
පසුගිය ඉරු දින මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී පවත්වන ලද පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට සමගාමිව සංවාදයට ලක් වූ කරුණක් වූයේ ප්‍රංස ජනාධිපතිවරයාගේ ප්‍රීතිඝෝෂා නැඟීමත් ඔහු හා ක්‍රොයේෂියානු ජනාධිපතිනිය එම තරගය අවස්ථාවේ සහ ඉන් පසු හැසිරුණ ස්වභාවයත්ය. ඔවුන් අතර සිටි අනෙක් රාජ්‍ය නායකයා - එනම්: රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් - පිළිබඳ සාපේක්ෂව වැඩි කතාබහක් සිදු වූයේ නැත. පුටින්ටද එසේ කතාබහක් අවශ්‍ය නොවන්නට ඇත. මක් නිසාද යත්: ඒ වන විටද ඔහු ජයග්‍රහණය කර තිබූ බැවිනි.
පාපන්දු ලෝක කුසලානය ඇරඹීමට මාස තුනහමාරකට පෙර, මාර්තු මාසයේ මුලදී, බ්‍රිතාන්‍යයේ ජීවත් වූ හිටපු රුසියානු බුද්ධි නිලධරයකු වූ සර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූලියා විෂ ශරීරගත වීමක් හේතුවෙන් දුස්සාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන ලදහ. මෙය ස්නායු පද්ධතියට බලපාන ‘නොවිචොක්’ නම් විෂක් බව සොයාගන්නා ලදි. ‘නොවිචොක්’ යනු රුසියානු නිමැවුමක් බැවින් සැකය එල්ල වූයේ එදෙසටය.
මේ තත්ත්වය කොතරම් බරපතළ වී ද යත්: බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා සංගමයේ අනෙක් රටවල්ද රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් කරා ගමන් කළ අතර, උසස් පෙළේ නිලධාරීන් පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සහභාගි නොවිය යුතු බවටද යෝජනාවක් විය.
එහෙත් ලෝක කුසලානය අවසන් වූයේ ප්‍රංසයේ මෙන්ම ක්‍රොයේෂියාවේද ජනාධිපතිවරුන් අවසන් තරගය සඳහා සහභාගී වෙමිනි.
මේ තරගයෙන් දිනකට පසු පුටින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ෆින්ලන්තයේ හෙල්සින්කි වෙත ගියේ ය. එහිදී ඔවුහු පෞද්ගලික සාකච්ඡාවක් පැවැත්වූ අතර, පසුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් සඳහාද සහභාගි වූහ.
ඔවුන් අතර වූ පෞද්ගලික හමුවේදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳ ඔවුන් හෙළි කළ කරුණු හැර වෙනත් දෙයක් බාහිර ලෝකය නොදන්නා නමුත්, මේ වන විට මතුව ඇති කරුණු සහ විශේෂයෙන්ම මාධ්‍ය හමුවේදී මතුවූ කරුණු එක් කළ විට මේ හමුවේද ජයග්‍රාහකයා පුටින් බව පැහැදිලිය.
■ බෝලය ඇත්තේ කොයි පැත්තේද?
පාපන්දු ලෝක කුසලානයේ සාර්ථකත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහිතව පැමිණි පුටින් එය ට්‍රම්ප් සමඟ වූ කතාබහ සඳහා සම්බන්ධ කරගත්තේ තමා කරා පැමිණි ප්‍රශ්නයක් ඔහු වෙත හරවමිනි. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ‘බෝලය ඇත්තේ රුසියාව පස’ බව - එනම්: වැඩි වගකීම ඇත්තේ රුසියාව සමග බව - ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පුටින් පිළිතුරු දුන්නේ ට්‍රම්ප්ට පාපන්දුවක් තිළිණ කරමිනි: ‘පන්දුව දැන් ඇත්තේ ඔබේ පිටියේ!’ යි සඳහන් කරමින් පුටින් සිරියාව පිළිබඳ වගකීමෙන් ට්‍රම්ප්ටද ගැලවිය නොහැකි බව ඇඟට-පතට නොදැනී පැවසීය. ට්‍රම්ප්ද ඒ ත්‍යාගය ඉතා සතුටින් බාරගත්තේ පන්දුව තම පුත්‍රයාට තෑගි කරන බව පවසමිනි. ඒ සඳහා ඔහු එය මාධ්‍ය හමුව නරඹමින් සිටි සිය බිරිය දෙසට විසි කළේය.
මේ පාපන්දු ජවනිකාවට පෙර ට්‍රම්ප් සිරියානු ප්‍රශ්නය අරභයා කියා සිටියේ ඒ සමඟ ඇතිව තිබෙන මානුෂීය ප්‍රශ්නය පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි. පුටින් මේ අවස්ථාවේද තම පාර්ශ්වයට ලකුණු එකතු කරගනිමින් සඳහන් කළේ යුරෝපා රටවල් හා එක්ව එම ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ප්‍රංස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමඟද සාකච්ඡා කළ බවත්, රුසියාව ඒ සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා දීමට සූදානම් බවත්ය.
සිරියානු ප්‍රශ්නය ඊශ්‍රායලයට බලපාන අන්දම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ඒ පිළිබඳ අවධානය යොමු කරනුයේ තම ආරක්ෂාව පිළිබඳ ඇති අවධානය හේතුවෙන් බවත්, ඊශ්‍රායලයේ ආරක්ෂාව සැලසීම ඇමෙරිකාවට සහ රුසියාවට වැදගත් වන බවත්ය. එසේ ප්‍රකාශ කරමින් ඔහු තවදුරටත් පැහැදිලි කළේ සිරියාවේදී මේ වන විටද ත්‍රස්තවාදය මැඬලීමේ විශාල වැඩ කොටසක් අවසන්ව ඇති අතර, එහිදී රුසියාව විශාල කාර්යභාරයක් ඉටු කළ බවයි. තවද, දේශපාලන නායකත්වය කෙසේ වෙතත්, සිරියාවේදී රුසියානු සහ ඇමෙරිකානු හමුදා හොඳ සම්බන්ධතාවකින් යුතුව හමුදා මෙහෙයුම් සිදු කරන බවද ට්‍රම්ප් කියා සිටියේය.
පුටින්ද මේ ප්‍රකාශය අනුමත කළ අතර, තුර්කිය සහ ඉරානය සමඟ එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ ගෙනයන වැඩසටහන සම්බන්ධයෙන්ද සාකච්ඡා කළේය. මෙහිදී පුටින් එම රටවල් දෙක මතකයට නැඟීම ට්‍රම්ප්ට කෙළින්ම එරෙහි නොවෙමින් තම ස්වාධීනත්වය පැහැදිලි කරන්නකි. මක් නිසාද යත්: ඒ රටවල් දෙකම සිරියාවේදී ඇමෙරිකානු හිතවාදීන් සමඟ ගැටෙන බැවිනි.
මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ පුටින් සිරියානු ප්‍රශ්නයේදී සෑම පාර්ශ්වයම සතුටු කරමින් කිනම් ආකාරයේ ක්‍රීඩාවක් කරන්නේද යන්නය. එක් අතකින් ඔහු ඊශ්‍රායලය සහ ඇමෙරිකාව සමඟ ගනුදෙනු කරද්දී, අනෙක් අතින් ඔවුන් හා පසමිතුරු ඉරානය සමඟද සබඳතා පවත්වාගනී; සිරියාවේ අසාද් පාලනය ආරක්ෂා කරන අතරම, ඊට එරෙහි තුර්කිය සමඟද ගනුදෙනු කරයි. මේ අතර සවුදි අරාබිය, ඊජිප්තුව සහ ඉරාකය ආදි කලාපයේ අනෙකුත් රටවල් සමඟද හොඳහිත දිනාගැනීමට ඔහු ක්‍රියා කරයි.
■ බුද්ධි අංශ ගැටුම
ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය රට තුළින්ම විශාල විවේචනයකට මුහුණ දීමට හේතු වූයේ 2016 ජනාධිපතිවරණයට රුසියාව විසින් කළ බව කියවෙන අනවශ්‍ය මැදිහත් වීම් පිළිබඳ ඔහු විසින් කරන ලද ප්‍රකාශයයි.
පුටින් සහ ට්‍රම්ප් අතර හමුව සිදු වූයේ ජනාධිපතිවරණ සමයේදී ඩිමොක්‍රටික් පක් ෂයේ පරිගණක පද්ධතීන්ට හැකර් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියානු බුද්ධි සේවා නිලධාරීන් 12 දෙනකුට එරෙහිව ඇමෙරිකාවේදී නඩු පවරා දින කිහිපයකිනි. එවන් පසුබිමක ට්‍රම්ප්ගෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ මේ සිද්ධිය පිළිබඳ ප්‍රබල ප්‍රතික්‍රියාවක් වුවද, ඔහු ගත්තේ ඊට වඩා ඉඳුරාම වෙනස් පියවරකි. රුසියාව ඊට සම්බන්ධ වීමට හැකියාවක් ඇතැයි තමා නොසිතන බව කියා සිටි ට්‍රම්ප්, පුටින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත්, රුසියාව ඊට සම්බන්ධ නැති බව පුටින් ඉතා ප්‍රබල ලෙස අවධාරණය කළ බවත් සඳහන් කළේය.
මේ ප්‍රකාශය අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇමෙරිකානු බුද්ධි ඒකක විසින් සහ ඇමෙරිකානු FBI ආයතනයේ හිටපු ප්‍රධානයකු වන මුලර් විසින් සිදු කරනු ලබන විමර්ශනයන්ට අදාළව සොයාගෙන ඇති කරුණු සමඟ පරස්පරවිරෝධි වන හෙයින්, පුටින්ට සුදුහුනු ගෑමෙන් ට්‍රම්ප් ඇමෙරිකානු බුද්ධි සේවා හෑල්ලුවට ලක් කළ බව චෝදනාවක් එල්ල විය.
මේ තත්ත්වය ට්‍රම්ප්ට අවාසිසහගත වූයේ ඔහුගේම පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේම ප්‍රබලයන් ඔහු විවේචනය කිරීමත් සමඟය. සෙනට් සභික ලින්ඩ්සේ ග්රැහැම් සඳහන් කළේ හෙල්සින්කි සමුළුවේදී ට්‍රම්ප් පුටින් වෙත 2016 සිදු වීම පිළිබඳ ප්‍රබල පණිවිඩයක් දීමට තිබූ අනැගි අවස්ථාවක් මඟහැරගත් බවයි. ට්‍රම්ප්ගේ හැසිරීම දුර්වලතාවක් ලෙස සලකනු ඇතැයිද අනාගතයේදීද එවන් අතපෙවීම් ඇති වීමට එමඟින් ඉඩකඩ ඉතිරි වී ඇතැයිද ඔහු කියා සිටියේය.
ඇරිසෝනාහි සෙනට් සභික ජෙෆ් ෆ්ලේක් සඳහන් කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයකු, රුසියානු ජනාධිපතිවරයකු හා එකට සිටගෙන, රුසියාවේ ආක්‍රමණශීලත්වයට ඇමෙරිකාව වග කිව යුතු බව කියා සිටිනු ඇතැයි තමා කිසි දිනෙක නොසිතූ බවයි. ෆ්ලේක් මෙසේ කියා සිටියේ රුසියාව සහ ඇමෙරිකාව අතර ඇති නොහොඳ සඳහා මීට කලින් ඇමෙරිකානු රාජ්‍ය නායකත්වයන් විසින් සිදු කළ අනුවණකම් වගකිව යුතු බවට ට්‍රම්ප් විසින් කළ ප්‍රකාශයකි. මෙය ඔහු ඉලක්ක කළේ ඔබාමා පරිපාලනය සහ හිලරි ක්ලින්ටන් වෙත බව පැහැදිලි නමුත්, එයින් සිදු වූයේ ඔහු තමාවම විවේචනය කරගැනීමට අවශ්‍ය කරුණු නිර්මාණය කරගැනීමය.
ඇරිසෝනාහි ප්‍රවීණතම සෙනට් සභිකයා වන ජෝන් මැකේන් සඳහන් කළේ ට්‍රම්ප් පුටින් හමුවේ දුබලයකු සේ පෙනුණ බවත් එම සමුළුව ඛේදනීය වරදක් වූ බවත්ය.
මේ අතර ට්‍රම්ප් පුටින් සමඟ වූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙන්ම ඉන් පෙර නේටෝ සංවිධානයේ රැස්වීමේදීද සිදු කළ ප්‍රකාශ පිළිබඳ විශාල ආන්දෝලනයක් සහ විවේචන මතු වන්නට විය. තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකියැයි ජර්මන් විදේශ ඇමති හයිකෝ මාස් කියා සිටියේ ට්‍රම්ප්-පුටින් හමුවටද පෙරය. මේ අතර, එක්සත් ජනපද යුරෝපීය සේනාංකවල හිටපු අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් බෙන් හොජස් ට්‍රම්ප්-පුටින් හමුවේදී ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාර දුර්වල වූ බවත්, රුසියාව ගෞරව කරන්නේ ශක්තිමත්භාවයට බවත් කියා සිටියේය. ජර්මනියේ DW මාධ්‍ය ආයතනය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ කොතරම් අඩුපාඩු තිබුණද නේටෝව සාර්ථක සන්ධානයක් බවත්, එය අවතක්සේරු කිරීම ට්‍රම්ප් විසින් නොකළ යුතු වූ වරදක් බවත්ය.
■ පරීක්ෂණ සඳහා සහාය
මේ අතර පුටින් විසින් ට්‍රම්ප් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් පිළිබඳ ට්‍රම්ප් ඉතා ප්‍රශංසාත්මක ලෙස අදහස් දැක්වූ නමුත්, එයද පාරාවළල්ලක් මෙන් ඔහු සොයා පැමිණ ඇත.
ඇමෙරිකාවේදී නඩු පවරන ලද බුද්ධි නිලධාරීන් 12 දෙනාගෙන් ප්‍රශ්න කරනු ලබන අවස්ථාවන්ට සහභාගි වීමට ඇමෙරිකානු නිලධාරීන්ටද ඉඩ දීමට පුටින් කැමැත්ත පළ කළ බව කියා සිටි ට්‍රම්ප් එය ඉතා අගය කළ යුතු පියවරක් බව මතක් කළේය. එහෙත් මෙහිදී ට්‍රම්ප් අවධාරණය නොකළ කරුණ නම්: ඊට හිලවු ලෙස පුටින් බලාපොරොත්තු වන දේය. පුටින් කියා සිටියේ සිය රජයට එරෙහි නීතිවිරෝධි ක්‍රියා සඳහා සැක කෙරෙන තැනැත්තන්ගෙන් ප්‍රශ්න කිරීමට රුසියානු නිලධාරීන්ටද අවස්ථාව සලසා දීම අවශ්‍ය බවයි. මේ නීතිවිරෝධි ක්‍රියා පිළිබඳ රුසියාව විසින් කෙරෙන අර්ථ දැක්වීම අනුව බොහෝ දෙනා ඊට හසු විය හැකිය. ට්‍රම්ප් විසින් රුසියාවේ හිටපු ඇමෙරිකානු තානාපතිවරයකු වන මයිකල් මැක්ෆවුල්ගෙන් ප්‍රශ්න කිරීමට වුවද අවස්ථාව දීම පිළිබඳ සාකච්ඡා කළ බවට වාර්තා පළ වීමත් සමඟ ට්‍රම්ප්ගේ ප්‍රබලම ආධාරකරුවන් හැර අනෙකුත් ඇමෙරිකානු දේශපාලකයන් අතර ඔහු කෙරේ වූ කෝපය ඉහවහා ගියේය.
මේ අතර ඊළඟ මාස කිහිපයේදී වොෂිංටනයට පැමිණෙන ලෙස පුටින් වෙත ආරාධනා කිරීමට ට්‍රම්ප් සිය ජාතික ආරක්ෂක උපදේශක මයිකල් බෝල්ටන්ට උපදෙස් දී තිබේ. මේ අනුව රුසියානු ජනාධිපතිවරයකු ලබන විශිෂ්ටම විදේශ ප්‍රතිපත්ති ජයග්‍රහණය අත් කරගන්නා අටියෙන් පුටින් ඒ සඳහා සූදානම් වනු නිසැකය.