‘ගඩොළින් අන්වීක්ෂයට’‍ පාසල්වලට අලුත් ප්‍රතිපත්තියක් | Page 3 | සිළුමිණ

‘ගඩොළින් අන්වීක්ෂයට’‍ පාසල්වලට අලුත් ප්‍රතිපත්තියක්

පාසල්වල ගොඩනැඟිලි ඉදි කිරීමේ කටයුතුවලින් රජය මුළුමනින්ම ඉවත් වී, ඒ මුදල් පාසල් දරුවන්ගේ ගුණාත්මක වර්ධනයට වැදගත් වන පරිගණක, විද්‍යාගාර උපකරණ ආදි නවීන උපාංග මිල දී ගැනීම සඳහා වැය කිරීමේ ප්‍රතිපත්තියකට රජය එළඹී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිළුමිණට පැවසීය.

‘ගඩොළින් අන්වීක්ෂයට’‍ සංකල්පය (‘Bricks to Microscope) යටතේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ මඟින් පාසල් ගොඩනැඟිලිවලට වාර්ෂිකව වැය කරන විශාල මුදලක් ඉතිරි කොට ඉතා ඉක්මනින් රටේ පාසල්වල ගුණාත්මක අධ්‍යයනයක් සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ මිල දී ගැනීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයාට අනුව වාර්ෂිකව රජයේ මුදල්වලින් පාසල්වල ගොඩනැඟිලි ආදි භෞතික යටිතල පහසුකම් සඳහා විශාල මුදල් වැය කෙරේ. නව ප්‍රතිපත්තිය මඟින් එම පාසල් ගොඩනැඟිලි ඉදි කිරීම සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ ආයෝජන මඟින් සිදු කෙරෙන අතර, ගොඩනැඟිල්ල ඉදි කිරීමෙන් පසු වසර 10ක් වැනි කාලයක් සඳහා එම ගොඩනැඟිල්ල කල් බදු ක්‍රමය යටතේ පාසල වෙත ලබාගැනීමට නියමිතය.

“අධ්‍යාපනයට වෙන් කරනු ලබන මුදල්වලින් විශාල ප්‍රමාණයක් පාසල්වල පන්ති කාමර, ක්‍රීඩාගාර, නේවාසිකාගාර වැනි ගොඩනැඟිලි හදන්න වැය නවා. මේ තත්ත්වය නිසා අද ලොකයේ වේගවත් සංවර්ධනයට ගැළපෙන ලෙස අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළට දමන්න අවශ්‍ය යටිතල පහසුකම්වල අඩුවක් තිබෙනවා. ඒ සඳහා මුදල් වෙන් කරවාගැනීමත් අභියෝගයක්. ඒත් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ මේ වන විටත් පෞද්ගලික අංශය විශාල ආයෝජනයක් කරනවා. එවැනි ආයෝජකයන්ට මේ පාසල් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා රජය අවස්ථාව සලසා දෙනවා. ඔවුන් හදන මේ ගොඩනැඟිලි වසර 10ක කාලයක් කල් බදු පදනම යටතේ පාසල් වෙත ලබා දෙනවා. අදාළ ආයෝජන වටිනාකම ගෙවුණු පසු ඒවා රජයට පවරා දෙනවා.” මෙම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සඳහා මේ වන විට කැබිනට් අනුමැතියද හිමිව ඇති බව සඳහන් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා ව්‍යාපෘති කිහිපයක් සඳහා පෞද්ගලික ආයෝජකයන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය.

Comments