
* 2008 කිලාලිවල බිම් බෝම්බයකට අහුවෙලා කකුල කැඩෙනවා
* මගේ දුව තමයි ජීවිතේ ලොකුම වෙනස කළේ 
* කැකිරාවේ ඉඳලා කොළඹට ඕනෑ තරම් බස්වල හිටගෙන ඇවිත් තියෙනවා
* හමුදාවට බැඳුණෙ ගෙදරට හොරෙන්
ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝක වාර්තාවක් අභිබවා යාමට යුද හමුදා විජයබාහු රෙජිමේන්තුවේ චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සමත්විය. F 44 කාණ්ඩයෙන් තරග කළ චමින්ද එහිදී චීනයේ ගෝ මින්ජි සතු ලෝක වාර්තාව එනම් මීටර් 59.82 ක වාර්තාව මීටර් 62.11 ක් සටහන් කරමින් ඉක්මවා යාමට සමත්විය.
මෙය ලෝක වාර්තාවක් ලෙස සටහන් නොවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ අනුමැතියකින් තොරව පැවැත්වීමයි. ඒ නිසා චමින්ද වාර්තා කළ මීටර් 62.11 ක දක්ෂතාව සටහන් වන්නේ ලෝක වාර්තාව අභිබවා යාමක් ලෙසය. මේ චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සමඟ කතාබහකට අප වෙන් කළ ඉඩකඩයි.
ඔබේ දක්ෂතාව වාර්තා වෙන්නේ ලෝක වාර්තාවක් ඉක්මවා යාමක් විදියට. ලෝක වාර්තාවක් විදියට සටහන් නොවීම ගැන ඔබට මොකද හිතුණේ?
ඒ ගැන මම එච්චර හිතුවේ නෑ. ඊළඟ ජාත්‍යන්තර පැරා තරගාවලියේ මගේ මේ දක්ෂතාව තවදුරටත් වර්ධනය කර ගන්න බලනවා. ආසියානු පැරා තරගාවලිය ලබන ඔක්තෝබර් මාසයේ ඉන්දුනීසියාවේ තියෙන්නේ. මම මේ තරගාවලියටත් වඩා ආසියානු පැරා තරගාවලිය ගැන තමයි වඩාත් අවධානය යොමු කරගෙන ඉන්නේ. ඒකට පෙරහුරුවක් විදියට තමයි මේ තරගාවලිය යොදා ගත්තේ. 
මේ ජාතික පැරා තරගාවලියේ මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට ඒවා මඟ හරවාගෙන පුහුණුවීම් කරනවා. නවසීලන්තයේ තිබ්බ පැරා තරගාවලියකදී තමයි චීනයේ ක්‍රීඩකයකු 2011 ජනවාරි 23 දා මීටර් 59.82 ක් සටහන් කරගෙන ලෝක වාර්තාව පිහිටුවා තිබුණෙ. මම මීටර් 62.11 කින් මේ වාර්තාව ඉදිරියට ගෙන ගියා. දැනට මේ ඉසව්වේ ඉන්දීය ක්‍රීඩකයන් දෙන්නෙක් ඉදිරියෙන් ඉන්නවා.
මීට කලින් මේ ඉසව්වේ ඔබේ හොඳම දක්ෂතාව ප්‍රදර්ශනය කළේ කොහේදී ද?
පැරාලිම්පික් තරගාවලියේ. ඒ තරගාවලියේ F 44 - 42 - 43 කාණ්ඩවල තරග තිබ්බේ එකම ඉසව්වක් විදියට සලකලා. ඒ තරගාවලියේ රන් පදක්කම ගියේ මීටර් 57 ක් වගේ දුරක් සටහන් කර ගත් ක්‍රීඩකයකුට. තරගය අතරතුර මගේ කෘත්‍රිම පාදය කැඩුණා. ඒ මගේ පළවැනි උත්සහයේදී. මම ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ. එහෙම වුණා නම් තරගය ගැන මගේ තියෙන අවධානය බිඳෙනවා. දෙවැනි සහ තුන්වැනි උත්සහයන්ට යනකොට මට තේරුණා මගේ කෘත්‍රිම පාදය සම්පූර්ණයෙන් ම කැඩිලා කියලා. එහෙම කැඩුණට පස්සේ කිසි ම දෙයක් කරන්න බෑ.
ඔබ හිතුවද මේ තරගාවලියේ වාර්තාගත දක්ෂතාවක් දක්වන්න පුළුවන් වෙයි කියලා?
ඔව්. මම ලොකු බලාපොරොත්තුවකින් තමයි මේ පැරා තරගාවලියට ආවේ. පුහුණුවීම් කරන කොටත් මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත සර්ට කිව්වේ මට කොහොම හරි මීටර් හැටට යන්න ඕනෑ කියලයි.
මගේ යටි හිතත් කිව්වා මට මීටර් හැටට යන්න පුළුවන් කියලා. මේ හැම විශ්වාසයක් එක්කම තමයි ජාතික පැරා තරගාවලියට ආවේ. මගේ උත්සහ සාර්ථක වුණා. ඒ ගැන සතුටුයි.
ඔබ කීවෙනි උත්සහයේදි ද මේ වාර්තාව ඉක්මවා යාමට සමත් වුණේ?
මගේ පළවැනි උත්සහ අසාර්ථක වුණා. දෙවැනි උත්සහය මීටර් 54 කට එහා යන්න පුළුවන් වුණා. තුන්වැනි උත්සහය මීටර් 58.5 කට ගියාම තමයි මට මීටර් 60 කට එහා යන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණේ. කොහොම හරි අන්තිම උත්සහයේදී මීටර් 62.11 කට යන්න පුළුවන් වුණා.
ඔබේ ඉසව්ව කියවෙන්නේ F44 කියලා. මෙය පැහැදිලි කළොත්?
එක පාදයක් දණහිසට පහලින් ඉවත් කළ කාණ්ඩය තමයි F44 කියලා කියන්නේ. එක පාදයක් දණහිසට පහළින් ඕනෑම හේතුවක් නිසා අයින් කරලා තිබුණත් මේ කාණ්ඩය යටතේ තරග කරන්න පුළුවන්.
පැරා ක්‍රීඩකයකු විදියට ගොඩ නැගෙන පසුබිම හැදුණේ කොහොමද?
2008 දෙසැම්බර් 04 දා මුහමලේ කිලාලිවල පුද්ගල නාශක බිම් බෝම්බයකට අහුවෙලා කකුල කැඩෙනවා. කකුල කැඩෙන කොට සේවා කාලය අවුරුදු අටයි. මේ අවුරුදු අට ම ක්‍රියාන්විත රාජකාරි ප්‍රදේශවල තමයි වැඩ කළේ. මාස 3 - 4 ක් යුද හමුදා රෝහලේ ඉඳලා රාගම රණවිරු සෙවණට ආවා කකුල හදා ගන්න. ඊට පස්සේ කකුල හදාගෙන විජයබාහු පාබල රෙජිමේන්තුවට ආවා.
* ඊට පස්සේ?
මූලස්ථාන බල ඇණියේ ආබාධිත අය ඉන්නේ. ඒක ආර්.එන්පී. කියලා තමයි හඳුන්වන්නේ. අණ දෙන නිලධරි විදියට හිටියේ අලුදෙනිය සර්.
සර් නිසා තමයි මම යුද හමුදා ආබාධිත ක්‍රීඩා කණ්ඩායමට එකතු වෙන්නේ. මේක තිබුණේ පුත්තලමේ. 2012 දි මේ වගේ ම තරගාවලියක් තිබිලා මම මැලේසියාවේ යන්න තේරෙනවා. මැලේසියාවේ ගිහින් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමත්, කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කමත් දිනා ගත්තා.
පළමු ජාත්‍යන්තර පැරා තරගාවලියේ දි ම පදක්කම් අතරට යන්න හැකිවීඹ ඔබේ ඉදිරි ගමනට බලපෑවේ කොහොමද?
ඒක ලොකු ශක්තියක් වුණා. මැලේසියානු තරගාවලියෙන් පස්සේ දිගට ම වගේ පුහුණුවීම් කළා. 2013 චීනයේ තිබ්බ පැරා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් සහ යගුලිය විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම් දිනා ගත්තා.
2014 කොරියාවේ තිබ්බ ආසියානු පැරා තරගාවලියට එකතු වුණා. 2015 කටාර්වල තිබ්බ ලෝක පැරා තරගාවලියට ගියා. 2016 ආසියානු - ඕෂොනියා සහ රියෝ පැරාලිම්පික් තරගාවලියට සහභාගි වුණා.
ඔබ ආබාධිත නිසා ම හෙල්ල විසි කිරීමට යොමු වුණා ද? නැත්නම් පාසල් කාලයේ ඔබ ක්‍රීඩාවට යොමු වෙලා හිටියා ද?
මම මුලින් ම ගියේ ගමේ ඉස්කෝලෙට. ඒ අනු / රාමදෙගල ප්‍රාථමිකයට. ශිෂ්‍යත්වය සමත් වෙලා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට ආවා. හත වසර විතර වෙනකම් එහේ ඉඳලා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ගියා. දහය වසර දක්වා එහේ ඉඳලා අපොස සාමාන්‍ය පෙළ කරන්න ගමේ කණ්ඩලම පල්ලේගම විද්‍යාලයට ආවා. සාමාන්‍ය පෙළ කරලා අවුරුදු 18 දී යුද හමුදාවේ පරීක්ෂණයකට ඉදිරිපත් වුණා. ඒ පරීක්ෂණයෙන් සමත් වුණා.
අම්මා - තාත්තා කැමැති වුණා ද? ඔය වයසින් හමුදාවට බැඳෙනවාට?
ගෙදරට හොරෙන් තමයි යුද හමුදාවට ගියේ. අපිට පුහුණුවීම් තිබුණේ පුත්තලම විජයබාහු පාබල රෙජිමේන්තුවේ.
පාසල් කාලයේ ඔබේ දක්ෂතා මොනවාද?
පාසල් කාලයේ නිවාසාන්තර තරගවලට උස පැනීම, දුර පැනීම වගේ ඉසව්වලට ඉදිරිපත් වුණා. මාස දෙකක් විතර ක්‍රිකට් පුහුණුවීම්වලටත් ගියා. හැබැයි මොනවා මොනවා හරි හේතු උඩ ඔය ඔක්කොම නතර වුණා. මට ඉදිරියට යන්නත් බැරි වුණා. මුලදි තිබුණු උනන්දුවත් අඩු වුණා.
ඔබේ උත්සහය - උනන්දුව අඩු වෙන්න හේතු වුණේ මොන වගේ සාධක ද?
ඒකත් හරියට ම කියන්න බෑ. හිතාගන්නත් අමාරුයි. අම්මා අධ්‍යාපන කාර්යාල කිහිපයක ම වැඩ කළා. අප්පච්චි ගොවිතැන් කටයුතු කළේ. ආර්ථික ප්‍රශ්න බලපෑවා කියන්නත් බෑ. කොහොම හරි හුඟක් දේවල් මගෙන් අතහැරුණා.
පාසල් කාලයේ ඔබේ ලොකු ම බලාපොරොත්තුව වුණේ මොකක්ද?
රජයේ රැකියාවක් කරන එක තමයි මගේ ලොකු ම බලාපොරොත්තුව වුණේ.
ඔබ ආබාධිත වෙන්න කලින් යුද හමුදාවේ ඉන්න කොට මලල ක්‍රීඩාවට එහෙම සම්බන්ධ වුණාද?
අපේ අන්තර් ඒකක රෙජිමේන්තු තරගාවලියේ 2003 දි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ තුන්වැනියා වුණා. ක්‍රියාන්විත රාජකාරි කටයුතු එක්ක කොහොම හරි ක්‍රීඩාව අතහැරුණා. ඒ විදියට අන්තිමේට තරගාවලියකට එකතු වුණේ 2005 දි. ඊට පස්සේ ආබාධ නිසා අවුරුදු හතක් විතර ක්‍රීඩා කළේ නෑ. අලුදෙනිය සර් තමයි ඊට පස්සේ මාව ආයෙත් ක්‍රීඩාවට යොමු කළේ.
ඔබ එකපාර ම කැමැති වුණාද?
ඔව්. මගේ ඇඟෙත් ක්‍රීඩාව තිබුණා කියලා හිතනවා. යුද හමුදාවේ ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල් මේ හැම ක්‍රීඩාවකට ම සම්බන්ධ වුණා.
හෙල්ල විසි කිරීම තමයි මගේ මූලික ඉසව්ව. යගුලිය සහ කවපෙත්ත විසි කිරීම ඉසව් දෙකත් කරනවා. ලංකාවේ තරග තියෙන කොට මේ ඉසව් තුනට ම ඉදිරිපත් වෙනවා.
ජාතික පැරා තරගාවලියේ යගුලිය විසි කිරීමෙන් පළවැනියා වුණා. කවපෙත්ත විසි කිරීමේ නීති විරෝධි වුණා. සාමාන්‍යයෙන් හෙල්ල විසි කිරීමේ ඉසව්වට පස්සේ යගුලිය - කවපෙත්ත විසි කිරීමේ ඉසව් තිබුණොත් තරග කරනවා.
ඔබේ ගම් පළාත?
කැකිරාවේ රාමදෙගල තමයි ගම. මෙහේ අයගේ මූලික ජීවනෝපාය වෙලා තියෙන්නේ වී ගොවිතැනයි.
ඔබේ පවුලේ
අයියයි, අක්කයි. නංගි අවුරුදු පහේදි නැති වෙලා තියෙනවා. අයියත් යුද හමුදාවේ. මගේ කකුල නැති වෙනකොට දුවට අවුරුදු 1 1/2 ක් විතර ඇති. චෙනුමි සෙහන්සා ධම්සිනි දුව, දැන් අවුරුදු 11 යි.
ඔබේ ජීවිතයේ ලොකු ම වෙනස සිදු වුණේ කොහෙදී ද?
මම විශ්වාස කරන විදියට මගේ ජීවිතයේ ලොකු ම වෙනස කළේ දුව. දුවගේ අනාගතය වෙනුවෙන් තමයි මම දැන් හැම දුකක් ම දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නේ.
ඔබේ ජීවිතයේ කඩා වැටුණු අවස්ථා තියෙනවාද?
නැතුවමත් නෙවෙයි. හැබැයි ඒ හැම දේම විඳගෙන මම ඉදිරියට ආවා. කකුල කැඩුණු වෙලාවේ තමයි මම මුලින් වැටුණා නම් වැටුණේ. ඒ කියලා මම ජීවිතය පසුබැස්සේ නෑ. අද ඒකේ ප්‍රතිඵල තියෙනවා කියලා හිතනවා.
ජීවිතය දිහා හැරිලා බලන කොට මොනවාද හිතෙන්නේ?
තමන්ගේ හිත තමයි හැම දෙයකට ම මුල. කැපවීම් කරන්න පුළුවන් නම් අපිට ඉදිරියට එන්න පුළුවන්. ඒක තමයි හැම තැනකදීම වැදගත් වෙන්නේ.
මම කැකිරාවේ ඉඳලා කොළඹට බස් එකේ ඕනෑ තරම් හිටගෙන ඇවිත් තියෙනවා. කිසි කෙනෙක්ගෙන් මම ආබාධිතයි ෂීට් එක දෙන්න කියලා ඉල්ලලා නෑ. කවුරුවත් එහෙම කතා කරලා ෂීට් එක දීලත් නෑ.
අපිට හමුදාව තුළින් ම ලොකු ආත්ම ශක්තියක් විශ්වාසයක් හදලා දීලා තියෙනවා. මගේ මේ ගමනට කාරියකරවන, ආරියසිංහ, කසුන් අබේසිංහ මහත්වරු වගේ ම උදව් උපකාර කරන ගොඩක් ඉන්නවා. ඒ හැම කෙනෙක් ම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

සේයාරු - ද පපරේ
 
 









