හැම කෙනෙකුටම යන්න කාලයක් එනවා දැන් මගේ කාලය හරි | සිළුමිණ

හැම කෙනෙකුටම යන්න කාලයක් එනවා දැන් මගේ කාලය හරි

රංගන හේරත්

ලබන නොවැම්බර් මාසයේ එංගලන්තය සමග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය තමන් ක්‍රීඩා කරන අවසන් තරගාවලිය විය හැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ගැන ඉක්මනින්ම තීරණයක් ගන්නා බව රංගන කියා සිටියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගාල්ලේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගය ඇරැඹීමට පෙරය.

ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් වමත් පන්දු යවන්නාවන 40 හැවිරිදි රංගන හේරත් ශ්‍රී ලංකා පිළ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයායි.

මේ වන විට ටෙස්ට් තරග 91ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති රංගන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුළු 423 ක් බිඳ දමා තිබේ.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් පසු කණ්ඩායමේ නායකයා හා කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර මේ ගැන අවසාන තීරණයක් ගන්නා බව ද ගාලු තරගයට පෙර පැවැසීය.

"ඕනෑම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. මම හිතනවා මමත් ඒවගේ කාලයක ඉන්නේ කියලා,"

"සමහර විට මගේ අවසාන තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්. ඒකටත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ මාස 3ක කාලයක් තියෙනවා. එහෙම තමයි මම මේ වෙනකොට සැළසුම් කර තිබෙන්නේ."

ඕනෑම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩාව නවත්වන්න කාලයක් එනවා. සමහර විට මගේ අවසාන තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්.

රංගන හේරත් එළඹෙන එංගලන්ත සංචාරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුනහොත් ඔහු එසේ සමුදෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කලක් ටෙස්ට් පිටිය නියෝජනය කළ ක්‍රීඩකයා ලෙසය.

"ගොඩක් සතුටුයි එච්චර කාලයක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන. එහෙත් ඒකෙ වැදගත්ම දේ තමයි ඒ අවුරුදු 18න් 11ක් ක්‍රීඩා කරන්න ලැබුණා, අවුරුදු 7ක් ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ,"

"ඒ අවුරුදු හතේ මම කරපු දේවල් ගැන මම ගොඩක් සතුටු වෙනවා, කොහොමද පුහුණුවීම් කළේ, තිබුණු උනන්දුව ගැන එහෙම."

ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැළකෙන මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයග්‍රහණ ලබාදීමේ මුලිකයා බවට රංගන හේරත් පත්වූ අතර පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ටෙස්ට් තරගාවලි බහුතරයක ඔහු තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීම ද විශේෂත්වයකි.

තමාගෙන් පසු ශ්‍රී ලංකා දඟ පන්දු බල ඇණිය පිළිබඳ විශ්වාසයක් ඇති බව පවසන රංගන පළපුරුදු දඟ පන්දු යවන්නෙකු වන ඩිල්රුවන් පෙරේරාගේ මූලිකත්වයෙන් අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් වැනි තරුණ දඟ පන්දු යවන්නන් ඉදිරියේදී හොඳින් දස්කම් පානු ඇති බව පවසයි. ලෝකයේ සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් මේ වසරේදී සමත්විය.

ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේ ඩකාහිදී දෙවැනි ඉනිමේ ඔහු දවා ගත් කඩුලු හතරත් සමග ඔහු මෙතෙක් දවාගෙන තිබෙන සම්පූර්ණ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 415 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් විය.

මින් පෙර මෙම වාර්තාව සතු වූයේ ටෙස්ට් කඩුලු 414ක් දවාගත් පාකිස්තාන කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්ටය.

රංගන හේරත් මෙම වාර්තාව සතුකර ගැනීමත් සමග ලෝකයේ සාර්ථකතම වමත් හා දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනාම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවෙන් බිහිකළ සාර්ථකම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන, ලෝකයේ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නා සහ සාර්ථකම දකුණත් පන්දු යවන්නා ලෙසින් වාර්තා දෙකක්ම හිමිකරගෙන සිටියි.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග 2017 අබුඩාබි අගනුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී සිය හාරසිය වෙනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සමත් විය.

රංගනගේ ටෙස්ට් දිවියෙන් වැඩිම කාලයක් මුරලිගේ මැජික් පන්දුවට ඉඩකඩ ලබාදෙමින් බලා සිටින්නට සිදු විය. මුරලිගේ මැජික් පන්දු ඉදිරියේ මේ ඉරණමට ගොදුරු වූ එකම ලාංකේය පන්දු යවන්නා රංගන නොවේ. රංගන සිය හාරසිය වැනි ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ සිය 84 වැනි ටෙස්ට් තරගයේදීය. අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 400 දවා ගත් පන්දු යවන්නා මුරලියි. තරග 72 කි. වමත් දඟ පන්දු යවන්නා රංගනයි.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගය නිමාවනවිට කඩුලු 423 ක් දවා ගෙන ඇති රංගන ඉන් කඩුලු 106 ක් ම දවා ගෙන ඇත්තේ ද පාකිස්තානයට එරෙහිවවීම විශේෂත්වයකි. බටහිර ඉන්දීය කොදෙව්හිදී රංගනගේ කඩුලු මල්ලට එකදු කඩුල්ලක් එක්කර ගැනීමට නොහැකිවීමද විශේෂත්වයකි.

පළමු වසර පහේදී රංගන දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 36 කි.

රංගන සියලු සෙල්ලම් පටන් ගත්තේ සිය පළමු ටෙස්ට් තරගයට එක් වූ 1999 සිට නොවේ. ඉන් වසර 10 ක් ගෙවී ගිය තැන් පටන්ය. 1999 සිට ගෙවී ගිය දශකයකට ආසන්න කාලය ම රංගනට සමහරවිට බංකුව පවා හිමි නොවීය.

2009 දී සිට කඩුලු දඩයම අරඹන රංගන 2009 - 18 දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 387 කි. මේ අතර 2001 - 02 - 03 - 06 - 07 යන වර්ෂයන්හි එකදු ටෙස්ට් තරගයකට හෝ ක්‍රීඩා නොකිරීම ද විශේෂත්වයකි.

ඉනිමක වැඩිම කඩුලු පහක් බිඳ හෙලූ (33) වමත් දඟ පන්දු යවන්නා වන රංගන සමස්ත පන්දු යවන්නන් අතර පස්වැනියා ද වෙයි. තරගයක වැඩිම වතාවක කඩුලු 10 ක් දවාලූ (9) වමත් දඟ පන්දු යවන්නා වශයෙන් ද පෙරමුණේ පසුවන රංගන සමස්ත පන්දු යවන්නන් අතර සිවුවැනි ස්ථානයේ පසුවෙයි.

ඒ අනුව ටෙස්ට් කඩුලු 400 දවා ගත් ලොව පළමු වමත් දඟ පන්දු යවන්නා ලෙස ඔහු වාර්තා පොතට එක් විය.

"මාගේ දෙමව්පියන්, කණ්ඩායම සහ සහාය කාර්ය මණ්ඩලය යන මා පිටුපසින් සිටි සියලු දෙනාට මෙහි ගෞරවය හිමි විය යුතුයි" යනුවෙන් සිය ක්‍රීඩා දිවියේ ලද විශේෂ කඩඉම පිළිබඳ අදහස් දක්වමින් රංගන හේරත් පැවසීය.

ඉදිරි වසර ඇතුලත බොහෝ ටෙස්ට් තරඟ තිබෙන නමුත් විශේෂයෙන්ම ජගත් කුසලාන සඳහා වසර කිහිපයක් තිබෙන බැවින් එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගැනීම‍ට සුදුසුම කාලය මෙය යයි තමන්ට හැඟී ගිය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි.

සිය ක්‍රීඩා ජීවිතය තුල කිසිදු කලකිරීමක් නොමැති අතර, එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගත්තේ ඉතා සතුටින් බවද බවසයි.

"විශේෂයෙන්ම සතුටෙන්. කිසිම දෙකට මම කණගාටු වෙන්නේ නෑ. මේ ක්‍රීඩාව නිසා මට ලැබුණු දේවල් ගොඩයි." ඔහු පැවසීය.

2014 දී පාකිස්තානය සමඟ සිංහල ක්‍රීඩා පිටියේ පැවති ටෙස්ට් තරඟයේ මුල් ඉනිමේ ලකුණු 127 කට කඩුලු 9ක් දවාගැනීම, එක් දින තරඟවලදී ලකුණු 20 කට කඩුලු 4ක් දවාගැනීම සහ විස්සයි විස්ස ක්ෂේත්‍රයේ ලකුණු තුනකට කඩුලු පහක් දවාගැනීමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු පෑ දස්කම් අතර කැපී පෙනෙයි.

රංගන එක්දින තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කරගෙන තිබෙන්නේ 2013 දී ඉන්දියාවට එරෙහිව පොර්ට් ඔෆ් ස්පේන්හිදීය. එහිදී ලකුණු 20 කට කඩුලු 4 ක් බිඳ දමා තිබේ.

2004 හරාරේහිදී සිම්බාබ්වේට එරෙහිව එක්දිනවරම් දිනා ගත් රංගන 2015 දී එංගලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී එක්දින පිටියට සමුදුන්නේය. සිය එක්දින චාරිකාවේ තරග 71 කදී කඩුලු 74 ක් බිඳ දමා තිබේ.

රංගන විස්සයි 20 තරගවල හොඳම පන්දු යැවීම සටහන් කර ගෙන තිබෙන්නේ 2014 දී නවසීලන්තයට එරෙහිවය. එහිදී පන්දු‍වාර 3.3 කදී ලකුණු නොදුන් පන්දුවාර දෙකක් ද සටහන් කර ගනිමින් ලකුණු 3 කට කඩුලු 5 ක් බිඳ දැමීමට සමත් විය.

2011 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලේකැලේදී විස්සයි 20 වරම් දිනා ගත් රංගන 2016 දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි 20 තරග දිවියට සමුදෙනවිට තරග 17 කදී කඩුලු 18 ක් බිඳ හෙළා තිබේ.

ඉදිරි ජගත් කුසලානය දක්වා පවතින කාලය ඇතුලත නව පරපුරේ දඟ පන්දු යවන්නෙකුට කණ්ඩායමට එක් වී ඉදිරියට යාමට අවස්තාව සලසාදීම සිය අභිප්‍රාය බවත් එක්දින පිටියෙන් සමුගන්නා අවස්ථාවේ පැවැසීය.

ලෝක කුසලාන දෙකකට සටන් වැදීමට අවස්ථාව ලැබීම සහ විස්සයි විස්ස ජගත් කුසලාන තුනකට සහභාගි වී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වීමට හැකිවීම සිය ක්‍රීඩා දිවියේ මතක සටහන් අතර ඉදිරියෙන්ම තිබෙන බව ද පවසයි.

අයිපීඑල් වැනි ශූරතාවලීන්ට සහභාගි වීමට අවස්ථාව නොලැබීම පිළිබඳ කණගාටුවක් නැති බවත් පවසයි. ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සියලුම ප්‍රතිවාදී රටවලට එරෙහිව එක් ඉනිමකදී කඩුලු පහක් දවාගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ රංගන හේරත් එම දක්ෂතාවය දැක් වූ ලොව තුන්වෙනි පන්දු යවන්නා බවට පත්විය.

රංගන හේරත් එම ලෝක වාර්තාව සම කළේ සිම්බාබ්වේ පිලට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවාගනිමිනි.

මීට ඉහතදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු රටවලට එරෙහිව කඩුලු පහ බැගින් දවාගැනීමට සමත් වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් පමණයි.

කණ්ඩායමේ ස්ථිර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් ආබාධවලට ලක්වීම නිසා සිම්බාබ්වේ සංචාරය සඳහා තෝරා නොගැනිණ.

එහිදී රංගන හේරත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු අතර, සිය පළමු ටෙස්ට් තරගයේදීම ජයග්‍රහණය වාර්තා කළ පළමු ශ්‍රී ලංකා නායකයා බවට පත්වීමටත් ඔහු සමත්විය.

රංගන 14 වැනි ටෙස්ට් නායකයා වන අතර 2016 - 17 දි තරග 05 කදී නායකත්වය දරා තරග 3 ක් ජයගෙන දෙකක් පරාජය වී තිබේ.

රංගන සිය ටෙස්ට් දිවියේ තරග 91 කදී තරගාවලි 46 කදී තරගාවලි වීරයා සම්මාන පහක් දිනා ගෙන තිබේ. වැඩිම ටෙස්ට් තරගාවලි වීරයා සම්මානයට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ මුත්තයියා මුරලිදරන්ය. මුරලි 1992 - 2010 දී තරග 133 කදී තරගාවලි 61 ක් ක්‍රීඩා කර තරගාවලි වීරයා සම්මාන 11 කට හිමිකම් කියයි. ටෙස්ට් තරග 200 කට ක්‍රීඩා කර ඇති සචින් තෙන්දුල්කාර් තරගාවලි වීරයා සම්මාන පහකට හිමිකම් කියයි.

 

Comments