කෝටි ගාණක පාපන්දු තෑගි ළමයින්ට පිදූ ගැටවර වීරයා එම්බාපේ | සිළුමිණ

කෝටි ගාණක පාපන්දු තෑගි ළමයින්ට පිදූ ගැටවර වීරයා එම්බාපේ

ලෝකයක ඇස් රුසියාව කෙරෙහිම රැන්දූ පාපන්දු පිටියේ මහා මංගල්‍යය අවසන් වූයේය. අලු‍ත් අලු‍ත් වීරයෝ ලෝකයට පැමිණියහ. එලෙස අලු‍ත් වීරයන් හට ලෝකයේ අලු‍ත් තැන් සැදෙමින් තිබියදී ජීවමාන පුරාවෘත්තයක් වන සදාකාලික වීරයෙක් ලෝකයේ තවත් කොනක සිට මේ සියල්ල දෙස දෑස් යොමා සිටියේය. සියලු‍ දුක සතුට බෙදා-හදාගැනීම් කෙළවර විසිරගිය පිරිසෙන් එකකු තමන්ගේ එකකු වූ සතුට මේ ජීවමාන පුරාවෘත්තයට දැනී තිබුණෙන්, ඔහු ඒ සතුට වචන කළේය:

“මගේ සමාජයට සාදරයෙන් පිළිගන්නවා. තව කෙනකුගේ හවුල මගේ සමාජයට ලැබීම මට සතුටක්!”‍

මේ වචන ලියවී තිබුණේ ට්විටර් ගිණුමකය. ඒ ට්විටර් ගිණුම ‘පේලේ’ ගේය.

‘පේලේ’ හැට වසරක් තිස්සේ තනිව සැමරූ සතුට බෙදාගන්න ලැබුණු අලු‍ත් හවුල්කාරයා, ‘කිලියාන් එම්බාපේ’ පේලේගේ සතුටට සේම ලෝකයේම කතා-බහට හේතු මවා තිබුණේය. එම්බාපේ ක්‍රෝඒෂියාව හා කුසලානයේ අවසන් සටනට එළඹ සිටි ප්‍රංසය වෙනුවෙන් ලැබුණු සිව්වැනි ගෝලයේ අයිතිකාරයා වූයේය. ඔහු ලැබූ ඒ ගෝලය ප්‍රංසය කුසලානය වෙතටත් ඔහුව පාපන්දු ඉතිහාසයේ බොහෝ ඉඩ ඇති පිටුවක් වෙතටත් ගෙන යන්නට සමත් වීය. ‘පාපන්දු අවසන් මහා තරගයකදී ගෝලය ලබාගත් දෙවන ගැටවරයා’ වූ එම්බාපේ සිය නම සටහන් කරගත්තේ පේලේගේ නම ලියවුණු තැනටම පහළිනි. 1958 අවුරුද්දේ ස්වීඩනය හා බ්‍රසීලය අතර වූ පාපන්දු ලෝක කුසලාන අවසන් සටනේදී 17 වියැති ගැටවරයකුව සිටි පේලේ පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයකදී ගෝලයක් ලබාගත් මුල්ම ගැටවරයාය.

පේලේ අවුරුදු 17දී පෑ දස්කම පාද්දී එම්බාපේ පසු කරමින් සිටියේ ජීවිතයේ 19 වැනි අවුරුද්දයි. පේලේට පමණක් දෙවැනි වූ මේ දස්කම සේම එම්බාපේ ‘කතානායකයා’ කරවූ තවත් කතාවක් පාපන්දු පිටියෙන් එහා ඇති වූයේය. එනයින් පාපන්දු ලෝක කුසලාන දිනුම වෙනුවෙන් ඔහු ලැබූ ඇමෙරිකානු ඩොලර් 350,000ක බෝනස් මුදල පුණ්‍යායතනයකට දීමට එම්බාපේ ගත් තීරණය ඔහුට බෝහෝ පැසසුම් ගෙනෙන්නට සමත් වූයේය. ඔහු මේ මුදල පිරිනමා ඇත්තේ පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටින ආබාධ සහිත දරුවන් සහ පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිට නොයෙක් හේතු නිසා රෝහල්ගත වී සිටින දරුවන් වෙනුවෙන් පිහිටුවා ඇති අරමුදලකටය. තවත් ජීවිතයකට අත්වැල දෙන්නටත්, ඉහළ ප්‍රසිද්ධියක් නැති මෙවැනි ආයතනයකට උපකාර කිරීමටත් එතරම් ළාබාල වයසකදී ඔහු ගත් තීරණය ලොව පුරා බොහෝ දෙනාගේ පැසසසුමට ලක් වී තිබුණේය. ඔහු තිළිණ කළ මේ මුදල එංගලන්ත කණ්ඩායමම එක්වී පුණ්‍යායතන වෙනුවෙන් යෙදවූ මුදලටද වඩා වැඩි බවක්ද කියැවෙන්නේය.

එම්බාපේ 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විශිෂ්ටතම තරුණ ක්‍රීඩකයා වීම වෙනුවෙන් ලද මේ විසල් මුදල තවෙකකුගේ ජීවිතයක් ගොඩනංවන්නට යෙදවූයේ ජීවිතය මුදලට වඩා වටිනා බව අත්දැකීමෙන්ම දන්නා නිසා වන්නට බැරි නැත. අද පාපන්දු ලෝකයේ වැඩිම ආදායමක් උපයන ළාබාලතම ක්‍රීඩකයාව සිටියද ඔහු සල්ලි කොළ මත පිහිනමින් ජීවිතය ඇරඹූ අයෙක් නොවේ. පාපන්දුවේ උරුමය ලබාම පැරීසියේදී උපන්නත් එම්බාපේගේ පියා විල්ෆ්‍රඩ් එම්බාපේ කැමරූන් ජාතිකයෙකි. එම්බාපේ උපදින්නත් පෙර පාපන්දු ලෝකයේ ඔහුට තැනක් වෙන් කරගෙන සිටි නියෝජිතයා වී ඇත්තේද ඔහුගේ පියාමය. ඒ ඔහු පාපන්දු පුහුණුකරුවකු වූ බැවිනි. මවු පසින්ද එම්බාපේට ක්‍රීඩා හැකියාව නොඅඩුව ලැබී ඇතැයි හැ‍ඟෙන්නේ ඇල්ගීරියානු කතක වන ඔහුගේ මව අත්පන්දු ක්‍රීඩිකාවකව සිටි බව කියැවෙන හෙයිනි. ඔහුගේ කුලවද්දාගත් සොහෝදරයාද වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි.

පාපන්දුවට ආදරය කරන්නට ඕනෑ තරම් හේතු ඔහුට ඔහු අසලම ඔහුගේ ඇ‍ඟේ දැවටෙමින්ම තිබුණත් එම්බාපේට පාපන්දුවට ඇල්මක් ඇති කරවන්නට සමත් වූයේ නම් ඒ ඒ කිසිවක් වත් නොවේ. පාපන්දුවේ වීර කතාව ඔහු දැක ඇත්තේ සුපිරි පෘතුගාල ක්‍රීඩක රොනාල්ඩෝගෙනි. දන්නා කල පටන් එම්බාපේගේ වීරයා වී ඇත්තේ රොනාල්ඩෝය! පාපන්දුව හා ගැටෙන්නට පටන් ගත් දා පටන් ඔහුට වුවමනා වී ඇත්තේ රොනාල්ඩෝ මෙන් දිනන්නටය. ඔහු සිය කාමරයේ බිත්ති රොනාල්ඩෝගේ රුවින්ම පුරවාගත්තේ සිය ඉලක්කයට යන ගමන පහසු කරගන්නට සිතා වන්නට පුළුවනි.

රොනාල්ඩෝ දෙස බලමින් එම්බාපේ යන්නට පටන් ගත් ගමනේ ඔහුට අත්පොත් තබා ඇත්තේ ඔහුගේම පියාය. ‘ඇන්තෝනියෝ රිකාඩි’ නම් පැරීසියට යාබද ‘බොන්ඩි’ පළාතේ ප්‍රසිද්ධ පාපන්දු පුහුණුකරු යටතට එම්බාපේ යැවෙද්දී ඔහුට වයස අවුරුදු හයක් වූවා විතරය.

“මුලින්ම මම එම්බාපේට පුහුණු වීම් කරවද්දි ඔහුගේ වයස අවුරුදු හයයි. මට මතකයි ඒ වයසේ සෙල්ලම් කරපු අනෙක් දරුවන්ට වඩා දෙයක් කරන්න දක්ෂකමක් ඔහුට තිබුණා. පාපන්දුවලදි හොඳින් ප්‍රගුණ කිරීම, ඉතාම අපහසු ඩ්‍රිබ්ල් කිරීම ඉතා පහසුවෙන් වගේම අනෙක් අයට වඩා වේගයෙන් කරන්නත් ඔහුට පුළුවන්කම තිබුණා. එය හරිම පුදුමසහගත, අපූරු හැකියාවක්! අවුරුදු 15කටත් වඩා කාලයක් පුහුණු කරුවෙක් විදියට ඉඳලවත් මම අද වෙන කල් තවම එහෙම කෙනෙක් දැකලා නැහැ! ඔහුට තිබුණු විදියේ දක්ෂකමක් මම තවමත් දැක නැහැ... කෙටියෙන්ම කියන්වා නම්: ඔහු සැබෑ විශිෂ්ටයෙක්!”‍ ඇන්තෝනියොගේ මතකය අද එම්බාපේගෙන් පෙනෙනා දස්කම් හා හරි-හරියට ගැළපෙන්නේය.

ප්‍රංසයේ මතු නොව, ලෝකයේම සුපිරි පාපන්දු ක්‍රීඩා සමාජ පවා තමන් වෙත ආකර්ෂණය කරවූ කිලියනා එම්බාපේගේ සුපිරි පාපන්දු දස්කම් කිසිදා ඔහුගේ වයස හා සම වූයේ නැත. රියල් මැඩ්‍රිඩ්, චෙල්සේ, ලිවර්පූල්, මැන්චෙස්ටර් සිටි සහ බයර්න් මියුනිච් වැනි ලොව පාපන්දුවේ ඉහළම ගෙවුම් කරන්නන් එම්බාපේ තමන් සතු කරගන්නට නොයෙක් විට උත්සාහ ගත්තද, අවසන ඔහු තමන්ගේ පා මෙහෙයවන්නට තීන්දු කළේ ‘මොනාකෝ’ වෙනුවෙනි. මොනාකෝව එදා-මෙදා තුර තමන් වෙනුවෙන් තෝරාගත් ළාබාලතමයා වී තිබුණේද එවකට වයස වසර 16කුත් දින 347ක් වූ කිලියානාය. ඔහු මොනාකෝ සමඟින් අස්සන් තැබූ ඒ වෘත්තීය ගිවිසුම වසර තුනක් වෙනුවෙන් වූ අතර, එය අවසන් වන්නට නියමිතව තිබුණේ 2019 අවුරුද්දේය. මොනාකෝ සමඟ ගිවිසුමෙන් වසරක ගත වන්නට පෙරම ‘පැරිස් සෙන්ට් ජර්මේන්’ එම්බාපේ තමන් සමඟ නව ගිවිසුමක් අස්සන් කළ බවට කළ නිවේදනය පාපන්දු ලෝකය පුදුමයෙනුත් පුදුමයට පත් කරවා තිබුණේය. ඒ මොනාකෝ කොන්ත්‍රාත්තුව අතරමඟදී අවසන් කිරීම නිසා ගෙවා දමන්නට සිදු වී තිබුණු යුරෝ මිලියන 180ක මුදලද පැරිස් සෙන්ට් ජර්මේන් විසින් ගෙවා දමන ලද නිසාය. මේ ගෙවා දැමීම් සියල්ල නිමා වෙද්දී එම්බාපේ ‘නේමාර්’ හට පමණක් දෙවැනි වෙමින්, එදා-මෙදා තුර පාපන්දු ලෝකයේ වැඩිම ගෙවීම් ලබන්නන් අතර දෙවැනි තැන සේම ලොව වැඩිම ගෙවීම් ලබනා ළාබාලතම පාපන්දු ක්‍රීඩකයාද වෙමිනි. ප්‍රංස ජාතික පාපන්දු කණ්ඩායමේ එම්බාපේට වෙන් වුණු තැන පුදුමයක් නොවූයේ සියල්ල ඉක්මනින් සේම අපූරුවට පෙළගැසෙද්දීය. සිය ජීවිතයේ හා-හා පුරා කියා ලද ලෝක කුසලාන පාපන්දු අත්දැකීම තමන්ට සේම ලෝකයටද අමතක නොවන තරමට විශේෂ කරගන්නට එම්බාපේට අලු‍ත් අලු‍ත් දේ කළ යුතු වූයේ නැත. ඔහුට තිබුණේ හුරුපුරුදු දස්කම් පාන්නට විතරය.

ඒ දස්කම් වසර විස්සකට පසු ප්‍රංසයට ගෙන ආ පාපන්දු කිරුළේ සතුට තියුණු කිරීම ගැන කිලියානාට ඇත්තේ සතුටකි. “ප්‍රංසෙ මිනිස්සු - අපේ මිනිස්සු සතුටු කරන්න ලැබුණු-එක ගැන මට තියෙන්නේ සතුටක්!”

Comments