‘වර්ල්ඩ් කප් එක’ දිනූ සුන්දර ගැහැනිය | සිළුමිණ

‘වර්ල්ඩ් කප් එක’ දිනූ සුන්දර ගැහැනිය

තායිලන්ත පාපන්දු කණ්ඩායමේ දරුවන් මුදා ගැනීමේ ලෝක ප්‍රයත්නය දෙස පසුගිය දෙසතියකට වැඩි කාලයක් තිස්සේ මුළු මහත් ලෝකවාසී ජනතාව දෑස් දල්වා බලා සිටියහ. ඒ මහා මෙහෙයුමෙන් දරුවන් නිරුපද්‍රිතව බේරා ගත් පසු ලෝක ජනතාව රුසියාවේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගය නැරැඹීමට නිවීසැනසිල්ලේ පෙළ ගැසුණහ. අවසන් මහා තරගයේදී ක්‍රොඒෂියාව පරදා ප්‍රංශය ජය ගනිද්දී බලාපොරොත්තු සුන්වූ ක්‍රොඒෂියානු ක්‍රීඩකයන් හඬා වැටෙද්දී ඔවුන් සනසාලීමට පෙරට ආවේ ඒ රටේ බලවත්ම කාන්තාවය. ඇය ක්‍රොඒෂියානු ජනාධිපතිනී කොලින්ඩා ග්‍රාබාර් කිටරෝවික් ය. එදින අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි රාජ්‍ය නායකයන් තිදෙනා අතරින් පසුදා වෙද්දී මුළු ලෝකයේම වැඩිදෙනාගේ කතාබහට ලක්වූයේ ඇයයි.

ත්‍යාග ප්‍රදානෝත්සවය අතරතුරදී ඇද හැළුණු ධාරානිපාත වරුසාවේ තෙමෙමින් ඇය සිය රටේ මෙන්ම ජයග්‍රාහී ප්‍රංශ පාපන්දු ක්‍රීඩකයන් ද පිළිගත් සුහදශීලීලීලාව පසුදා වෙද්දී ලෝක මාධ්‍ය ඉහළින් වාර්තා කළේ ජනාධිපතිනියගේ යැයි සඳහන් නාන ඇඳුමින් සැරසුණු අඩ නිරුවත් ජායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතිද්දිය.

ක්‍රොඒෂියානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් හැඳ සිටි ආකාරයේ රතු හා සුදු ඉරි සහිත ජර්සියකින් සැරසී සිටි ග්‍රාබාර් කිටරෝවික් තරගය පැවැත්වෙන කාලය මුළුල්ලේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් හා සිටිමින් කෑගසමින් ක්‍රීඩකයන් දිරිමත් කළාය. පසුව ඇයට රුසියානු ජනාධිපතිවරයා සමඟ එක්ව විශේෂ අමුත්තන් සඳහා වූ කුටියේ සිට තරගය නැරැඹීමට ආරාධනා ලැබිණ. ඒ වනතුරු ඇය ක්‍රොඒෂියානු ක්‍රීඩකයන්ගේ සෑම තරගයක්ම නැරැඹුවේ සිය රටෙන් තරගය නැරැඹීම සඳහා රුසියාවට පැමිණි පාපන්දු ලෝලීන් හා එක්වෙමිනි.

ඇය රුසියාවට පැමිණ ඇත්තේද සාමාන්‍ය ගුවන් යානයක පිරිමැසුම් පන්තියේය. එම යානයේ පිරී සිටියේ තරගය නැරැඹීමට රුසියාව කරා එන ක්‍රොඒෂියානු ජනතාවය. සිය රටේ ජනාධිපතිනිය තමන් සමඟ එකම යානයේ එකම පන්තියක අසුනක ගමන් කරන අන්දම දුටු ජනතාව පුදුම වූ අතරම සතුටින් ඉපිළ ගියහ. ඔවුහු ජනාධිපතිනිය සමඟ එකට සිට‘සෙල්ෆි’ජායාරූප ගැනීමට පොරකන්නට වූහ. ඇය සිනාසෙමින් ඒ සෑම සේයාරුවකටම පෙනී සිටියාය.

‘‘ඇය පාපන්දුවලට කැමැතියි. රටේ ජනාධිපතිනිය කියා නොසිතා සාමාන්‍ය ජනතාව සමඟ එද්දී සැමටම සුබ පතන්නත් ඇය අමතක කළේ නෑ. අපේ රට කුඩා රටක්. අපි හැමෝම එක කණ්ඩායමක් වගෙයි. අපි ඇයට කැමතියි. ‘‘ ජනාධිපතිනිය සමඟ රුසියාවට පැමිණි ක්‍රොඒෂියානුවෙක් එංගලන්තයේ ‘සන්’ පුවත්පතට පවසා තිබිණි. කොලින්ඩා ග්‍රාබාර් කිටරෝවික්ට ක්‍රොඒෂියානු ක්‍රීඩකයන් තරග කළ අර්ධ අවසන් තරගයට පැමිණීමට නොහැකි විය. ඇය ඒ වෙද්දී නේටෝ සංවිධානයේ රැස්විමට සහභාගි වෙමින් සිටියාය. ඒත් සමුළුව අවසන් වූ විගස ඇය රුසියාවට පැමිණියාය. කොලින්ඩාට ඇත්තේ පුදුමාකාර පාපන්දු උමතුවකි. ඇය පාපන්දු ක්‍රීඩාවට කෙතරම් ඇල්මක් දක්වන්නේද යත් ක්‍රොඒෂියාව ඩෙන්මාර්කය පරාජය කරන අවස්ථාවේද ඇය තරගය නරඹමින් සිටියාය. එවර ඇය කෙතරම් ප්‍රීතියට පත් වූයේද යත් ක්‍රීඩකයන්ගේ ඇඳුම් මාරු කරන කාමරයට දිවගොස් ඔවුන් බදා වැලඳගෙන සුබ පැතුවාය. ඇය වැඩිපුරම බදා වැලඳ සුබ පැතුවේ ක්‍රොඒෂියානු පාපන්දු නායක ලුකා මොඩ්රික්ය. ඒ අවස්ථාවේ ඇතැම් ක්‍රීඩකයන් හරිහැටි ඇඳුමින් සැරසී නොසිටි බවද වාර්තා විය. එසේම ක්‍රොඒෂියාව දඬුවම් පහරකින් රුසියාව පරාජය කරද්දීද ඇය තම කණ්ඩායමට ඒ අයුරින්ම සුබ පැතුවාය.

සෑම මොහොතකම සිනාමුසු මුහුණින් සිටින මේ ජනාධිපතිනිය අවසන් මහා තරගයට ඔන්න මෙන්න කියා තිබියදී රුසියානු ජනාධිපතිවරයාට ක්‍රොඒෂියානු ජර්සියක් තෑගි දුන් අතර එහි පිට පැත්තේ ‘පුටින් 9’ ලෙස සඳහන් විය. නමුත් ඇය පුටින්ට තෑග්ග පිරිනමා ඇත්තේ එහි මිල සඳහන් ලේබලය තිබියදීමය.

‘‘අද අපට හොඳ තරගයක් දකින්න ලැබේවි. ‘‘ ග්‍රාබාර්ගේ ත්‍යාගය පිළිගනිමින් පැවසූ රුසියානු ජනාධිපතිවරයා ඇයට ත්‍යාග කර ඇත්තේ අලංකාර මල් කලඹකි.

‘‘මේ තරගාවලිය ඉතාම සාර්ථකව සංවිධානය කිරිම ගැන මං ඔබට ස්තුති වන්ත වෙනවා.‘‘ ජනාධිපතිනිය පිළිතුරු ලෙසින් පැවසුවාය.

පාපන්දු අවසන් මහා තරගයෙන් පසු ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන අතරමඟදී ධාරානිපාත වර්ෂාවක් කඩා වැටී සැවොම ඉහින් කනින් තෙමී යද්දී මදක් හෝ සසල වූ බවක් නොපෙන්වූ ජනාධිපතිනි කොලින්ඩා දිගින් දිගටම ක්‍රීඩකයන් පිළිගනිමින් බදා වැලඳගනිමින් ඔවුන්ට සුබ පැතුවාය. ඇගේ සුබ පැතුම් සිය රටේ ක්‍රීඩකයන්ට පමණක් නොව ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායමට ද එක් කළේ කිසිම වෙනසක් නොකර බදා වැලඳ ගනිමිනි. ඒ අතරතුරදී ඇය තමා අසලින් සිටි ප්‍රංශ ජනාධිපතිවරයා ද වැලඳ ගනිමින් සුබ පැතුවාය. එම සුබපැතුම් එක් කරන අන්දම දුටු ට්විටර් ගිණුම් හිමියෙක් මේ ජනාධිපතිවරුන් දෙදෙනා හඳුන්වා තිබුණේ ‘හොඳට කැපෙන ජෝඩුව’ ලෙසිනි.

ලෝක පාපන්දු තෑගි ප්‍රදානෝත්සවයෙන් පසුදාම සමාජ මාධ්‍ය ජාල ක්‍රොඒෂියානු ජනාධිපතිනිය යැයි සඳහන් කරමින් අඩ නිරුවත් සරාගී ජායාරූප පෙළක් පළ කර තිබිණි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නොයෙකුත් කතා මවමින් පැතිර ගිය මේ සේයාරූ දුටු බොහෝ දෙනා විවිධ අදහස් සිය ට්විටර් ගිණුම්වල සඳහන් කළහ. එසේ අයෙකු පවසා තිබුණේ තමන් ක්‍රොඒෂියාවේ නොඉපදුණේ අවාසනාවකට බවය. එහෙත් පසුව එම ජායාරූපවලට පෙනී සිටි නියම කාන්තාව හෙළිවිය. ඇය මෝස්තර නිරුපිකාවක වන කොකෝ ඔස්ටින් බවය. නොඑසේනම් අසැබි සේයාරූවලට පෙනී සිටින නිළියක වන ඩයමන්ඩ් ෆොක්ස් බවය.

ක්‍රොඒෂියානු ජනාධිපතිනිය දෙදරු මවකි. ඇගේ දාහත් හැවිරිදි දියණිය කැත්රිනාය. පුතා ලූකා පහළොස් හැවිරිදිය. දියණිය එරට ජාතික මට්ටමේ හිමමත ලිස්සා යෑමේ කනිෂ්ඨ ක්‍රීඩිකාවකි.

සුරූපී හා කාගේත් සිත් දිනා ගැනීමේ හැකියාවෙන් යුතු කොලින්ඩා ජනාධිපතිනිය ජාත්‍යන්තර සබඳතා මෙන්ම ඉංග්‍රිසි හා ස්පාඤ්ඤ සාහිත්‍ය පිළිබඳ උපාධිධාරිනියකි. ක්‍රෝෂියන්, ඉංග්‍රිසි, ස්පාඤ්ඤ හා පෘතුගීසි භාෂා මැනවින් හසුරුවන ඇය ජර්මන්, ප්‍රංශ හා ඉතාලි භාෂා තේරුම් ගැනීමේ හැකියාවෙන් ද යුක්තය. නේටෝ මහ ලේකම්වරයාගේ ලේකම් තනතුර හා වොෂිංටන් තානාපතිනිය ලෙසද ඇය කටයුතු කර ඇත්තාය.

මේ රූමත් ජනාධිපතිනියගේ කලඑළි බැසීමත් සමඟ සැවොම පාහේ ක්‍රොඒෂියාව ගැන ද තොරතුරු විපරම් කරන්නට වූහ. ක්‍රොඒෂියාව මිලියන 4.2ක ජනතාවක් සිටින අද්‍රියාතික් මුහුදට මායිම්ව පිහිටි නැගෙනහිර යුරෝපා රටකි. සාග්‍රෙබ් රටේ අගනුවරයි. කොලින්ඩා එරටේ සිවුවැනි ජනාධිපතිනියයි. යුගෝස්ලෝවියාවේ ක්‍රොඒෂියා කොටස වූ රිජෙකා ඇගේ උපන් පළාතය.

කොලින්ඩා ජනාධිපතිනිය තමන් හඳුන්වනු ලබන්නේ පැය 24 ම වැඩ කරන දූෂණය පිටුදකින කෙනකු ලෙසය. වරක් 2010 වසරේදී ඇමෙරිකානු තානාපතිවරිය ලෙස සේවය කරද්දී ඇයට චෝදනාවක් එල්ල විය. ඇගේ සැමියා තානාපති කාර්යාල වාහනයක් පාවිච්චි කිරිම එම චෝදනාවයි. ඒ ඇසූ කොලින්ඩා වහා ඉදිරිපත්ව එහි කුලිය ගෙව්වාය.

ක්‍රොඒෂියාව පරාජය වුවද තරගාවලියේ වඩාත් අගනාම ක්‍රීඩකයාට පිදෙන රන් පන්දුව කුසලාන පිරිනැමුණේ එම පිලේ නායක ලුකාටය. පරාජයෙන් ඔද්දල්ව සිටි ලුකා වැලඳ සිප ගනිමින් ජනාධිපතිනිය ඔහු අස්වැසුවාය. ඒ අතරේ ඇය ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායමට ද සුබ පැතුවාය. මුළු ලොවම ඇගේ හැසිරීම අගය කරද්දී ඇතැම් ලෝක මාධ්‍ය පවසා තිබුණේ රටක රාජ්‍ය නායිකාව ජයග්‍රාහී කණ්ඩායමට ප්‍රසිද්ධියේ ‘ආවැඩීම’එක් අතකින් රාජ්‍ය නායකයකුගේ විහිළුවලින් කොටසක් ලෙසය.

ත්‍යාග ප්‍රදානය අතරතුර මහා වැසි ඇද වැටෙන්නට විය. පුටින් ජනාධිපතිවරයාගේ හිස මතින් කුඩයක් ඉහළෙද්දී කොලින්ඩා වැස්සේ තෙමෙමින් පිල් දෙකේම ක්‍රීඩකයන්ට අතට අත දෙමින් සුබ පැතුවේ සිනාමුසු මුහුණිනි. සිය කණ්ඩායම පරාජයට පත්ව සිටියදී ස්ව කැමැත්තෙන් දිගටම සිටගෙන සිටිමින් ස්ථිර හා සුබවාදී ප්‍රතිරූපයකින් යුතුව පෙනී සිටීම නායකයකුගේ ඉතා වැදගත් කාර්යබාරයක් බව බොහෝ විචාරකයෝ සඳහන් කළහ.දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ද මෙය නිතර අවධානයට ලක් කළ නායකයෙකි.

“ඔබ විශේෂයෙන්ම ජයග්‍රහණය සමරන්නේ නම් හෝ හොඳ දෙයක් සිදු වන්නේ නම් අන් අය ඉදිරියෙන් තබා පිටුපස රැඳෙමින් ඉදිරියට ගෙන යෑම සුදුසුය. එසේම අනතුරකදී ඔබ පෙරමුණ ගත යුතුය. එවිට ජනතාව ඔබගේ නායකත්වය අගය කරනු ඇත.“යනුවෙන් මැන්ඩෙලා වරක් පවසා තිබිණි.

ක්‍රොඒෂියානු ජනාධිපතිනියගේ හැසිරීම ගැන කතාබහ කරන මාධ්‍ය පවසන්නේ ඇයද මෙහිදී එක්සත්භාවය හා නොසැලෙනසුලු කැපවීමේ අගය විදහා පෑ බවය.

කොලින්ඩා එරටේ රාජ්‍ය නායිකාව නොවේ. රටේ නායිකාවය. රාජ්‍ය නායකයා වන්නේ අගමැතිය. රටේ නායකත්වයේ වටිනාකම පක්ෂග්‍රාහිත්වයට වඩා අගනාබව ක්‍රොඒෂියානු ව්‍යවස්ථාවේද සඳහන් වේ. එය සාක්ෂාත් කරමින් කොලින්ඩා 2015 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඇය සාමාජිකත්වය දරණ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූවාය. නායකයන් ලෙස ඔවුන් නිතරම මුළු ජාතියම නියෝජනය කළ යුතු වන්නේය.

අවසන් තරගය දා රුසියාවේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ද ඇය පෙන්නුම් කළේ මුළු ජාතිය වෙනුවෙන්ම තමා පෙනී සිටින බවය. නියම නායකත්ව ලක්ෂණ ඇය එතැනින් ගෙනහැර පෑවාය. ඇගේ හැසිරීම දුටු මාධ්‍ය පවසා තිබුණේ ප්‍රංශය කුසලාන දිනුවත් ජනතා හදවත් දිනුවේ මේ ගැහැනිය බැවින් සැබැවින්ම කුසලාන දිනුවේ ක්‍රොඒෂියානු ජනාධිපතිනිය බවයි.

 

Comments