
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර සියල්ල මේ වන විට දරුවන් අතට පත් කොට අවසන් කළ යුතුයැයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා දැඩිව අවධාරණය කරයි. කුමන හෝ පාසලක විදුහල්පතිවරයකු දරුවන්ට මේ වන තෙක්ද ප්‍රවේශපත්‍ර ලබා දී නැත් නම් ඒ පිළිබඳව වහාම විභාග දෙපාර්තමේන්තුව දැනුම්වත් කරන ලෙසද ඔහු දන්වා සිටියි.
විභාග දෙපාර්තමේන්තුව විසින් දරුවන් අතට විභාග ප්‍රවේශපත්‍ර ලබා දීමේ අවසන් දිනය ලෙස පසුගිය සිකුරාදා නම් කරනු ලැබ ඇත්තේ දරුවන්ගේ ප්‍රවේශපත්‍රවල විෂයයන් හෝ මාධ්‍යයන්හි වෙනසක් ඇති නම් එය නිවැරදි කරගැනීමට අවකාශ සලසා දීමටය. එහෙත් යම් යම් ස්ථාන කිහිපයක විභාග ප්‍රවේශපත්‍ර දරුවන් අතට පත් කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති නිසා විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ නියෝගය නිකුත් කර තිබේ.
යම් දරුවකුගේ ප්‍රවේශපත්‍රවල වෙනසක් වී ඇත් නම් විභාග දෙපාර්තමේන්තුවට පැමිණ හෝ ඇමැතීමෙන් හෝ එය නිවැරදි කරගැනීමේ හැකියාව තිබේ.පෞද්ගලික ඇයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර මේ වන විට තැපැල් කර ඇති අතර, එය නොලැබුණු යම් අපේක්ෂකයකු වෙතොත් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ news headline ඔස්සේ එය බාගත කරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.