
ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මත් උවදුර පිටුදැකීමේ වැඩපිළිවෙළට අනුව සිදු කෙරෙන වැටලීම්වලින් දින 6ක කාලයක් ඇතුළත රුපියල් කෝටි 208ක් වටිනා හෙරොයින් කිලෝග්රෑම් 120, ග්රෑම් 790ක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඉරිදා සිට සිකුරාදා දක්වා වූ කාලසීමාව තුළ මේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
පසුගිය 7 වැනිදා බත්තරමුල්ලේදී මිලියන 1250ක් වටිනා හෙරොයින් කිලෝග්රෑම් 102ක්ද; 9 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේදී පාකිස්තානයේ සිට පැමිණ මෙරටට රැගෙන ආ මිලියන 50ක් වටිනා හෙරොයින් කිලෝග්රෑම් 4, ග්රෑම් 50ක්ද; 11 වැනිදා සේරුවිල වී මෝලක තිබී මිලියන 120ක් වටිනා හෙරොයින් කිලෝග්රෑම් 9, ග්රෑම් 90ක්ද; 13 වැනිදා සාම්පූර් වෙරළ ඉලක්කන්ද වෙරළ තීරය ආසන්නයේ තිබී මිලියන 66ක් වටිනා හෙරොයින් කිලෝග්රෑම් 5, ග්රෑම් 550ක්ද සොයා ගන්නා ලදි.
මේ අතර දිවයින පුරාම මත්ද්‍රව්‍ය මැඬලීම පිණිස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෙහෙයවීමෙන් විශේෂ කණ්ඩායම් 5ක් ස්ථානගත කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සිළුමිණට කීය.
මේ ලෙස දිවයින පුරාම මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරනු පිණිස නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය හා රේගුව එක්ව දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලබන බවද එම ප්‍රකාශකයා පැවසීය.
මුහුදින් ගෙන්වනු ලබන මත්ද්‍රව්‍ය වැටලීම පිණිස නාවික හමුදාව විසින් දැනට සිදු කරනු ලබන මෙහෙයුම්වලට අමතරව අධි ප්‍රහාරක යාත්‍රාවලින් සමන්විත බළ ඇණි කිහිපයක්ම යොදවා ඇති අතර ඒකාබද්ධ වැටලීම් සිදු කිරීම පිණිස මේ සියලු අංශ ඒකාබද්ධ විශේෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇත.