පාපන්දු ලෝක කුසලාන තරගාවලිය | Page 2 | සිළුමිණ

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

ප්‍රංශය සහ ක්‍රොයේෂියාව සිහින පොදි බැඳගෙන අවසන් සටනට සැරසෙයි

ලොව අලංකාරතම ක්‍රීඩාව පාපන්දුය. එමෙන් ම ජනප්‍රියත ම ක්‍රීඩාවත් පාපන්දුය. එම ක්‍රීඩාවේ වැදගත් ම දිනය අදය. ඒ 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (ජූලි 15) පැවැත්වෙන බැවිනි. ඒ රුසියාවේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදීය.

මෙවර තරගය දෙසට ලොවම අවධානය යොමු කර තිබෙන්නේ එහිදී තරග කරන්නේ සැබවින් ම ගලිවරයකු සහ ලිලිපුට්ටෙකු නිසාවෙනි. ඒ ප්‍රංශය සහ ක්‍රොයේෂියාවයි. මෙම රටවල ප්‍රමාණය හෝ ජනගහණය සසඳා බැලීමේදීත් ප්‍රංශය දැවැන්තය.

2017 වසරේ දත්තයන්ට අනුව ප්‍රංශයේ ජනගහනය 67,186,638 කි. ක්‍රොයේෂියාවේ එය 4,154,200 කි. ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ තෙවැනි වතාවටයි. එම දස්කම ක්‍රොයේෂියාව මුල් වරට මෙවර කර තිබේ.

මෙවර අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලැබුවේ යුරෝපීයම රටවල් සතරකි. ඒ ප්‍රංශය, ක්‍රොයේෂියාව, එංගලන්තය සහ බෙල්ජියමයි. එහිදී ප්‍රංශය ගෝල 1 - 0 කින් බෙල්ජියම පරාජය කළේය. ක්‍රොයේෂියාව ගෝල 2 - 1 ක ජයක් ලැබීය. ඒ එංගලන්තය හමුවේය.

තෙවැනි ස්ථානය තේරීමේ තරගය ඊයේ (14) පැවැත්විණි. එහිදී බෙල්ජියම සහ එංගලන්තය තරග කළේය.

 

ලෝක ශූරයන්ට අති විශාල මුදලක්

මෙවර ලෝක ශූරයන්ට පිරිනමන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 38 කි. අනුශූරයන්ට මිලියන 28 කි. මීට අමතරව තෙවැනි ස්ථානයට මිලියන 24 කි. සිවුවැනි ස්ථානයට මිලියන 22 කි.

ප්‍රංශය

මෙවර තරගාවලිය ඇරැඹෙන විට ලෝක කුසලානය හිමිකර ගනු ඇති බවට රටවල් කිහිපයක් ගැන ‍බොහෝ දෙනා බලාපොරොත්තු පළ කළහ. ප්‍රංශයත් ඊට අයත්ය.

ඔවුන් මුල් වටයේදී තරග කළේ සී කාණ්‍ඩයෙනි. ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ පීරු ඊට අයත් සෙසු රටවල්ය.

පළමු තරගය :- ප්‍රංශය 2 - 1 ඔස්ට්‍රේලියාව

දෙවන තරගය :- ප්‍රංශය 1 - 0 පීරු

තෙවන තරගය :- ප්‍රංශය 0 - 0 ඩෙන්මාර්කය

16 වටය :- ප්‍රංශය 4 - 3 ආර්ජන්ටිනාව

අර්ධ අවසන් තරගය :- ප්‍රංශය 2 - 0 උරුගුවේ

අවසන් පූර්ව තරගය :- ප්‍රංශය 1 - 0 බෙල්ජියම

ප්‍රංශය සිය මංගල ජාත්‍යන්තර තරගයට සහභාගි වූයේ 1904 දීය. ප්‍රතිවාදින් වූයේ අසල්වැසි බෙල්ජියමයි. ප්‍රතිඵලය ගෝල 3 - 3 කි. ඔවුන්ගේ විශාලතම ජය 1995 දීය. ඒ ගෝල 10 - 0 කින් අසර්බයිජානය පරාජය කිරීමයි. ප්‍රංශය සිය විශාලතම පරාජය ලැබුවේ 1908 දීය. ඒ ගෝල 17 - 1 කින්ය. ප්‍රතිවාදින් ඩෙන්මාර්කයයි.

ප්‍රංශය ලෝක කුසලාන තරගාවලි 15 කට සහභාගි වී තිබේ. ඒ 1930 සිටය. ඉහළතම දක්ෂතා අතරට ශූරතාව - 1998, අනුශූරතාව 2006 සහ තෙවැනි ස්ථාන 1958, 86 අයත්ය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමට අනුව වත්මනදී ඔවුන්ට 07 වැනි ස්ථානයයි. ඉහළතම ශ්‍රේණිගත කිරීම 2001 වසරේදීය. ඒ අංක 01 ස්ථානයයි. ඔවුන්ට හිමි වූ පහළතම ශ්‍රේණිගත කිරීම 2010 දීය. ඒ 27 වැනි ස්ථානයයි.

ප්‍රංශ සංචිතය

හියුගෝ ලොරිස් (නායක), බෙන්ජමින් පවාර්ඩ්, ප්‍රෙස්නෙල් කිම්පෙම්බේ, රෆායල් වාරාන්, සැමුවෙල් උම්ටිටි, පෝල් පොග්බා, ඇන්ටොයින් ග්‍රියිස්මන්, තෝමස් ලෙමාර්, ඔලිවියර් ජිරුඩ්, කයිලියන් ම්බැපේ, ඔස්මානේ ඩෙම්බෙලේ, කොරෙන්ටින් ටොලිසෝ, එන්ගෝලෝ කාන්ටේ, බ්ලෙයිසෙ මටුයිඩි, ස්ටීවන් එන්ෂොන්සි, ස්ටීව් මැන්ඩන්ඩා, අඩිල් රාමි, නාබිල් ෆෙකිර්, ඩ්ජිබ්‍රිල් සිඩිබේ, ෆ්ලොරියන් තෝවින්, ලුකස් හර්නැන්ඩෙස්, බෙන්ජමින් මෙන්ඩි, ඇල්ෆෙන්සෙ එරියෝලා, ඩිඩියර් ඩෙෂොන් (පුහුණුකරු)

ක්‍රොයේෂියාව

අත්දැකීම් බහුලතම කණ්ඩායමක් ලෙසට මෙවර තරගාවලියට සුදුසුකම් ලැබීය. ඔවුනගේ සුපිරිතම තරු වන්නේ නායක ලුකා මොඩ්රිච් සහ ඉවාන් රැකිටිච් ය. ලුකා ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් සහ ඉවාන් බාර්සිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරති.

මෙවර මුල් වටයේදී ඔවුන් ඩී කාණ්ඩයෙන් තරග කළහ. එහි සෙසු කණ්ඩායම් වූයේ නයිජීරියාව, ආර්ජන්ටිනාව සහ අයිස්ලන්තයයි.

පළමු තරගය :- ක්‍රොයේෂියාව 2 - 0 නයිජීරියාව

දෙවන තරගය :- ක්‍රොයේෂියාව 3 - 0 ආර්ජන්ටිනාව

තෙවන තරගය :- ක්‍රොයේෂියාව 2 - 1 අයිස්ලන්තය

16 වටය :- ක්‍රොයේෂියාව 3 - 2 ඩෙන්මාර්කය (දඬුවම් පහර අනුව)

අර්ධ අවසන් පූර්ව තරගය :- ක්‍රොයේෂියාව 4 - 3 රුසියාව (දඬුවම් පහර අනුව)

අවසන් පූර්ව තරගය :- ක්‍රොයේෂියාව 2 - 1 එංගලන්තය

ක්‍රොයේෂියාව යනු දශක ගණනාවක් පැරණි යුගොස්ලාවියානු සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටකි. පැරණි යුගයේ ඔවුන් සහභාගි වූ මංගල ජාත්‍යන්තර තරගය පැවැත්වූයේ 1940 වසරේදීය. එය ඔවුන් ගෝල 4 - 0 කින් ජය ගත්තේ ස්විට්සර්ලන්තය හමුවේය.

නැවත වතාවක් ස්වාධීන රටක් වීමෙන් පසුව ඔවුන් නූතන යුගයේ පැවැති පළමු තරගයට සහභාගි වූයේ 1990 දීය. එයත් ගෝල 2 - 0 කින් ජය ගත්තේය. ඒ ඇමෙරිකාව පරාජය කරමිනි.

ඔවුන්ගේ විශාලතම ජය ගෝල 10 - 0 වේ. ඒ 2016 දී සැන් මැරිනෝ පරාජය කිරීමයි. විශාලතම පරාජය 2009 දීය. ඒ එංගලන්තයට 5 - 1 කින් පරාජය වීමයි.

ක්‍රොයේෂියාව ලෝක කුසලාන තරගාවලියට 05 වතාවක් සහභාගි වී තිබේ. 1930 - 90 දක්වා යුගොස්‍ලාවියාව යටතේය. 1998 සිට ස්වාධීන රටක් ලෙසටයි. එහිදී ඉහළතම දක්ෂතාවය 1998 දී තෙවැනි තැන හිමිකර ගැනීමයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමට අනුව වත්මනදී ඔවුන්ට හිමි වී තිබෙන්නේ 20 වැනි ස්ථානයයි. ඔවුන‍්ගේ ඉහළතම ශ්‍රේණිගත කිරීම 1999 දීය. ඒ අංක 03 වේ. පහළතම ශ්‍රේණිගත කිරීම 1994 දීය. ඒ 125 වැනි ස්ථානයයි.

ක්‍රොයේෂියා සංචිතය

ලුකා මොඩ්රිච් (නායක), ඩොමිනික් ලිවා කොවිච්, සිමෙ ව්රසල්ජ්කෝ, ඉවාන් ස්ට්‍රිනිච්, ඉවාන් පෙරිසිච්, වෙඩ්රාන් කොර්ලුකි, ඩෙජාන් ලොව්රෙන්, ඉවාන් රැකිටිච්, මාටියෝ කොවාසිච්, ඇන්ඩ්‍රෙයි ක්‍රාමාරිච්, මාර්සෙලෝ බ්‍රොසොවිච්, ලොව්රි කාලිනිච්, ටින් ජෙඩ්වාජ්, ෆිලිප් බ්‍රාඩාරිච්, ඩූයේ කැලෙටා කාර්, නිකොලා කැලිනිච්, මාරියෝ මැන්ඩ්ෂුකිච්, ඇන්ටෙ රෙබිච්, මිලාන් බාඩෙල්ජ්, මාර්කෝ ප්යාකා, ඩොමාගොයි විඩා, යොසිප් පිවාරිච්, ඩැනියෙල් සුබාසිච්, ෂ්ලැට්කෝ ඩාලිච් (පුහුණුකරු)

සිහින මවන පුහුණුකරුවෝ

ඩිඩියර් ඩෙෂොන් (ප්‍රංශය)

පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙසට ලෝක ශූරතා හිමිකර ගෙන තිබෙන්නේ දෙදෙනෙක් පමණි. ඒ බ්‍රසීලයේ මාරියෝ සගාලෝ සහ බටහිර ජර්මනියේ ‍ෆ්‍රාන්ස් බෙකෙන්බාර්ය.

සගාලෝ 1958 සහ 1962 දී ක්‍රීඩකයකු ලෙසට ලෝක කුසලානය හිමිකර ගත්තේය. 1970 දී ලෝක ශූර බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකරුවාත් විය. මෙම වාර්තාව 1974 දී බෙකෙන්බාර් ක්‍රීඩකයකු සහ 1990 දී පුහුණුකරුවෙක් වශයෙනුත් සම කිරීමට සමත් විය.

දැන් මේ සුපිරිතමයින් අතරට එක් වීමට ඩෙෂොන්ට අවස්ථාව උදා වී තිබේ. ඒ අද අවසන් තරගය ජය ගැනීමෙනි. ඔහු 1998 ලෝක ශූර ප්‍රංශ කණ්ඩායමේ නායකයාය. බෙකෙන්බාර් ද 1974 ලෝක ශූර නායකයා විය.

49 හැවිරිදි ඩෙෂොන් 1989 සිට 2000 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. ඒ ආරක්ෂක මැද පෙළ ක්‍රීඩකයකු වශයෙනි. එහිදී තරග 103 කි. රැස් කළ ගෝල සතරකි. ඔහුගේ නායකත්වය මත ප්‍රංශය 2000 යුරෝ ශූරතාවයත් 1996 එහි තෙවැනි තැනත් හිමිකර ගත්තේය. -

2012 වසරේ සිට ඔහු ප්‍රංශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසට ක්‍රියා කරයි. 2016 වසරේ යුරෝ අනුශූරතාව හිමිකර ගත් ප්‍රංශ කණ්ඩායමේ පුහුණුකරු වූයේත් ඔහුමය.

ෂ්ලැට්කෝ ඩාලිච් (ක්‍රොයේෂියාව)

51 හැවිරිදිය. ආරක්ෂක මැද පෙළ ක්‍රීඩකයෙකි. එහිදී සමාජ මට්ටමින් තරග 235 කි. රැස් කළ ගෝල 19 කි. නමුත් ජාත්‍යන්තරව තරග කළේ නැත. පසුව පුහුණුකරණයට යොමු විය. එහිදී විවිධ රටවල සමාජ කණ්ඩායම් පුහුණු කළේය. පසුව වයස අවුරුදු 21 න් පහළ ක්‍රොයේෂියානු කණ්ඩායමේ සහාය පුහුණුකරු බවට පත් විය. 2017 සිට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ක්‍රියා කරයි.

 

තායි දරුවන්ට විශේෂ ආරාධනයක්

අද පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය නැරැඹීමට මොස්කව් නුවරට පැමිණෙන ලෙසට ලෝක පාපන්දු සම්මේලනයේ (ෆීෆා) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ විශේෂ පිරිසකට ආරාධනා කළේය. ඒ ගිය සතියේදීය.

එම පිරිස වූයේ ඉකුත් දිනවලදී ලොව දැඩි අවධානයකට යොමු වූ ලෙනක සිර වී සිටි තායිලන්ත පාපන්දු කණ්ඩායමේ ළමා ක්‍රීඩකයින් 12 සහ ඔවුන්ගේ පුහුණුකරුවාය.

ජූලි 10 වැනිදා මෙම සම්පූර්ණ පිරිසම බේරා ගැනීමට හැකි විය. එහෙත් ඔවුනට අවසන් තරගය නැරැඹීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වෛද්‍ය හේතු මතය.

කෙසේ වෙතත් ඉදිරි ෆීෆා උත්සවයකදී හෝ තරගවලියකදී ඔවුන්ට විශේෂ ආරාධනයක් කිරීමට ‍ෆීෆා තීරණය කර තිබේ.

ප්‍රංශය මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ප්‍රථම කණ්ඩායම විය. ඒ පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමිනි. තරගයෙන් පසුව ප්‍රංශ සුපිරි ක්‍රීඩක පෝල් පොග්බා ටුවිටර් පණිවිඩයක් මඟින් මෙම ජයග්‍රහණය තායිලන්ත පාපන්දු කණ්ඩායම වෙනුවෙන් බව පැවසීය.

“මේ ජයග්‍රහණය අද (ජූලි 10) වීරයන්ටයි. ඔබලා හුඟාක් ශක්තිමත්.”

Comments