 5.5 කි. ඉන් 200,000 ක් නව ඡන්ද දායකයන් බව සිම්බාබ්වේ මැතිවරණ කොමිසම පවසයි.
මුගාබේ
දැනට 94 හැවිරිදි වුව ද, 2017 නොවැම්බරය වනතුරු ම සිම්බාබ්වේ හි හිටපු නායකයා බලාපොරොත්තු වූයේ 2018 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ය. කෙතරම් වයෝවෘද්ධ ව සිටිය ද මුගාබේ තම ජයග්‍රහණය පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තබා සිටියේ ය. ඔහුගේ බිරිය වූ ග්‍රේස් මුගාබේ ඊටත් වඩා විශ්වසනීයත්වයකින් ඒ පිළිබඳව වහසි බස් දෙඩුවා ය. එය කෙතරම් නිර්ලජ්ජිත තත්ත්වයකට පත් වීද යත් මුගාබේ මිය ගියත්, ඔහුගේ මළ සිරුරට පවා ජනාධිපතිවරණය ජයගත හැකි යයි ඇය කියා සිටියා ය.
තවද, රොබර්ට් මුගාබේගේ අනුමැතිය නොමැතිව ඔහුගේ පක්ෂයේ වෙනත් අයකුට ද ජනාධිපති සටනට එළැඹ ජයගත නොහැකි බව ද ග්‍රේස් මුගාබේ විටෙක පැවසුවා ය.
එහෙත් මුගාබේ නායකත්වය දුන් සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව - දේශප්‍රේමී පෙරමුණ (Zimbabwe African National Union - Patriotic Front) හෙවත් ZANU-PF පක්ෂය මෙවර සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එමර්සන් ම්නන්ගග්වා තෝරාගත්තේ මුගාබේගේ සහයෙක් නොවේ. රොබර්ට් මුගාබේ 2017 නොවැම්බර් මාසයේදී කුමන්ත්‍රණයක් මඟින් බලයෙන් පහ කරන ලද්දේ ඔහුගේ ම පක්ෂය තුළ ඇති වූ බල අරගලයක ප්‍රතිඵලය ලෙස ය.
ග්‍රේස් මුගාබේ නොවන්නට ඇතැම්විට රොබර්ට් මුගාබේ තවමත් සිම්බාබ්වේ ජනාධිපති ධූරයේ සිටින්නට ඉඩ තිබුණි. ඇය වැඩි වැඩියෙන් දේශපාලන කටයුතුවලට ඇඟිලි ගැසීමත් සමඟ ZANU-PF පැරණි සාමාජිකයන් සහ ඇගේ ආධාරකරුවන් අතර බෙදීමක් ඇති වූයේ ය. ග්‍රේස් මුගාබේට අවශ්‍ය වූයේ උප ජනාධිපති තනතුර තමන් අතට ලබා ගැනීම ය. එවකට උප ජනාධිපති වූ එමර්සන් ම්නන්ගග්වා හදිසියේ ම ඒ ධුරයෙන් ඉවත් කිරීමත් සමග ඇගේ අවශ්‍යතාව ඉටු වූ බවක් පෙනිණි. නමුත් ඒ අවස්ථාවේ හමුදාව මැදිහත් වූයේ ය. ඉන් දින කිහිපයකට පසු මුගාබේ බලයෙන් ඉවත් වූයේ ය. මේ අතර ග්‍රේස් මුගාබේ සහ ඇය වටා සිටි "40 පරපුර" කණ්ඩායම ද ඉවතට තල්ලු වී ZANU-PF පැරණි කාඩර්වරුන් යළි බලය ලබා ගත් හ.
මෙහි අර්ථය නම් මුගාබේ සම්පූර්ණයෙන් ම අතුරුදහන් වී ඇති බව නොවේ. ඔහුගේ බලපෑම තවමත් ඔහුගේ ආධාරකරුවන්ට ශක්තිය ගෙන දෙයි. පැරණි ZANU-PF පාක්ෂිකයන් වූ මුගාබේ ආධාරකරුවන් පිරිසක් ජාතික දේශප්‍රේමී පෙරමුණ (National Patriotic Front - NPF) නම් දේශපාලන පක්ෂයක් පිහිටුවාගන සිටිති.
මේ අතර ම්නන්ගග්වා පරාජය වනු දකිනු රිසියෙන් ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වන ව්‍යාපාරය - ට්ස්වන්ගිරායි (Movement for Democratic Change - Tsvangirai) පක්ෂය හෙවත් MDC-T වෙත මුගාබේ රහසින් ආධාර කරන බව ද පැවසෙන නමුත් එය තහවුරු නොවූ චෝදනාවකි. වරක් හිස් කබල පුපුරා යන ලෙස මුගාබේගේ ආරක්ෂක අංශවලින් පහර කෑමට ලක් වූ දේශපාලකයකු වන 40 හැවිරිදි MDC-T නායක නෙල්සන් චමීසා මේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
කෙසේ නමුත් ජාතික දේශප්‍රේමී පක්ෂයේ ඇම්බ්‍රෝස් මුටින්හිරි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටින එක් අපේක්ෂකයෙකි. හිටපු ගරිල්ලා සටන්කරුවකු ද, නිදහස් සිම්බාබ්වේ හි විශ්‍රාමලත් යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු ද වන ඔහු හිටපු ඇමතිවරයකු ද විය. ඔහු ප්‍රකට සිම්බාබ්වේ නිළියක වන විම්බායි මුටින්හිරිගේ පියා ය. ඔහු ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව මුගාබේ කෙතරම් පිරිසකගේ විශ්වාසය තව දුරටත් දිනාගෙන සිටින්නේද යන්න අවබෝධ කරගත හැකි වනු ඇත.
අපේක්ෂකයෝ
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 23 දෙනෙක් ඉදිරිපත් ව සිටිති. මෙයින් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ 75 හැවිරිදි ම්නන්ගග්වා සහ 40 හැවිරිදි චමීසා ය.
ම්නන්ගග්වා දිගු කලක් තිස්සේ නිදහස් සටනේ ප්‍රබලයකු ව සිටි අතර 1980 සිට ම සිම්බාබ්වේ රජයේ ප්‍රබලයකු විය. 2014 දී ජොයිස් මුජුරු උප ජනාධිපති තනතුරින් ඉවත් කළ පසු එම තනතුරට පත් වූ ඔහුව 2017 දී ඉවත් කිරීම මුගාබේගේ බලය බිඳ වැටීමට හේතු විය.
මේ අතර චමීසා සිම්බාබ්වේ හි පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ වයස අවුරුදු 25 ක් වෙද්දී ය. ඒ අනුව සිම්බාබ්වේ ඉතිහාසයේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස ද පසුව එරට ළාබාල ම ඇමති ලෙස ද ඔහු වාර්තාවක් තැබී ය. 2018 පෙබරවාරියේදී මෝර්ගන් ට්ස්වන්ගිරායි මිය ගියෙන් චමීසා ඔහුගේ MDC-T පක්ෂයේ නායකයා ලෙස පත් වූයේ ය.
මීට අමතරව අනෙකුත් අපේක්ෂක අපේක්ෂිකාවන් අතර හිටපු උප ජනාධිපතිණි ජොයිස් මුජුරු ද වේ. ඇය 2014 වනතෙක් ප්‍රබල ZANU-PF පාක්ෂිකාවක වූ අතර වර්තමානයේ ජාතික ජනතා පක්ෂය නම් නව පක්ෂයක් මෙහෙයවයි.
මෙවර මැතිවරණයේදී විශේෂ අවධානය යොමුව ඇත්තේ තරුණයන් වෙත ය. සිම්බාබ්වේ හි ඡන්ද දායකයන් ගෙන් සියයට 60 ක් වයස අවුරුදු 40 ට අඩු අය වේ. තරුණයන් අතර දේශපාලකයන් කෙරෙහි සාමාන්‍යයෙන් එතරම් විශාල ප්‍රසාදයක් නොමැත. එරට විරැකියාව ඉතා ම බරපතල තත්ත්වයක පවතින අතර, දේශපාලනය පිළිබඳ කළකිරීම හේතුවෙන් තරුණයින් ඡන්ද පොළ වෙත නොයනු ඇතැයි සැක පහළ වී තිබේ. තරුණ අපේක්ෂකයකු වශයෙන් චමීසා මේ අවස්ථාවෙන් වාසියක් ලබා ගැනීමට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. නමුත් ඒ සඳහා ඔහු තරුණ ප්‍රජාවට පිළිගත හැකි බලාපොරොත්තු ලබාදිය යුතු ය.
මතභේද
කලක පටන් සිම්බාබ්වේ හි මැතිවරණ දූෂිත යැයි බරපතල චෝදනා වූ අතර මියගිය ඡන්ද දායකයන් මෙන්ම එකැම ලිපිනයෙහි බොහෝ ඡන්ද දායකයන් පදිංචි අවස්ථා ආදී අක්‍රමිකතා පිළිබඳ මුගාබේ යුගයේදී වාර්තා විය. වර්තමානයේද එවන් සිදුවීම් වාර්තා වන බව විපක්ෂ ක්‍රියාකාරීහු පවසති. එක් පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කළේ ඡන්ද හිමි නාමලේඛනයේ නම් 250,000 ක් පමණ පිළිබඳ මෙවන් ප්‍රශ්න ඇති බව ය. මෙය සමස්ථ ඡන්ද දායකයන් සංඛ්‍යාවෙන් සියයට 5 කට ආසන්න හෙයින් මෙය සුළුකොට තැකිය නොහැකිය.
නමුත් මැතිවරණ කොමිසම එ් චෝදනා ප්‍රතික්ෂේප කරන අතර නව ඇඟිලි සලකුණ සහිත හැඳුනුම්පත් හේතුවෙන් එක ම පුද්ගලයා දෙවරක් ඡන්දය දීම ද වළක්වා ගත හැකි බව ද ප්‍රකාශ කරයි.
මේ අතර පොලිස් නිලධාරීන් ඇතුළු මැතිවරණ රාජකාරි සඳහා සම්බන්ධ වන්නන් මේ වනවිට ද තැපැල් ඡන්ද ප්‍රකාශ කොට තිබේ. මෙයින් පොලිස් නිලධාරීන්ගේ ඡන්ද පිළිබඳ විශාල ගැටලුවක් මතු වූයේ ඔවුන්ට තම උසස් නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට සිදු වූ බවට වූ චෝදනාවක් හේතුවෙනි.
මේ අතර විදෙස්ගත සිම්බාබ්වේ ජාතිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ලබා දිය නොහැකි යයි එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මැයි මස 30 වනදා තීරණය කළේ ය. ඊට හේතුව ලෙස ඔවුන් විසින් දක්වන ලද්දේ කේවල ක්‍රමය යටතේ පවත්වන මහ මැතිවරණය සඳහා තම ඡන්දය හිමි ආසනය තහවුරු කිරීම විදෙස්ගත සිම්බාබ්වේ ජාතිකයන්ට සිදු කළ නොහැකි වීම ය.