මහදැනමුන්තන්ගේ ඉල්ලන් කෑම | සිළුමිණ

මහදැනමුන්තන්ගේ ඉල්ලන් කෑම

නෝන්ජල් භාවයෙන් අත්මිදී කටයුතු කිරීමට නොහැකි තැනක ක්‍රීඩා ක්ෂේත්‍රය පවතී. යන්නම් වාලේ කරන්නම් වාලේ සියලුම දේ ඒමේ අත ගමන් කරමින් පවතියි. විසිඑක්වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජය දශක දෙකකට පසු ප්‍රංශයට හිමි වුවද, අදටත් එකී කතාබහේ වැඩි කොටසක් හිමි කරගෙන සිටින්නේ අනුශූර ක්‍රොයේෂියාව, ජනාධිපතිනි කොලින්ඩා සහ නායක ලුකා මොඩ්රිච් බව රහසක් නොවේ. ඒ වෙනකක් නිසා නොව, මෙවර පාපන්දු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔවුන්ගේ භූමිකාව එතරම් ඉහළින්ම සටහන් වූ බැවිනි.මෙය ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයට හා මුසු කිරීමට ද නොහැකි අතර එක් අතකින් මේවා සැබෑ නොවන සිහිනය.

මේ සියලු කතාබහ අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දිනේෂ් චන්දිමාල්ව, චන්දික හතුරුසිංහව සහ අසංක ගුරුසිංහව දඬු ක‍ඳේ ගසා තිබේ. මේ තිදෙනාව දඬුක‍ඳේ ගැසීමත් සමඟ ම දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරග හතරක්ද අහිමි‍ වෙයි. බටහිර කොදෙව් සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේදී ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළායැයි තිදෙනාට ම චෝදනා එල්ල වූ අතර තිදෙනාම එහි වරද පිළිගත්හ. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද බුරුවා කුට්ටමේ කොළ ටික තමන්ට ඇවැසි තැනින් කපා ගනිමින් තිදෙනාට එරෙහිව ගේම අහවර කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයක් ද මේ වන විට ක්‍රියාත්මක නොවන අතර නිසි බලධාරියා වශයෙන් කටයුතු කරන්නේ ක්‍රිඩා අමාත්‍යංශ ලේකම්වරයායි.

ප්‍රශ්නය ඇති වු ටෙස්ට් තරගයේදී චන්දිමාල්ගේ, ගුරුසිංහගේ සහ හතුරුසිංහගේ භූමිකාවන් ගැන කතා කිරීමට ද දෙයක් ඉතිරිව නැත. මන්ද යත් එකී තරගයේ මොවුන් ගේ හැසිරීම තුට්ටුවක් නොවටිනා බැවිනි. චන්දිමාල්ට ද මෙහිදී නායක‍යාගේ භූමිකාවෙන් අත්මිදී කටයුතු කළ නොහැකි අතර, ගුරුසිංහට කළමනාකරුවකුගේ මෙන්ම හතුරුසිංහට පුහුණුකරුවකුගේ භූමිකාවෙන් මිදි කටයුතු කළ නොහැකිය. විශේෂයෙන් කළමනාකරුවකුගේ භූමිකාව විය යුත්තේ තරගයක් අතර ඇති වන්නා වූ ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් මනා අවබෝධයකින් කටයුතු කිරීම මිස නොදන්නා බබෙකු සේ කටයුතු කිරීම නොවේ. රට රටවල අත්දැකීම් සම්භාරයක් ඇති හතුරුසිංහ ද මෙහිදි ක්‍රියා කළ ආකාරය අවුල් සහගතය. කළමනාකරුට සහ පුහුණුකරුට ඉහළින් චන්දිමාල් කටයුතු කරනවාද යන්න නොදනිමු. ඒ නිසාම මේ සිද්ධියේදී චන්දිමාල් ඉල්ලන් කාපු දෙන් න්‍යායෙන් මොවුන් කටයුතු කලා ද යන්න නොදනිමු. මන්ද යත් මේ වන විට චන්දිමාල් දෙවැනි වරටත් වරදකරුවකු වී සිටින බැවිනි. අනෙක් දෙදෙනාට ඒ දඬුවම හිමි වූ පළමු වතාව බැවිනි. කෙසේ වෙතත් කොලින්ඩලා ඇවැසි මොහොතක අප ක්‍රීඩා ක්ෂේත්‍රයේ අඳුරු අහුමුළු අතපතගාමින් සිටින බව පැහැදිලිය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන උලෙළවල්වල හොඳම විනය ගරුක ක්‍රිකට් කණ්ඩායම ලෙසද සම්මානයට පාත්‍ර වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය ගැටලු සම්බන්ධයෙන් මෑතක සිට අසන්නට දකින්නට ලැබෙන්නේ සතුටු දායක පුවත් නොවේ. මේ සියලු ගැටලු අතර ධනුෂ්ක ගුණතිලකට එරෙහිව සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන පරිදි ක්‍රිඩක චර්යා ධර්ම උල්ලංඝනය කිරීම නිසා මේ තහනම පනවන බවකි. නමුත් ඒ සඳහා බලපාන හේතු සඳහන් කර නොතිබුණි.

 

Comments