අපේ ක්‍රිකට් හීනය හැබෑ කළ සොඳුරු දෙබරාගේ නෑසූ කතාව | සිළුමිණ

අපේ ක්‍රිකට් හීනය හැබෑ කළ සොඳුරු දෙබරාගේ නෑසූ කතාව

කටු පදුරු පිරි ලඳු කැලෑ වලට ඒ දෙපා හොඳ හැටි හුරු ය. හේනේ පැලේ වාඩි වෙද්දී, වෙහෙසුණු ඒ දෙපා පහළට නැමී යන විට වෙහෙස නිමී ගිය හැටි ඒ සිතට මතකය.හඳ එළිය යට , පැලේ වාඩි වී හීනියට මිමිනෙණ ගීයක සතුට සිතට කෙතරම් වී දැයි දන්නේ ඔහු ම විතර ය. අවුරුදු දහයක් පහළොවක් පරණ මුත් මේ කතා අදටත් ‘වලංගු‘ය! ඒ, මේ කතාවේ ‘ඔහු‘ අදටත් සිතින් ඉන්නේ ගමේ නිසා ය. ගමට ඔහු සේම, ඔහුට ගම එක තත්පරයකට වත් අමතක නැත්තේ ය.ඉඩෝරයට ඉරිතලන දෙබරවැව ගමේ පොළොව සේ වියළී ඉරි තලා ගොස් ‘කාටත් එපා වී‘ තිබුණු අපේ ක්‍රිකට් වලට යළිත් ආදරය එක් කළ වීරයා වූයේ ‘ඔහු‘ය. දෙබර වැව ගමේ කාටත් අදටත් ඔහු ‘ඇල්බට්ගේ කොල්ලා‘ය. රටට ලෝකයට නම් ඔහු, ‘සුරංග ලක්මාල්‘ය.

දෙබර වැව ගමේ ඇල්බට් මහත්තයාට ලොකු ලොකු හීන තිබුණේ නැත.හේනක් කොටාගෙන දරු පවුල රැක ගන්නට ඔහු දිවා රෑ නොබලා වෙහෙසුණේ ය. පවුලේ කෙල්ලන් දෙතුන් දෙනෙකු ට එකම කොල්ලා වී උපන් සුරංග ‘රටට වැඩැති-හොඳ මිනිහෙකු‘ කරවන්නට නම් ඇල්බට් මහත්තයාගේ හිත යට පුංචි ම පුංචි හීනයක් දලු දාමින් තිබුණේ ඔහුටත් නොදැනීම ය.හේන පුරා දුව පැන ඇවිදින පවුලේ එක ම කොල්ලාගෙන් එහෙමට කියා වැඩක ගන්නට වත් ඇල්බට් මහත්තයාට හිත නොදුන්නේ ඒ නිසා වන්නට ඇත!

දෙබර වැව ගමේ අමාරුකම් ඕනෑ තරම් විද තිබුණු ඇල්බට් මහත්තයා තම දරු කැළ අකුරු කරවන්නට යැව්වේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයට ය. ‘ඇල්බට් මහත්තයාගේ කොල්ලා‘ ඉගෙනීමට ආස වූයේ මුත් ඉගෙන ගන්නට හිතේ තිබුණු ආසාව තල්ලු‍ කරමින් ඉහළට ආ ආසාවක් ද තිබුණේ ය. දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩාමයට පුංචි සුරංග ගෙන යන්නේ ඒ ආසාව ය. දෙබරවැවට, හම්බන්තොටට විතරක් ම පෙනෙන්නට පන්දුවෙන් දස්කම් පාමින් සිටි මේ කොල්ලාගේ කතාව වෙනස් වන්නට කාලය ඉඩ දුන්නේ ය.

සුරංග ලක්මාල්ගේ කතාව අලු‍තින් ලියැවෙන්නට පටන් ගත් කාලයේ ඔහු ක්‍රීඩා කරමින් සිටියේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ය.දෙබරවැව පාසලේ කණ්ඩායම හා තරගයකට ගාල්ල රිච්මන්ඞ් විද්‍යායීය කණ්ඩායම දෙබර වැවට ම ආවේ ය. තරගය අරඹන්නට දෙපිරිස ම පිටියට ආහ. උස ,හීන්දෑරි පැහැපත් කොල්ලෙක් තමාගේ ප්‍රමාණයටත් වඩා කුඩා, අත්කොට කමීසයක් හැදගෙන දෙබර වැව පිතිකරුවන්ට පුහුණු වීම සදහා පැති විකට්ටුවක පන්දු යවමින් සිටියේය. රිච්මන්ඞ් විද්‍යාලයේ එවකට ක්‍රීඩා භාර ආචාර්ය සුජීව රණවීරත් රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු අශෝක කුමාරත් ඇසි පිය නොහෙළා මෙන් මේ හීන්දෑරි කොල්ලා දෙස බලා සිටියහ. ‘මෙච්චර අඩුපාඩු තියෙන තැනක මේ තරම් දක්ෂකමක්! ‘වචනයෙන් නොකියැවුණු ඒ සිතිවිල්ල දෙදෙනාගේ ම ඇස් වල ලියැවී තිබුණේ යැයි කිව නොහැක්කේ කාහට ද!

සැබෑවට ම දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සෙමෙන් සෙමෙන් ආ ගමනට ද දැඩි ආර්ථික අපහසුතා කියන්නට බැරි තරමට මඟ හරස් කරමින් සිටි කාලයකි ඒ. එතරම් අපහසුතා මැද දෙබරවැව පාසලේ ක්‍රිකට් නොනැසී තිබුණේ දෙබරවැව රත්නපාල මහත්තයාගේ සහ ක්‍රිකට් පුහුණුකරු නීල් කමල්ගේ අසීමිත කැපකිරීම් නිසා ම ය. මේ සියල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ආ කොයි කාගේත් සිත් සසල කරවන්නට තම් වූයේය. පළමු පෙළ ක්‍රිකට් වලට වරම් ලබා නොතිබුණු දෙබරවැව පාසලට අවුරුදු 17න් පහළ කණ්ඩායමෙන් ඉහළට මේ කොල්ලන්ගේ ක්‍රිකට් හීන ගෙනයන්නට පුළුවන් කමෙක් තිබුණේ ද නැත. රිච්මන්ඩ් ආඅ සුජීව රණවීර ගුරුතුමාගේත් අශෝක කුමාර පුහුණුකරුගේත් සිත් ලෝබකමින් පිරී ගියේ වේගයෙන් පන්දු යවමින් සිටි උස හීන්දෑරි කොල්ලා ගැන ය.

තරගය අතරතුර විවේකයක් ලද සැනින් මේ කොල්ලා හා කතා කරන්නට ඔවුන් තීන්දු කර ගත්හ.”‍පුතා අපි කැමැතියි ඔයාව රිච්මන්ඩ් විද්‍යාෙලට ගන්න. එතන ඔයාගේ දක්ෂකමට හොඳ තැනක් තියෙනවා; පහසුකමුත් තියෙනවා. ඔයා හොඳ අනාගතයක් තියෙන දරුවෙක්‘; සුජීව රණවීර ගුරුතුමා කියාගෙන ගියේ ‘කොල්ලා එකපාරින් ම කැමැති වේවි‘ යි සිතිවිල්ල සිතේ තබාගෙනය. නැත; ඔහුට වැරදුණේ ය.සියල්ල අසා සිටි සුරංග කල්පනා කරන්නට එක තත්පරයක් වත් නාස්ති කළේ නැත.”‍මට බැහැ”‍, ඔහු එකවර ම කියා අවසන් කළේය!. රිච්මන්ඩ් විද්‍යාලයේ ගුරු පුහුණුකරු දෙපළ තමන්ගේ උත්සාහය ද අත් නොහැරියේ සුරංගගේ වටිනාකම දෙබරවැව දූවිල්ලට වැසෙන්නට ඉඩදිය නොහැකි නිසා ම ය. අවසන සුරංගගේ මුරණ්ඩුකමට ඒ මුරණ්ඩුකම අපූරුවට පෑහුණේ ය.

දෙබරවැව පාසලේ ක්‍රිකට් පුහුණුකරු නීල් කමල්ගේ සහ එවකට ප්‍රියංකර හෝටලයේ අධිපති වූ රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය ප්‍රියංකර මහතාගේ මැදිහත් වීමෙන් සුරංග රිච්මන්ඞ් විද්‍යාලයට කැදවාගන්නට ගුරු දෙපළ සමත් වූහ.

දෙබරවැව ගමේ හේන් පුරා කරක් ගසමින් ගත කළ නිදහස් ජීවිතයට , ගාල්ලේ නගරබද පරිසරය සේම රිච්මන්ඩ් විද්‍යාලයේ සම්ප්‍රදා ද දැණුනේ ‘අමුතු ලෝකයක්‘ ලෙස ය. සුරංගට මේ වටපිටාවට හුරුවීම පහසු වූයේ නැත. ඔහුට නිතර සිහි වූයේ හේනේ පැලේ වාඩි වී ගීයක් මුමුණමින් කකුල් පද්ද පද්දා ගෙවා දැමූ හවස් වරු ය; කාටත් නොපෙනෙන තරම් කිට්ටුවට සඳ දකිමින් ගෙවා දැමූ රාත්‍රීන් ය.

ඒ සියල්ල ගාල්ලේදී ඔහුට මඟහැරී ගොස් තිබිණි. මඟ හැරුණු ගමේ ජීවිතයෙ අඩුව දරාගන්නට බැරි ම මොහොතකට ඔහු හනි හනික ගාල්ල බස් නැවතුමට එන්නේ කිසිවකුටත් කියන්නේ ද නැති ව ය. ගාල්ලට එන ඔහු කතරගම බසයකට ගොඩවී ගෙදර යන්නේ ය. උදේ පිට්ටනියට ඇවිත් ප්‍රැක්ටිස් කරන කොල්ලා දවල් වෙද්දි අතුරුදහන් වෙනවා; මම දන්නවා යන්නේ ගෙදර කියලා. මොකද ගෙදර නැති පාළුව; අපි කියන්නේ ‘හෝම් සික්‘ කියලා සුරංගට තදින් ම දැනුණා.

සුරංග ව හොයාගන්න බැරිවුණු ගමන් මම දෙබරවැව පුහුණුකරු නීල් කමල් ට කතා කරනවා. ඔන්න ඊට පස්සෙ නීල් සුරංගගේ ගෙදරට ගිහින් සුරංගව ආපහු ගාල්ලට එවනවා. ”‍සුජීව රණවීර ගුරුතුමාට මතක එහෙම ය. සිනාසෙන බව පෙණුනත් මේ කතා කියද්දී සුජීව ගුරුතුමාගේ හඩ බිඳි යන්නේ ය.”‍ගමේ නිදහසේ හිටපු කොල්ලට ගාල්ලේ හිරවෙලා ඉන්න අමාරු වෙන්න ඇති; කොල්ලා හැම නිතර ම හෙව්වේ සැප පහසුව නෙමෙයි; ගමේ සුවඳ”‍ ඔහු කියන්නේ ය. සුරංග ගාල්ලට ගෙනැවිත් අවුරුද්දක් පමණ වනතෙක් සුරංගගේත් සුජීව ගුරුතුමාගේත් කතාවේ බොහෝ පිටු පුරා ලියැවී ඇත්තේ සුරංගගේ දෙබරවැවට යාම් සහ ගුරුතුමාගේ ගාල්ලට ගෙන්වා ගැනීම් ම ය. දෙවැනි අවුරුද්ද වෙද්දී මේ කතාව තරමක් වෙනස වූයේ ය.”‍කොල්ලා ගාල්ලට ඇවිත් දෙවැනි අවුරුද්ද වෙද්දි නිවාඩු දවසකට වත් සුරංගව ගෙදර යවාගන්න අමාරු වුණා”‍ගුරුතුමා කියන්නේ ය. ”‍හැබැයි ඒ කොල්ලට සැප පහසුව රහ වැටුණු නිසා නෙමෙයි; ක්‍රිකට් රහ වැටුණු නිසා. සුරංගගේ දක්ෂකම් වලට හරියට තැන හම්බවෙද්දි, නියම ඇගයීම ලැබෙද්දි සුරංග ට දිගට ම සෙල්ලම් කරන්න ආසා හිතුණා”‍. ගුරුතුමා සුරංගගේ සිත කාටත් වඩා හොදින් හැඳින්නේ ය. මේ අපූරු දැනහැඳුනුමත්, ක්‍රිකට් කෙරෙහි වූ සුරංගගේ ආදරය හා කැපවීමත් ඔහුව වසර තුනක් පුරාවට රිච්මන්ඩ් පළමුපෙළ කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා බවට පත් කළේ ය.

රිච්මන්ඩ් -මහින්ද ආදරවන්තයන්ගේ සටන සියවැනි වරට ගාලු‍ පිටියට එද්දී මුල් ම පන්දුව යවන්නට වරම් ලැබුවේ ද සුරංග ය. 2007 අවුරුද්දේ ආදරවන්තයන්ගේ සටනේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ද සුරංග මය. මේ සියල්ල දිනද්දී පවා සුරංගට ඔහුගේ ම කියා සපත්තු දෙකක් රැගෙන දෙන්නට තාත්තාට ඇති හැකිකම් තිබුණේ නැත. වාසනාව ඔහු ළඟ ම ගැවසුණු නිසා ඔහුට උදව් කරන්නට අය ඔහුට මුණ ගැසී තිබුණේය. ”‍සුරංග දැම්මේ හිටපු ටෙස්ට් ක්‍රීඩක චමිල ගමගේ දුන්න සපත්තු. සපත්තුවක ඇණයක් හරි ගැළවෙද්දි සුරංගගේ වගේම මගෙත් ඇග සීතල වෙලා යනවා. ඇයි ඉතින් ආයෙත් සපත්තු දෙකක් හොයාගන්න ඕනනෙ.‍ මේ කොල්ලා ගැන වගේම තාත්තා ගැනත් කියන්න කතාවක් තියෙනවා. සුරංග, රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් සෙල්ලම් කරපු අවුරුදු තුනේම රිච්මන්ඩ් -මහින්ද තරග හැම එකක්ම බලන්න සුරංගගේ තාත්තා දෙබරවැව ඉදගෙන ගාල්ලට ආවා. තාත්තා උදේ පාන්දරම පිට්ටනියට එනවා. එන්නේ ක්‍රීම් පාටට හුරු ජාතික ඇදුමක් ඇදගෙන”‍. ඒ සුරංගගේ ක්‍රිකට් වලට තාත්තගෙ තිබුණු ආදරයයි, ඔහුට දිරි දෙන්නට තාත්තාට කළ හැකිව තිබුණු දෙයයි ඒ!”‍.සුරංග ගැන වැඩිදෙනා නොදන්න දේවල් අතරේ ලස්සනට සිංදු කියන්න තියෙන හැකියාව ගැන නොකිව්වොත් ඒක අඩුවක්”‍ සුජීව ගුරුතුමා කියන්නේය. සුජීව ගුරුතුමාට ක්ලැරන්ස්ගේ ‘ඈත එපිට‘ ගීතයේ රස මතක ඇත්තේ සුරංගගේ හඩිනි. ඒ දුර පළාත් වල පැවති පාසැල් තරග වලට යද්දී එද්දී සුරංග බස් රියේ පසුපසම අසුනට වී මිමිනූ ගී හඬ ය.

පාසලේ ක්‍රිකට් ගමන අවසන් වුව ද සුජීව ගුරුතුමාගේත් සුරංග ගෝලයාගේත් බැඳීමට ඉන් තිත තැබෙන්නේ නැත. පාසලට සමුදුන් සුරංග සිය ක්‍රිකට් ජීවිතයේ අලු‍ත් ම අලු‍ත් ගමන අරඹන්නේ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයෙනි”‍.

පාසලෙන් පස්සේ මම සුරංග ව ලෝබ නැතිව බ්‍රෙන්ඩන් කුරුප්පුට භාර දුන්නා; ඒ ටැමිල් යුනියන් එකට සෙල්ලම් කරන්න. කොළඹ ඇවිත් ක්ලබ් එකක සෙල්ලම් කරන්න මේ කොල්ලට ඒ කාලෙ වත්කමක් තිබුණෙ නැහැ. බ්‍රෙන්ඩන් කුරුප්පු කොල්ලව රැක ගත්තා. ජන ශක්ති රක්ෂණයේ රස්සාවක් අරගෙන දුන්නා. ඒකෙන් හම්බවෙච්ච ගාන කොල්ලට කොළඹ ඉදගෙන කාලා ඇදලා ඉන්න ඇති වුණා”‍. සුරංග අරගල කරමින් සිටියේ ක්‍රිකට් ජීවිතය ගොඩ නඟාගන්නට නොව ජීවත්වන්නට ය. ජීවිතයේ අසීරු ම කාල තරණය කර ගන්නට ඔහු හා සිටි කාට වෙනුවෙනුත් ඔහු ඔහුට කළ හැකි උපරිමය කළේ සිය හැකියාවෙනි. වසර 34කට පසුව ටැමිල් යූනියන් කණ්ඩායමට පළමු පෙළ ක්‍රිකට් කුසලානය ලබාදුන් කණ්ඩායමට නායකත්වය දුන්නේ සුරංග ය. ඔහු බ්‍රෙන්ඩන් කුරුප්පුට සිය ගෞරවය දැක්වූයේ එහෙමය! ”‍ඒ තමයි සුරංගගේ හැටි”‍ සුජීව ගුරුතුමා ඒ දිනුම ගැන කියන්නේ එහෙම ය. සියල්ල සෙමෙන් සෙමෙන් සිදුවෙද්දී ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක සේම අනූෂ සමරනායක ද සුරංගගේ දස්කම් හැඳින සිටියහ. ජාතික කණ්ඩායමේ දොරටු සුරංග වෙනුවෙන් විවර වන්නේ ඒ දැකුම් සහ හැඳුනුම් නිසා ය. දෙබරවැව උපන් කොල්ලා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් හිස් වැසුම‘ තමන් සතු කරගන්නට ආ ගමන පහසු සුන්දර ගමනක් නොවේ. දෙබරවැව ලඳු කැළෑවල ගහන කටු පදුරු වල වේදනාවට වඩා වැඩි වේදනා මේ ගමනේදී වරින් වර ඔහුට දැනෙනට ඇත!. වටින්නේ ඒ වේදනා විඳගෙන ඔහුගේ ආගමනය ය. අද ජාතික කණ්ඩායම මෙහෙයවමින් ඔහු වාර්තා පිට වාර්තා තබමින් ලැබූ ජය පසුපස මේ සියලු‍ වේදනාවන් සැගවී ඇත්තේ ය. වටින්නේ ඒ අපහසු අතීතයට ඔහු තවමත් ආදරය කිරීම ය!

”‍මම අදටත් සුරංගගෙන් දකින්නේ මම එදා දෙබරවැවදි මුලින් ම දැකපු අහිංසක ගමේ කොල්ල ම තමයි; ඒ ගතිගුණ අදටත් කිසිම වෙනසක් නැහැ. අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වෙලත් දෙබරවැව හිටපු සුරංග තාමත් ඒ නායකයා ඇතුළෙ ජීවත් වෙනවා; මට ඒක පේනවා. නායකයා වෙලත් සුරංගට ඕන වුණේ චන්දිමාල්ට වෙච්ච දේ වෙනුවෙන් සාධාරණයක් කරන්න. චන්දිමාල්ට වුණු දේ ගැන සුරංග සෑහෙන දුක් වුණා. ඒ යාළුකම වෙනුවෙන් කරන්න පුළුවන් දේ හැමෝම එක්ක එකතුවෙලා මගේ කොල්ලා කළා.”‍සුජීව ගුරුතුමාට සුරංග ‘මගේ කොල්ලා‘ය!

මෙය සුරංගනා කතාවක් නොව සුරංග ලක්මාල්;අද අපේ ක්‍රිකට් දිනවූ අපේ ක්‍රිකට් නායකයාගේ ඇත්තම ඇත්ත කතාව ය.ඔහු නොකී කතාව ය, රට ම ලෝකය ම දැනගත යුතු කැපවීමේ, දිරිමත් කමේ අධිෂ්ථානයේ කතාව ය!

මේ කී කතාවේ අවසන ලියා තැබිය යුත්තක් ඇත්තේ ය. ඒ කතාව අදටත් කොළඹ එන්නට අකැමැති සුරංගට දෙබරවැව ගමේ සුවඳ විඳගන්නට හුරු කළ සුරංගගේ තාත්තා සුජීව ගුරුතුමාට කී කතාවකි. දෙබරවැව ගමේ දූවිල්ලට වැසෙන්නට ගිය සුරංගගේ දස්කම ලෝකයට ගෙන ගිය සුජීව ගුරුතුමාට කියන්නට අපට ඇත්තේ ද එය ම ය. සුරංගගේ මුළු කතාව ම එක වගන්තියකින් ලියන්නේ නම් ලියන්නට හැක්කේද මෙහෙම මය.”‍මේ ගමේ හිටපු අහිංසකයාට මේ තරම් දුර එන්න පාර පෙන්නපු එක ඇති සර්ට ජාති ජාතිත් ඇති. සර්ට පින් සර්!”‍

(ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්යවරයකු ව සිටි සුජීව රණවීර මහතා ලියූ ලිපියක් සහ ඔහුගේ අදහස් දැක්වීම් ඇසුරු කර ගන්නා ලදි)

Comments