ඉම්රාන් කොයිබට ද? | සිළුමිණ

ඉම්රාන් කොයිබට ද?

පකිස්තාන මහ මැතිවරණයෙන් තමන් ජයගත් බව හිටපු ක්‍රිකට් නායක සහ පකිස්තාන් තහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් බ්‍රහස්පතින්දා සවස රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් සඳහන් කළේ ය.

මෙහිදී ඔහු පකිස්තානය තුළ ප්‍රතිසංස්කරණ සිදු කරන බවට ද ජනතාවට ප්‍රතිඥා දුන්නේ ය.

කෙසේ නමුත් සිකුරාදා උදෑසන වනවිට නිකුත් කොට තිබූ ප්‍රතිඵල අනුව පැහැදිලි වූයේ ඉම්රාන්ට තනිව රජයක් පිහිටුවිය නොහැකි බවයි.

මේ අතර ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදීන් වන පාකිස්තාන මුස්ලිම් ලීගය - නවාස් PML-N පක්ෂය සහ පාකිස්තාන මහජන පක්ෂය PPP මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නා බව සඳහන් කර තිබේ. ඔවුන් චෝදනා නගනුයේ ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතා සිදු වූ බවට ය.

එමෙන්ම මැතිවරණ ප්‍රචාරණ සමය තුළ ද තම පක්ෂවලට අසාධාරණයන් සිදු වූ බවත් පකිස්තාන යුධ හමුදාව ඉම්රාන්ට සහය දුන් බවත් එම පක්ෂ චෝදනා නගයි. මෙම චෝදනාව බරපතල ලෙසම මතු වන්නේ දූෂණ චෝදනා මත සිරගතව සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පක්ෂය වූ පාකිස්තාන මුස්ලිම් ලීගය - නවාස් පක්ෂය වෙතිනි.

මේ හේතුව මත ඉම්රාන් රජයක් පිහිටවූව ද PML-N සහ PPP පක්ෂවල විරෝධතාවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි බියක් පවතී.

එමෙන්ම සභාගයක් පිහිටුවීම සඳහා ඉම්රාන් කිනම් පක්ෂ සමග එක්වේද යන්න ද ගැටළුවකි. දේශපාලනයට පැමිණි මුල් කාළයේ පටන් මෑතක් වනතුරුම දක්නට නොලැබුණ ආකාරයෙන් ඉම්රාන් මෑත සිට ඉස්ලාමීය අදහස් වෙත නැඹුරු වනු දක්නට ලැබුණි. එහෙයින් ඔහු ඉස්ලාමීය පක්ෂ සමග එක්ව සභාගයක් පිහිටුවනු ඇතිද යන්න විමසිය යුතු ය.

ඉම්රාන් සාමාන්‍යයෙන් ඇමරිකානු විරෝධී අදහස් දරන්නකු වේ. ඔහුට යුධ හමුදාවෙන් සහය ලැබෙන්නේ යැයි කෙරෙන චෝදනා සත්‍යය නම් ඉම්රාන් ඉන්දියාව කෙරෙහි ද දැඩි මතයක් දරනු ඇතැයි බලාපොරොත්තු විය හැක. ඉන්දීය මාධ්‍යයන් දැනටම මේ බව පුරෝකථනය කර තිබේ. එවන් පසුබිමකදී අනාගත පකිස්තානයේ විදේශ ප්‍රතිපත්තිය කවරාකාර වේදැයි දල අදහසක් සිතා ගැනීම අපහසු නොවේ.

කෙසේ නමුත් ඉම්රාන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ද අපැහැදිලි යග පකිස්තානය ඉතා දුර්වල ආර්ථික තත්ත්වයක සිටින රාජ්‍යයකි. එහි අධ්‍යාපනල සෞඛ්‍යය ආදී ක්ෂේත්‍ර ද සිටින්නේ ඉතා පහළ අඩියක ය. ඉම්රාන් ප්‍රකාශ කරන්නේ තමන්, ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක්, නිර්මාණය කරන බවයි. නමුත් එය සිදු කරන්නේ කෙසේද යන්න ඔහු පැහැදිලි කොට නොමැත.

මේ අනුවල පවතින ක්‍රමය අභියෝගයට ලක් කරන්නකු ලෙසල විටෙක කටුක නමුත් කීර්තිමත් දේශපාලන ගමන් මගක් පසුකරගෙන පැමිණි ඉම්රාන් පරිපාලකයකු ලෙස අසාර්ථක වී අපකීර්තියෙන් සිය දේශපාලන ගමන කෙළවර කරනු ඇතැයි යන සැකය පැහැදිලිව මතුවේ.

චාමර සුමනපාල

Comments