
ජැමෙයිකාවේ බ්‍රියානා විලියම්ස් මෙවර යොවුන් ලෝක ශූරතාවලියේ කාන්තා මීටර් 100 සහ 200 ශූරියයි. 16 හැවිරිදි බ්‍රියානා මෙම ඉසව්වල ළාබාලතම ලෝක ශූරියයි.
දාහත්වැනි යොවුන් (වයස අවුරුදු 20 න් ) මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය පින්ලන්තයේදී නීමාව දුටුවේ කෙන්යාව රන් පදක්කම් හයක් දිනා ගනිමින් පදක්කම් සටහනේ ප්‍රමුඛයා වීමෙනි. ජැමෙයිකාව රන් හතරක් දිනා ගත් අතර, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉතියෝපියාව, බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාව රන් පදක්කම් තුන බැගින් දිනා ගැනීමට සමත් විය. සමස්ත කනිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් එනම් 108 ක් හිමි කර ගෙන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. පදක්කම් සටහනේ දෙවැනි වැඩිම රන් ලාභීයා කෙන්යාවයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 11 දෙනෙකු මේ තරගාවලියට එක් වූ අතර ඒ සියලුම දෙනාට හිස් අතින් ම පැමිණිමට සිදු වුවද ඔවුන් සමස්තයක් ලෙස මේ තරගාවලියේ දක්වන ලද දස්කම් කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නොවේ.
මෙහිදි ශ්‍රී ලංකා මීටර් 400 සහාය දිවිමේ බාලක කණ්ඩායම් අවසන් තරගය දක්වා පැමිණිම ද කැපි පෙනෙන සිද්ධියකි. මලල ක්‍රීඩාව අපට වඩා දියුණු මට්ටමක පවතින ආසියාවේ කිසිඳු රටක මෙන්ම ප්‍රබල ජැමෙයිකාවටද මේ අවසන් තරගයට පිවිසීමට නොහැකි වීමෙන් ම ශ්‍රීලංකා කණ්ඩායමේ දක්ෂතා කැපිපෙනෙයි.එහෙත් ප්‍රශ්නය වන්නේ මේ දක්ෂතාවයන්ට නිසි ඉඩක් මෙකි භූමියේ නිර්මාණය වී තිබේ ද යන්නයි. පුහුණුවට නිසි තැනක් තබා කුසට හරි හැටි පෝෂණයක් ද නැතිව මේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ගැන සොයා බැලිමට ද කිසිවකුත් නොමැති බැවිනි.
මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝක අවධානය දිනා ගත් සුවිශේෂි ක්‍රිඩකයකු වුයේ මීටර් 400 යොවුන් ආසියානු ශූරයාවන අරුණ දර්ශනයි. නමුත් අරුණට ද වැඩි දුරක් මේ තරගාවලියේ යාමට නොහැකි වූ අතර අවසන් පුර්ව වටයේදී පස් වැන්නා ලෙස තරගය නිම කරමින් අවසන් තරගයේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදු විය. අරුණ එහිදී වාර්තා කළ කාලය තත්පර 45.79කි.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩක ක්‍රිඩිකාවන් මේ තරගාවලියට සහ යොවුන් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන විට සුගතදාස ක්‍රිඩාංගණය වසා දමා මොවුන්ව එයින් පිටමංකර තිබුණි. වසර කිහිපයක්ම නිසි ධාවන පථයක් නොමැතිවීම හේතුවෙන් ලාංකේය මලල ක්‍රිඩාව විශාල පසුබැමකට ලක්ව තිබු බව නොරහසකි. විශාල මහජන මුදල් ප්‍රමාණයක් වැය කරමින් මෙය නැවත පිළිසකර කළේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ අවශ්‍යතාවයන්ට ද පාලකයන්ගේ අවශ්‍යතාවයන්ට ද යන්න නොදනිමු.
“අද දවස විශේෂ දවසක් (ජූලි10). ක්‍රීඩාවේ නියම වටිනාකමක් දීමට සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සමස්ත රටේම සම්පතක් ලෙස දයාද කල වී. ඒ. සුගතදාස මැතිතුමාගේ ජන්ම දින සැමරුම් උලෙළ අදට යෙදී තිබෙනවා. එසේ ප්‍රකාශ කළ සුගතදාස ක්‍රීඩා අධිකාරියේ අධ්‍යක්ෂිකා සුසන්තිකා ජයසිංහ “මම එතුමා ගැන වචනයක් කියන්න ඕනේ. එතුමා මෙවන් සම්පතක් අපේ රටේ ආරම්භ නොකළා නම් අපිට දුවන්න තැනක් නෑ. අද කොයිතරම් රාජ්‍ය නායකයෝ පහළ වුනත්, ක්‍රීඩා අමාත්‍යවරු ආවත්, කොයිතරම් රජයන් තිබුණත් අපිට එක පිට්ටනියයි තිබෙන්නේ.
ඒක මම අවුරුදු 20 ක් ක්‍රීඩා කරපු සහ වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිළධාරිනියක් වශයෙන් නිර්භීතව මම ප්‍රකාශ කරනවා අපිට මේ සුගතදාස පිට්ටනිය විතරයි තියෙන්නේ. අපිට දියගම එක තිබෙනවා. නමුත් ජාත්‍යන්තර වටිනාකමකින් ජාත්‍යන්තර තරගයක් තියන්න පුළුවන් අපේ රටේ සමස්ථ ක්‍රීඩාවන් ගණනාවකටම පිහිණුම් ගත්තත්, මළල ක්‍රීඩාව ගත්තත්, වොලිබෝල් නෙට්බොල් ගත්තත්, පාපන්දු ගත්තත් ක්‍රීඩා ගණනාවකට තෝතැන්නක් එක් කරපු තැනක් තමයි මේ සුගතදාස ක්‍රීඩාංගණය.
ඒ හරහා තමයි මට පුළුවන් වුනේ මේ රටට, මගේ මාතෘ භූමියට ලෝක ජයග්‍රහණ 04 ක් අරන් එන්න. නැත්නම් අපිට කොයි තරම් හයිය තිබ්බත්, කොයි තරම් වේගය තිබ්බත්, කොයි ශක්තිය තිබුනත් තනකොල පිට්ටනිවල දුවලා කවදාවත් මේක කරන්න බැහැ. මේ සුගතදාස ක්‍රීඩාංගණය පුංචිවට පටන් අරගෙන ඒක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට පත් කරලා අපේ රට මේ තරම් හැම ක්‍රීඩාවෙන්ම ඉහලට ගෙනියන්න මූලිකයා වුනේ වී.ඒ.සුගතදාස මහත්තයා. මගේ වයසත් එක්ක මම එතුමා ගැන තොරතුරු සොයා බලද්දී ක්‍රීඩාවට යමක් කරපු සහ කරන හැම බලධාරියෙකුටම හොද ආදර්ශයක්.
එතුමා ක්‍රීඩා අමාත්‍යවරයෙක් හැටියට දෙන්න පුලුවන් උතුම්ම දායාදය තමයි මෙම පිට්ටනිය. අපේ රට ක්‍රීඩාවෙන් සුවිශේෂී ජයග්‍රහණ ලබා ගන්න හැකියාව ලැබිලා තිබෙන්නේ. එතුමා අපිට දුන්නු ඒ දායාදය ඒ කියන්නේ අපේ ජීවිතත් වර්ණවත් කර ගන්න මේ රටේ නමක් තියන් තැනක් හදාගන්න තෝතැන්නක් වුනේ මේ සුගතදාස ක්‍රීඩාංගණය. මේ ජාත්‍යන්තර පිට්ටනිය හදන්න අත හිත දුන් එවකට රණසිංහ ප්‍රේමදාස වැනි ඒ රාජ්‍ය නායකයින්ටත් මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.
අපි ගමේ ක්‍රීඩාව මේ නගරයට ගෙනැල්ලා, මේ නගරය මේ රට ජාත්‍යන්තරයට ගෙනිහිල්ලා ඒ ගෞරවය පෙරළා විශ්ව කීර්තිය මේ මාතෘභූමියට ගෙනැල්ලා ඒ කරපු සියළු මෙහෙවර ඉදිරි කාලයේදී අපේ අනාගත පරපුරට ඇප කැප වෙලා කටයුතු කරන්න අපි සියළු දෙනා අවංක සිතින් හැම ක්‍රීඩාවටම, හැම ක්‍රීඩකයෙක්ටම සමබරව යහපත්ව දක්ෂතාවයෙන් ඉහල තැනකට එන්න කටයුතු කරන්න අපිට පුලුවන් හැම ආකාරයෙන්ම අපි සහයෝගය දෙමු, කටයුතු කරමු කියලා.
විශේෂයෙන් වී.ඒ.සුගතදාස මැතිතුමාට පිං එකතු වෙන්නට සමස්ථ ක්‍රීඩාවටම සාධාරණව අවංකව කටයුතු කරමින් රටේ සංවර්ධනයට මේ ක්‍රීඩාව අපි සියලු දෙවල් පෙරටු කරගෙන කටයුතු කරමු කියන ඒ පණිවිඩය දෙමින් අපේ වර්තමාන ක්‍රීඩා ඇමතිතුමාට ක්‍රීඩාවේ අවබෝධය ක්‍රීඩාවේ උන්නතිය රටේ සංවර්ධනයට මේ ක්‍රීඩාව ගමට ගෙනිහිල්ලා ඒ දක්ෂයෝ ටික ගෙනැල්ලා අපි සියලු දෙනාටම එක හා සමානව කටයුතු කරලා මේ රටට ගෞරවයක් ගේන්න කටයුතු කරන්න අපි සියළුම දෙනා අත්වැල් බැදගෙන ඒ සහයෝගය දීලා කටයුතු කරමු කියලා ප්‍රකාශ කරනවා. ඉල්ලීමක් කරනවා. අනාගතයේදී අපේ රට තව තවත් ජාත්‍යන්තර ජයග්‍රහණවලින් බැබලේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අවංක සේවය මේ සමස්ථ ක්‍රීඩාවටම කැප කරනවායි කියන ප්‍රකාශය දෙමින් වී.ඒ.සුගතදාස මැතිදුන්ට සමස්ත ක්‍රීඩාව වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය හා ඒ ස්තූතිය පුදකරනවා.
සුසන්තිකාගේ කතාව සහ දැන් සිදුවන දේ සැබැවින් ම වි:ඒ: සුගතදාසයන් අසනවා දකිනවා නම් මෙවැනි ක්‍රිඩාංගණයක් සෑදුවේ කුමටදැයි පසුතැවෙනු නොඅනුමානය.
ජාතික පුහුණුකරු වශයෙන් දිර්ඝ කාලයක් සේවය කළ ඩර්වින් පෙරේරා. පසුගිය වසරේ දිවියෙන් සමුගත් පසු ඇති වූ පුරප්පාඩුව එසේම පවතින අතර මේ තාක් කාලයක් ලාංකේය මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් තරගාවලියන්ට එක් වූයේ ඒ අවස්ථාවට අටවා දෙන පුහුණුකරුවකු සමඟ හෝ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ පුද්ගලික පුහුණු කරුවන් සමඟය. අප නිරන්තරයෙන් ම පෙන්වා දෙන්නේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ කැපවීම - උනන්දුව සහ උත්සාහය මත යම් යම් ජයග්‍රහණ අත්පත් කරගත්ත ද ඊට වඩා දෙයක් කිරීමට තරම් ලාංකේය ක්‍රිඩා යාන්ත්‍රණය අබලන් වී ඇති බවය. ක්‍රිඩකයකු හෝ ක්‍රිඩිකාවක සිය පංචස්කන්ධය උපරිම දුෂ්කරතාවන්ට පත්කර ගනිමින් වලි කන්නේ එකී ශරීර කුඩුව තුළ වර්ධනය වන්නා වූ හැකියාව මෙකී කොදෙව්වෙන් ජාත්‍යන්තරයට ගෙන යාමටය. ජාත්‍යන්තර තලයේදී එහි දක්ෂතා උරගා බලන්නටය. එකී උත්සාහයට රටක් විදියට අප ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳ බලධාරින් මීට වඩා දස දහස් වාරයක් සිතිය යුතුබව අමුතුවෙන් සිහිකර දිය යුතු නොවේ.










