
හසිත බෝයගොඩ
හතළිස්වැනි සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ දක්ෂතම පිතිකරු සම්මානය මෙවර හිමිකර ගත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හසිත බෝයගොඩය.
අනෙකුත් බොහෝ ක්‍රීඩකයන් සේ ම හසිත බෝයගොඩගේ ක්‍රිකට් දිවිය ආරම්භ වෙන්නේ ද කුඩා කාලයේ දී ම ය. බෝයගොඩට මතක ඇති විදිහට ඒ වන විට ඔහුට වයස අවුරුදු අටකි.
 “මගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරු වුණේ හැරල්ඩ් රණසිංහ සර්. සර් මහනුවර පොලිස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇකඩමියක් කළා. අප්පච්චි පොඩි කාලෙදිම මාව ඒකට දැම්මා.”
“මගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරු වුණේ හැරල්ඩ් රණසිංහ සර්. සර් මහනුවර පොලිස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇකඩමියක් කළා. අප්පච්චි පොඩි කාලෙදිම මාව ඒකට දැම්මා.”
එසේ ආරම්භ වෙන බෝයගොඩගේ ක්‍රිකට් වපසරිය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් පෝෂණය වී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වීම හරහා අක්මුල් විහිදුවමින් පවතියි. එපමණක්ද නොවේ වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම ඉනිමේ හිමිකාරිත්වය ද බෝයගොඩ සතු ය.
සුපිපි බෝයගොඩ සහ සංජය බෝයගොඩ යන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනාගේ, දරු තිදෙනෙක්ගෙන් යුත් කැදැල්ලේ පළමුවැනියා හසිත බෝයගොඩ ය. මව පේරාදෙණිය රෝහලෙත්, පියා මාතලේ රෝහලෙත් සේවය කරති. බෝයගොඩගේ නැගණිය සජිනි ක්‍රීඩාවට සම්බන්ධ නැති නමුත් බාල සොයුරා අනුජ ත්‍රිත්ව විද්‍යාලයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.
පියාගේ ආභාසය
“අප්පච්චි පාසල් කාලයේ ධර්මරාජයට ක්‍රිකට් සෙල්ලම් කරල තියෙනවා. අප්පච්චි කොතරම් කාර්ය බහුල වුනත් අදටත් ක්‍රිකට් තරගයක් බලන්න යන්න වෙලාව වෙන්කර ගන්නවා. ඒ තරමටම ක්‍රිකට්වලට කැමතියි. මම ක්‍රිකට් ගහන්න යන්න යොමු වෙන්නෙ අප්පච්චි නිසා. අප්පච්චිගෙ කැමැත්තට තමයි මම හැරල්ඩ් රණසිංහ සර් ළඟට යන්නේ.”
වයස අවුරුදු 8 දී පමණ එසේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙන බෝයගොඩ ඊට ටික කාලයකට පසුව ත්‍රිත්ව විද්‍යාලයීය කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් ද නියෝජනය කරන්නේ ය. අනතුරුව වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමෙන් පාසල් ක්‍රිකට් පිටියට අත් පොත් තබයි. එම වයස් කාණ්ඩය සාමාන්‍ය ලෙසින් ගෙවී යන අතර බෝයගොඩ ගේ ක්‍රිකට් කෞෂල්‍ය වඩාත් ඉස්මතු වෙන්නේ වයස අවුරුදු 15න් පහළ මට්ටමේ දී ය.
“මම වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ ඉදලා පාසල් කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා. 15න් පහළ, 17න් පහළ කණ්ඩායම වගේම 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරුවා. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ 2017/18 වසරේ අවසාන තරගය දක්වා අපේ විද්‍යාලයීය කණ්ඩායම රැගෙන එන්න මට හැකි වුණා. ඒක මගේ ක්‍රිකට් ජීවිතයේ මා ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. ”
විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ බෝයගොඩ ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වෙන්නේ 2017 සහ 2018 වසර ද්විත්වයේම කන්ද උඩරට නිල් සටනේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමයි. ඊට අමතරව නිල් මහා සටනේ 2016 වසරේ දක්ෂතම පිතිකරු ලෙසින් ද සහ 2018 වසරේ දී තරගයේ වීරයා සම්මානයට අමතරව දක්ෂතම පිතිකරු සම්මානයෙන් ද ඔහු පිදුම් ලබන්නේ ය.
මෙවර පැවති කන්ද උඩරට නිල් සටන වාර්ෂික සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ශතකයක් රැස් කරන බෝයගොඩ, එය එම තරග ඉතිහාසයේ ත්‍රිත්ව ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද මංගල ශතකය ලෙසින් ද වාර්තාගත වන්නේය. එම තරගයේ දක්ෂතම පිතිකරු සේ ම තරගයේ වීරයා වෙන්නේ ද බෝයගොඩ ය. ඊට අමතරව 2017 වසරේ පැවති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ වීරයා වන්නේ ද බෝයගොඩ ය.
“මේ සියලු දක්ෂතා මට දක්වන්න හැකි වුණේ මාව මේ තත්ත්වයට පත් කළ මගේ පුහුණුකරුවන් නිසා. මගේ ප්‍රථම පුහුණුකරු හැරල්ඩ් රණසිංහ සර්ට වගේම ලසිත් රන්දුණු සර්ට ස්තූතිවන්ත වෙනවා මගේ මුල් කාලය ගොඩ නැගුවට. ඊට පසුව සම්පත් පෙරේරා සර්, එදා වගේම අදටත් මට උපදෙස් දෙමින් මගේ අඩු පාඩු කියා දෙමින් මගේ ක්‍රිකට් දිවියට විශාල දායකත්වයක් දැක්වූවා. ඒ වගේම මගේ වර්තමාන පාසල් පුහුණුකරු කාවින්ද ජයසූරිය සර්ට සහ රුශාන් ජලීල් සර්ට ද මගේ ක්‍රිකට් ජීවිතය ගොඩ නැගීමට දක්වන දායකත්වයට ස්තූති කරන්න ඕන. ඊට අමතරව ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම් නියෝජනය කරද්දී පුහුණු කටයුතු කළ සියලුම සර්ලා වගේම පාසලේ සියලුම දෙනා මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ”
අධ්‍යාපනයත් එකසේම...
බෝයගොඩ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් නොවේ අධ්‍යාපනයෙන් ද කප් ගැසූ කෙනෙකි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහුගේ ප්‍රතිඵලය A නවයකි. වානිජ්‍ය අංශයෙන් උසස් පෙළ හදාරණ බෝයගොඩගේ ප්‍රතිඵල A හතරකි.
ක්‍රීඩාව සහ අධ්‍යාපනය ගැන මගේ තිබුණේත් සමබරව දෙකම කරගෙන ඉදිරියට යන්න ඕනෑ කියන අදහස විතරයි. මගේ පරමාදර්ශ චරිතය විදියට ඔලුවේ තිබුණේ කුමාර සංගක්කාර. ඉතින් මමත් ඒ විදියට ක්‍රීඩාවෙන් සහ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න හිතුවා.
“මට මේ සියලු දේ මේ විදිහට කරන්න පුළුවන් වෙන්නේ මගේ අම්මත් අප්පච්චිත් මා ගැන තියලා තියෙන විශ්වාසය නිසයි. ඔවුන් සෑම අවස්ථාවකම මාව නිවැරදි දේටම යොමු කළා. අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ වගේම නංගිත් මල්ලිත් මට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගෙදර දී අවශ්‍ය නිදහස ලබා දුන්නා. මේ අතරට යහළුවන් කිහිප දෙනෙක් ද සිටියා. මගේ ජයග්‍රහණය මා තනිව ලබා ගත් දෙයක් නෙවේ. ඔවුන් සමඟ ලබා ගත් දෙයක්. ඒ නිසා ඒ ගෞරවය ඔවුන්ටත් හිමි විය යුතුයි.”
අධ්‍යාපනයත් ක්‍රීඩාවත් සමබරව ගෙන යන බෝයගොඩ දැනට වසර කිහිපයක සිටම අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන්නේ ය. එකී අත්දැකීම් සමඟින් පෑ දක්ෂතා හේතුවෙන්ම ඔහුට වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට අවස්ථාව උදාවෙන්නේ ය.
“පළාත් තරගවල දී මට ලැබුණ සෑම තරගයක්ම මම හොඳින් කළා. මේ නිසා නායකත්වයේ කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා. මේ දක්ෂතාත් සමගින් මම මුලින්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කරන්නේ දකුණු අප්‍රිකාවට එරෙහි ව. එම තරගාවලියේ මට එක ටෙස්ට් තරගයක් පමණයි ක්‍රීඩා කරන්න ලැබුණේ. මම ඒ තරගයේ දී ලකුණු 79ක් ලබා ගන්නවා.”
එතැන් සිට බෝයගොඩගේ ක්‍රිකට් දිවිය ත්‍රිත්ව විද්‍යාලයත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමත් අතර ගෙවී යන්නේ ය. ඒ අනුව මෙරට පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන බෝයගොඩ එහි දී තම මංගල අන්තර් ජාතික ශතකය ලබා ගන්නේය. එම තරගාවලිය නිමා වන විට බෝයගොඩගේ පිතිකරණය තරගයකට ලකුණු ලබා ගැනීම සාමාන්‍ය පනහ පසු කරන්නේ ය.
එම තරගාවලියෙන් පසුව බෝයගොඩ දකුණු අප්‍රිකා සංචාරයකට ද එක්වෙයි. ඊට පසුව පැවති ඕස්ට්‍රේලියා සංචාරයේ දී බෝයගොඩ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරන්නේ උප නායකත්වයේ කිරුළ ද සමඟිනි. එම සංචාරයෙන් අනතුරුව මැලේසියාවේ පැවති ආසියානු යොවුන් කුසලාන තරගාවලිය ද බෝයගොඩ නියෝජනය කරන්නේ ය.

උපරිමයෙන් ක්‍රීඩා කළා
“ඒ සෑම තරගයක දී ම මම මගේ උපරිමයෙන් කළා. ඊට පස්සෙ තමයි නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වුණේ.” බෝයගොඩ තම තරග සංචාරයන් සම්බන්ධයෙන් සිහිපත් කළේ ය.
යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ දී බෝයගොඩට ලකුණු අතරට පිවිසීමට වරම් නොලැබෙන්නේ ය. ඒ හේතුවෙන් බෝයගොඩට සිදු වෙන්නේ පළමු වටයේ අනෙක් තරග දෙකේ දී බංකුවේ රැඳී සිටීමට ය. පළමු වටය නිමාවේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබන්නේ පළඟ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ය.
ඒ වටයේ පැවති පළමු තරගය වූයේ ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ය. එම තරගයේ දී බෝයගොඩ ලකුණු 191ක් ලබා ගන්නේ යොවුන් ලෝක කුසලාන තරග වාර්තා පොත් අතරට එක් විය.
“ඒ තරගයේ දී මට අවශ්‍ය වුණේ ලකුණු අතරට එන්න. මොකද පළමු තරගයේ දී ෆේල් වීමත් සමඟ මට මගෙන් කණ්ඩායමට ඉටු විය යුතු යුතුකම් ඉටු වුණේ නැහැ. මේක මගේ හිතේ තදට තිබූ දෙයක්. කොහොමටත් මම හිතාගෙන හිටියේ ලැබෙන ඊළඟ තරගය උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන කණ්ඩායම වෙනුවෙන් යමක් කරන්නයි.
වාර්තාගත ඉනිම
“ලොකුවට කිසිම දෙයක් හිතුවේ නැහැ. ලකුණෙන් ලකුණ රැස් කිරීම විතරයි මගේ හිතේ තිබුණෙ. ලකුණු 50ට ආ පසුව තමයි මගේ හිතට ටිකක් සැනසීමක් ලැබුණේ. ඒ මම නැවත ලකුණු අතරට පිවිසියා කියන හැඟීම සහ මම කණ්ඩායම වෙනුවෙන් යමක් කළා කියන හැඟීම. ඒත් මට එතැනින් නතර වෙන්න බැහැ. ගොඩාක් දුර හිතුවෙ නැති වුනත් ලෙහෙසියෙන් විකට් එක නම් දෙන්නෙ නැහැ කියන හැඟීමයි මට තිබුණෙ.”
“ලකුණු 150ක් ගැහුවට පස්සේ රෝයි සර් පණිවුඩයක් එව්වා වාර්තාව තියෙන්නේ 180 කියලා. ඒත් වාර්තාව ගැන ලොකුවට හිතන්න ගියේ නැහැ. මම සාමාන්‍ය විදිහට බැට් කරගෙන ගියා.”
ඒ ඉවසිලිවන්ත ඉනිම නතර වෙන්නේ ලෝක වාර්තාවක් පිහිටුවමිනි. යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ තරගයට කලින් තරගයේ මට ලකුණු අතරට එන්න බැරි වුණා. ඊට පස්සේ තරග දෙකම මට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ.
ඒ වෙලාවේ ඉඳලා මගේ ඔලුව වැඩ කළේ ඊළඟට ලැබෙන තරගයෙන් හොඳම ප්‍රයෝජනය ගන්නවා කියලා. ලකුණු 191 ක් ගහන්න නම් හිතුවේ නෑ. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතුවේ. ලකුණු 200 ට යන්න බැරිවුණාට දුකක් දැනුණේ නෑ. ඒ ඉනිම ගැන සතුටුයි.
“ඒ ඉනිම වගේම පළඟ ශූරතා අවසන් තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මට ලකුණු 116 ක් වාර්තා කරන්න ලැබුණා. මම වාර්තා තියපු ඉනිම වගේම ඒ ඉනිමත් එක සේ වැදගත්. මොකද අපි පළඟ ශූරයන් වුණේ ඒ තරගය දිනූ නිසයි. ඒ වගේම මට ඒ ශතක දෙක නිසාම තරගයේ වීරයා සම්මානත් හිමි වෙනවා. ඒකත් මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.”
“ක්‍රිකට් ක්‍රීඩාව වගේම අධ්‍යාපනයත් සම සේ පවත්වා ගෙන යන්න ඕන. මගේ අධිෂ්ඨානය ඒක. මේ දෙකෙන් එකකින්වත් අතරමං වෙන්න මම කැමති නැහැ. ඒ නිසා කවදා හරි දවසක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම වගේම අධ්‍යාපනයෙන් උපරිම ඉහළට යෑමත් මගේ බලාපොරොත්තුවක්.”
පාසල් ක්‍රිකට් තරග වාර පහක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරගවාරවල හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. මේ තරගවාර පහේ අපි ටිම් එකක් විදියටත් උසස් ප්‍රතිඵල අරගෙන තියෙනවා.
සියල්ල අභියෝගයක්

අභියෝග විදියට නම් හැම දෙයක්ම අභියෝග විදියට බාර ගන්න කැමැතියි. මේ අවුරුද්දේ පළමු පෙළ තරගවාරයට එකතුවෙන්න ඕනා. මම තවමත් අධ්‍යාපනය හදාරණ නිසා ක්‍රීඩාවත් එක්ක දෙකම හරියට කරගෙන ඉදිරියට යන එක ලොකු අභියෝගයක් විදියට සලකනවා.
කඩුල්ලට පැමිණි පසු දිගු ඉනිමක් ක්‍රීඩා කිරිම තම අරමුණ බවද බෝයගොඩ පවසයි.
විකට් එකට ආව ගමන් ම කොහොමද මේකේ පන්දුව එහෙ - මෙහෙ වෙන්නේ කියලා බලනවා. මට ගහන්න පුළුවන් හා බැරි පහරවල් ගැන තමයි ඉස්සෙල්ලාම හිතන්නේ. කොහොමටත් පළමු ලකුණු 10 - 20 ගන්න වෙලා ගන්නවා. ලකුණු ආවේ නැතත් මම විකට් එකේ ඉන්න තමයි උත්සහ කරන්නේ. මම කඩුල්ලේ වෙලා අරගෙන ක්‍රීඩා කරන්න කැමැතියි. කොහොමත් මම මගේ පහරවල්වලට යන්නේ කඩුල්ලේ ස්ථාවර වුණාට පස්සෙයි.
ගහන්න පුළුවන් පන්දු යවන්නෝ බැරි පන්දු යවන්නෝ මේ හැම දෙයක් ගැනම හිතලා තමයි ඉනිම ගොඩනගාගන්න බලන්නේ.
ඡායාරූප - ශාන් රූපස්සර
 
 









