ක්‍රොයේෂියාව අනුශූරයන් වෙද්දී අප කොතැන ද? | සිළුමිණ

ක්‍රොයේෂියාව අනුශූරයන් වෙද්දී අප කොතැන ද?

1993 දී ක්‍රොයේෂියාව 122 - ශ්‍රී ලංකාව 126

ඒ 1993 වස‍රයි. පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 126 වැනි ස්ථානයේ පසුවන විට ඊට පියවර හතරක් එනම් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 122 වැනි ස්ථානයේ පසු වූයේ ක්‍රොයේෂියාවයි. ඊ‍ට හරියටම දශක දෙකකුත් වසර පහක් ගෙවෙන තැන ක්‍රොයේෂියාව 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් වන විට ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබේ. 1993 ට පසු ශ්‍රී ලංකාව නැවතත් ශ්‍රේණිගත කිරීම්වල 126 වැනි ස්ථානය හිමිකර ගත්තේ 1996 දීය. නමුත් ශ්‍රී ලංකාවට වඩා 1993 දී පියවර හතරක් ඉදිරියෙන් සිටි ක්‍රොයේෂියාව, 1996 දී පසුවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 24 වැනි ස්ථානයේය. වසර තුනකදී දෙරට පාපන්දු පිටියේ ගමන්කර ඇති ගමනට මීට වඩා උදාහරණ ඇවැසි නැත.

ලෝක කුසලාන තරගාවලිය

මෙවර නිමාව‍ට පත් වූ විසි එක් වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාව ප්‍රථම ස්ථානයේ පසු වන අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 36 වැනි ස්ථානයේ පසුවෙයි. ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 45 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවට පහලින් ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ පාකිස්ථානයයි. පාකිස්ථානය 46 වැනි ස්ථානයේ පසුවෙයි. ලෝක ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ සහ පාකිස්ථානය 201 වැනි ස්ථානයේ පසුවෙයි.

1993 ශ්‍රී ලංකාව සමඟ සසදන විට පියවර හතරක් ඉදිරියෙන් සිටි ක්‍රෝයේෂියාව මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අපරාජිතව පැමිණ අවසන් තරගයේ පරාජයට පත් විය.

පාලකයන්ගේ තරගය

ලාංකේය පාපන්දු පාලකයන්ට හැමදාම තරගය තිබුණේ ක්‍රීඩා පිටියේ ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ නොව, මහ පුටුවට තරගකර ජය ගන්නේ කෙසේද යන්න පමණි. එසේ පුටුවලට තරගකර ජය ගන්නා පාලකයෝ මාධ්‍ය ඉදිරියේ පම්පොරි ගහන්නේ අපේ පාපන්දු ක්‍රීඩාව දැවැන්ත සැලසුම් අනුව ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙලවල්ය. නමුත් එකී පාලකයන් ගෙවල්වලට නැවත යන තෙක්ම කෙරුණු වැඩක් නම් නැති බව පැහැදිලිය.

අඩුම තරමේ තම තමන්ගේ පාලන කාලය තුළ වැඩකට අඩිතාලමක් හෝ දමා තිබේ නම් ඒ ගැන ‍හෝ සමාජ කතා බහක් මතුවිය යුතුය. නමුත් ඒ කිසිවක් නැතුව ලාංකේය පාලකයන්ට තිබුණේ දෙන්නම් බැටේ ප්‍රතිපත්තියක් ම පමණි. මෙයින් දිනෙන් දිනම අගාධයට ගියේ ලාංකේය පාපන්දු ක්‍රිඩාව මිස එකඳු පාලකයකු නොවන බව අතීතයේ සිටම සාධක සපයයි.

අපේ පාලකයන්ට හැමදාම තිබුණේ කොළ කැබලිවල සැලසුම් මිස ප්‍රායෝගිකව ක්‍රීඩා පිටියේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් හා තරග කිරීමේ සැලසුම් නොවේ.

අඩුම තරමේ තරගයක් නරඹන්නට ක්‍රීඩා පිටිවටා රොක්වන ක්‍රීඩාලෝලයන්ට ජයග්‍රහනයක් කෙසේ වෙතත් හොඳ තරගයක් දැක බලා ගන්නටවත් හැකි තැනකට ලාං‍කේය පාපන්දු ක්‍රීඩාව ගෙන ඒමේ වග කීමක්. වැඩ පිළිවෙලක් අප සතුව නොමැති බව ක්‍රොයේෂියාවේ දියුණුවේ අපේ පාපන්දුවේ පල්ලම් බැසීමේ ක්‍රමය අනුව සිතා ගත හැකිය.

කරුමෙක මහත

ලාංකේය පාපන්දුව දෙවැනි වරටත් බාර අනුර ද සිල්වා දෙවනවර නිලවරණයෙන් ජය ගෙන පැවැසුවේ අපේ ජාතික කණ්ඩායම දිහා බැලුවොත් කණගාටු වෙනවා. ඒ මේ ඉන්න තත්ත්වයෙන් ඉහළට ගෙන ඒමට බැරිවීම ගැන අපේ පාලකයන් බොහෝ විට ප්‍රකාශ කරන්නේ ක්‍රීඩාව ඉහළට ගෙන ඒමට නොහැකිවීම ගැන කනගාටු වන බවය.

මේ සඳහා බෙහෙවින් ම බලපාන කරුණ ලෙස ඔවුන් ම පෙන්වා දෙන්නේ මුදල් නොමැතිකම මෙයට බෙහෙවින් ම බලපා ඇති බවය. ප්‍රශ්නය වන්නේ මේ ලැබෙන මුදල්වලට සිදු වන්නේ කුමක් ද යන්නයි.

පාලකයන්ගේ යුතුකම්

පාලකයන්ගේ යුතුකම් විය යුත්තේ ක්‍රීඩාව තිබෙන අඩියෙන් ඉහළට ගෙන ඒමට කටයුතු කිරීමය. නමුත් ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ කරුමය වන්නේ පාලකයන් සිතු සේ තම තමන්ගේ ගමන් යාම තුළ ක්‍රීඩාව විනාශය කරා ගමන් කිරීමය.

ලාංකේය පාපන්දු පාලකයන් ද මේ කඩා වැටීමේ දිග සහ පළල බොහෝ කාලයක සිටම දැන හඳුනා ගෙන තිබූ බව ද රහසක් නොවේ. ඒ මීට දශකයකට පමණ පෙර දකුණු ආසියාවේ සුවිශාල ම පාපන්දු සැණකෙලියවන සාෆ් රන් කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන් වන්නේ නම් ලාංකේය ක්‍රීඩකයන්ට රුපියල් කෝටියක මල්ලක් තබන්නට තරම් ම පාලකයෝ යුහුසුළු විය. රුපියල් කෝටියක් දිනා ගත හැකි කණ්ඩායමක් අපට සිටී නම් පාලකයන් කිසිවිටෙක මෙවන් ලන්සුවක් තැබීමට තරම් මෝඩ නොවනු ඇත.

ආර්ථිකය

ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ පාපන්දු ක්‍රීඩාව මීට වඩා ඉහල මට්ටමකට ගෙන ඒමට බලධාරීන් කටයුතු කළ යුතුය. දැනට පවත්වන චැම්පියන්ස් තරගාවලිය පවා මීට වඩා ශක්තිමත් ආකාරයෙන් පවත්වා ජාතික සංචිතයට එන ක්‍රීඩකයන්ගේ විශ්වාසනීය භාවය දියුණු කළ යුතුය.

හිටපු සභාපතිවරයකු වූ මනිලාල් ප්‍රනාන්දු මීට වසර දහ අටකට පමණ පෙර අපුර්ව සිහිනයක් දු‍ටුවේය.

එනම් 2000 සිට වසර දහයක් ඇතුළත ලාංකේය පාපන්දු ක්‍රීඩාව ආසියාවේ දහ දෙනා අතරට ගෙන එන බවය. නමුත් එකී බලාපොරොත්තු කුණු බක්කියට විසිවන විට ලාංකේය පාපන්දුවෙන් ගොඩ ගියේ කවුදැයි අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. 2000 දී පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 149 පසු වූ ලාංකේය පාපන්දුව දස වසර සම්පුර්ණ වන විට 163 දක්වාම පල්ලම් බැස්සේය.

ලාංකේය පාපන්දුව පල්ලම් බසිද්දී අනුග්‍රහකයන් මඟ හැර යාම ගැන පුදුම විය යුතු ෙනාෙව්. අනුග්‍රහකයන් ඒකරාශී කරගනිමින් ගමනක් යාමට නම් සාර්ථක වැඩ පි‍ළිවෙලවල් ඉදිරිපත් විය යුතුය.

එසේ නොවී කෙටි මං ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කිරීම තුළ සිද්ධ වෙන්නේ දිනෙන් දින ම පාපන්දු ක්‍රීඩාව ජනතාවගෙන් දුරස්වීම පමණි.


 

Comments