ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය ගාල්ලෙන් ඇරැඹෙයි | සිළුමිණ

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය ගාල්ලෙන් ඇරැඹෙයි

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ඊට ටෙස්ට් තරග 02, එක්දින ජාත්‍යන්තර තරග 05 ක් සහ එක් 20-20 ජාත්‍යන්තර තරගයක් අයත්ය. දෙරට අතර ප්‍රථම ටෙස්ට් තරගය ජූලි 12 දා ඇරැඹීමට නියමිතයි.

එසේ වුවත් ඊට දෙදිනකට පෙර එනම් ජූලි 10 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම වැදගත්ය. ඒ එදින අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි. සී.සී ) විසින් එදිනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම තිදෙනාට එරෙහිව පරික්ෂණයක් පැවැත්වෙන බැවිනි.

ඔවුන් තිදෙනා වන්නේ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහය. මෙවැනි දෙයකට ඔවුනට ලක්වීමට සිදු වූයේ ක්‍රීඩාවේ ජීවගුණයට හානි කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වීමත් එය ඔවුන් පිළිගත් නිසාත්ය.

මෙම සියලුම දේවල් සිදු වූයේ මීට පෙර පැවැති ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයේදී ය. එහිදී දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ශාන්ත ලුෂියා හිදී පැවැත්විණි.

එම තරගයේ තෙවැනි දින උදෑසන තරගය ඇරැඹීමට විනාඩි දහයකට පමණ පෙර විනිසුරුවන් විසින් ශ්‍රී ලංකා නායක චන්දිමාල්ට පන්දුව කඩතොළු කිරීමට උත්සාහ කරන ලද බවට චෝදනා ඉදිරිපත් කළහ.

එමෙන්ම එතෙක් භාවිතා කරන ලද පන්දුව වෙනුවට වෙනත් පන්දුවක් ‍කොදෙව් දූපත්ට ලබා දීමට තීරණය කරන ලදි. තවද ප්‍රතිවාදී කොදෙව් පිලට අමතර ලකුණු 05 කුත් පිරිනැමීය. සමාන්‍යයෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ වරදට අයි.සී.සී. විසින් එවැනි දඬුවම් නියම කරයි.

නමුත් ඊට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දැඩි විරෝධය පළ කරන ලදහ. එහිදී ඔවුන් ප්‍රධාන තරග තීරක ප්‍රමුඛ විනිසුරුවන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ සිය නොසතුට පළ කළහ. අවසානයේදී සිදු වූයේ පැය දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පිල පන්දු රැකීමට පිටියට ‍‍නොපැමිණීමයි.

එය අයි.සී.සී. විනය නීති සංග්‍රහයේ තෙවැනි මට්ටමේ වරදකි. ඒ අනුව චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ අතින් අයි.සී.සී. චර්යා ධර්ම සංග්‍රහයේ 2.3.1 කොටස උල්ලංඝනය වී තිබේ. අයි.සී.සී.විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළ බවට චෝදනා එල්ල කළහ. පසුව චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ එම චෝදනාවලට තමත් වැරදිකරුවන් බව පිළිගත්හ.

ඒ අනුව ජූලි 10 දා පැවැත්වෙන පරීක්ෂණයේදී ඔවුනට ලැබෙන දඬුවම ගැන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. මෙවැනි සිදුවීමකදී අවම වශයෙන් ඔවුනට ටෙස්ට් තරග දෙක බැගින් තහනමක් පැනවීමට වැඩි අවස්ථාවක් තිබේ.

දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයේ බලාපොරොත්තුව වනුයේ ලිහිල් දඬුවමක් ලැබෙනු ඇතැයි යන්නයි. “අපි බලා‍‍පොරොත්තු වෙනවා අදාළ සිදුවීම ගැන පැහැදිළි විස්තරයක් ඉදිරිපත් කර දඬුවම අඩු කරගන්න අයි.සී.සී.පොළඹවා ගන්න හැකිවෙයි කියලා. අපි චෝදනා පිළිගත්තා. එහි සෑම දෙයකටම අපි අභියාචනා කරන්නේ නැහැ. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා චන්දිමාල් සහ හතුරුසිංහට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගවලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා”. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පැවසීය.

පන්දුව කඩතොළු කිරීමේ වරදට චන්දිමාල්ට තෙවැනි තරගය තහනම් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ සුරංග ලක්මාල්ටය. හෙතෙම එය කෙතරම් සාර්ථකව සිදු කළේද යත් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි විය. එමෙන්ම බාර්බෙඩෝස්හිදී ටෙස්ට් තරගයක් ජය ගත් ප්‍රථම ආසියාතික නායකයා වශයෙනුත් ලක්මාල් වාර්තාගත වූයේය.

කිසියම් හෙයකින් චන්දිමාල්ට ජූලි 10 දා තරග තහනමක් පැන වුවහොත් ලක්මාල් තවදුරටත් ටෙස්ට් නායකයා ලෙසට ක්‍රියා කරනු ඇත.

දකුණු අප්‍රිකානු සංචිතය

ෆැෆ් ඩු ප්ලෙසි (නායක), හෂිම් අම්ලා, ටෙම්බා බවුමා, කුයින්ටන් ඩි කොක්, තියුනිස් ඩි බෘයින්, ඩින් එල්ගාර්, හෙයින්රිච් ක්ලාසන්, කේෂෙව් මහ්රාජ්, එයිඩන් මාර්ක්‍රම්, ලුන්ගිසානි න්ගිඩි, වර්නන් ෆිලැන්ඩර්, කාගිසෝ රබාඩා, ටබ්රායිස් ෂම්සි, ඩේල් ස්ටෙයින්, ෂෝන් වොන් බර්ග්, ජුනියර් ඩාලා, ජේ.පී. ඩුමිනි, රීෂා හෙන්ඩ්‍රික්ස්, ඩේවිඩ් මිලර්, වියාන් මුල්ඩර්, ඇන්ඩිල් ප්හෙලුක්වායෝ.

 

Comments