
සෑම පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් අවසානයේදී ම අංශ කිහිපයකින් ක්‍රීඩකයන් තෝරා ගෙන සම්මාන පිරිනැමීම ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් සිදු කරනු ලබයි. එහිදී කණ්ඩායමක් සඳහාත් විශේෂ සම්මානයක් පිරිනමයි. ඒ වඩාත් ම විනයගරුක හෙවත් ජීව ගුණය රැකගත් කණ්ඩායමට පිරිනමන ෆීෆා ෆෙයාර් ප්ලේ සම්මානයයි.
2018 රුසියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මෙම සම්මානය හිමි වූයේ ස්පාඤ්ඤටයි. මෙහිදී අදාළ කණ්ඩායම තෝරා ගනු ලබන්නේ 16 හෙවත් දෙවන වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් අතරින් පමණකි.
මෙවර එසේ සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතරින් වඩාත් ම විනයගරුකතම කණ්ඩායම වූයේ ස්පාඤ්ඤයයි. තරග හතරකදී ඔවුනට එරෙහිව ලැබුණේ කහ කාඩ්පත් හතරක් පමණකි. කහ කාඩ්පත විනිසුරුවන් විසින් ලබා දෙන්නේ අවවාද කිරීමටයි.
මේ අතරින් මෙවර තරගාවලියේ තරග හතරේදී ස්පාඤ්ඤ ක්‍රීඩකයන් වෙතින් තරග අතරතුරදී වැරදි කිරීම් 32 ක් සිදු වී තිබිණි. ඔවුනට එරෙහිව එවැනි අවස්ථා 59 කි.
ජපන් කණ්ඩායමත් මෙවර විනයගරුකතම කණ්ඩායම් අතර විය. නමුත් ඔවුන් සමඟ සසඳන විට ස්පාඤ්ඤය ඉදිරියෙන් සිටියේය.
මෙම කණ්ඩායම් අතරින් 1970 පීරු විශේෂිතය. ඒ ඔවුනට කිසිඳු කහ හෝ රතු (පිටියෙන් ක්‍රීඩකයන් ඉවත් කිරීම) පැහැති කාඩ් පතක් නොලැබීමයි. එමෙන්ම බටහිර ජර්මනිය, ආර්ජන්ටිනාව, ප්‍රංශය සහ ස්පාඤ්ඤය අදාළ වසරවල ලෝක ශූරයෝ වෙති.
මෙම සම්මානය හිමි කර ගත් කණ්ඩායමට කුසලානයක්, ඩිප්ලෝමාවක්, එහි සෑම ක්‍රීඩකයකුට ම සහ නිලධාරියකුටත් පදක්කම බැගින් පිරිනමයි. එමෙන් ම කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 50,000 ක් වටිනා පාපන්දු ක්‍රීඩා ආම්පන්න හිමිවෙයි. ඒ අදාළ රටේ යොවුන් පාපන්දු සංවර්ධනයටයි.
2010 ලෝක ශූරයෝ වන්නේ ස්පාඤ්ඤයයි. ඔවුන් මෙවර තරගාවලියට සහභාගි වූයේත් යළිත් වතාවක් ලෝක ශූරතාවය හිමිකර ගැනීමට අවස්ථාවක් තිබෙන රටක් ලෙසටයි. තරගාවලිය ඇරඹෙන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි තැන ඔවුනට හිමි වී තිබිණි.
16 වටයේ දී රුසියාව හමුවේ තරගය නිමා වන විට දෙපිළම ගෝල 1 - 1 බැගින් ලබා සිටියේය. ඒ අනුව දඬුවම් පහර මත ප්‍රතිඵලය ලබා ගැනීමට සිදුවිය. එහිදී රුසියාවට ජය අත්විය. ඒ 4 - 3 කිනි.
ජපන් ආදර්ශය
වඩාත් ආදර්ශතම කණ්ඩායම මෙවර තේරුවේ නම් අනිවාර්යයෙන් ම එය හිමි වන්නේ ජපානයටයි. එහිදී ක්‍රීඩකයන් මෙන් ම ක්‍රීඩාලෝලීන් ද ඊට සුදුසුකම් ලබනු නියතයි.
ජපානය මෙවර 16 වටයට සුදුසුකම් ලැබීය. ඔවුන් සහභාගි වූ මෙම තරග සතරේදී ම එරටේ ක්‍රීඩාලෝලීන් සුවිශේෂි ක්‍රියාවක් සිදු කළහ. ඒ තරග නිමාවත් සමඟම අදාළ ක්‍රීඩාංගණ පිරිසුදු කිරීමයි. එපමණක් ද නොව ජපන් ක්‍රීඩකයෝ ඔවුන් රැඳී සිටිය ක්‍රීඩක කාමරය සම්පූර්ණයෙන් ම පිරිසුදු කිරීමයි. අවසානයේදී ඔවුන් පිටව ගියේ ‘ස්තූතියි’ ලෙසට රුසියන් බසින් සඳහන් කරමිනුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල
ස්පාඤ්ඤය සහ ජපාන පාපන්දු කණ්ඩායම් සමඟ සසඳන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිදෙනකුට නම් ඉකුත් දින කිහිපය යහපත් වූයේ නැත. ඒ ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම නිසා තරග තහනමකට ලක් වීමට ඔවුනට සිදුවීමයි.
ඊට හේතු වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට එරෙහිව ශාන්ත ලුසියාහි පැවැති දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හැසිරීමයි. එහිදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල විය. ඊට විරෝධයක් ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායම පැය දෙකක පමණ කාලයක් පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළේය.
අවසානයේ දී ඒ පිළිබඳ පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) පරීක්ෂණයේ දී චන්දිමාල්, ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම පිළිබඳ වැරදිකරුවන් වූහ.
ඒ අනුව ඔවුනට තහංචි ලකුණු 08 බැගින් පනවන ලදී. එමෙන්ම ටෙස්ට් තරග දෙකක් සහ එක්දින ජාත්‍යන්තර තරග 04 බැගින් තහනමකට ලක් කිරීමට අයි.සී.සී. තීරණය කළේය.

ප්‍රශාන්ත ඇල්පිටිය










