පාපන්දු ලෝක කුසලාන තරගාවලිය | Page 2 | සිළුමිණ

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

ජපානයට අනාවැකි කියා‍ ජීවිතයෙන් වන්දි ගෙවූ බූවල්ලා

ජගත් පාපන්දු කුසලාන තරගාවලියේ ජපානය සහභාගි වන තරග ප්‍රතිඵල පිළිබඳ නිවැරදි අනාවැකි පළ කිරීමෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි බූවල්ලෙකු මරා දමා 'සෂිමි' නම් ආහාරය සකසා ගෙන තිබේ.

'රේබියෝ' නම් මෙම බූවල්ලා කුඩා ජල තටාකයකට දමා අනාවැකි පළ කිරීම පිළිබඳ අත්හදා බැලීමෙන් පසු ඔහුට අාධ්‍යාත්මික බලයක් ඇතැයි විශ්වාස කෙරිණ.

නමුත් රේබියෝ අල්ලාගත් ධීවරයා වන කිමියෝ අාබේ පැවසුවේ බූවල්ලාගේ ප්‍රසිද්ධියට වඩා ආහාර සඳහා එය විකිණීමෙන් වැඩි මුදලක් තමන්ට ලබා ගත හැකි බවය. තම ජීවනෝපාය මාර්ගය බූවල්ලාගෙන් ලැබුණ කීර්තියට වඩා වැදගත් යැයි කිමියෝ අාබේ පැවසූ බව ජපාන මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ යෝධ පැසිෆික් බූවල්ලා කොලොම්බියාවට එරෙහිව ජපාන පාපන්දු කණ්ඩායම ලැබූ ජයග්‍රහණය මෙන්ම, ජල තටාකයේ විවිධ ස්ථානවලට පිහිනීමෙන් සෙනෙගාලය සමග පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වන බවට ද අනාවැකි පළ කර තිබුණි. අනාවැකි පළ කිරීම සඳහා බූවල්ලා පෙළඹවීම පිණිස තටාකය තුළට ආහාර දමා තිබුණි. තරගාවලිය තුළ කුමක් සිදු වුවත් ජපාන පාපන්දු ක්‍රීඩකයින්ට සිය ශාරීරික සෞඛ්‍ය ඉතිරිව ඇතත් රේබියෝට සිය ජීවිතය පවා අහිමි වී තිබේ. අනාගත තරග ප්‍රතිඵල ගැන අනාවැකි පළ කිරීමට තවත් බූවල්ලෙකු භාවිත කිරීමට ධීවරයෝ සැලසුම් කරති.

ජුනි 28 වෙනිදා ජපානය 1-0 ක් ලෙස පෝලන්තයට පරාජය වීමට පෙර රේබියෝ වෙළෙඳපොළ වෙත යවා තිබුණි. එම තරගය ගැන පවා රේබියෝ අනාවැකි පළ කර තිබුණත් ඔහුට සිය මරණය ගැන අනාවැකි පළ කළ නොහැකි විය. අාධ්‍යාත්මික බලයක් ඇතැයි විශ්වාස කරමින් අන්තර්ජාතික පාපන්දු තරග පිළිබඳ අනාවැකි පළ කළ පළමු බූවල්ලා රේබියෝ නොවේ.

2010 වසරේදී, 'පෝල්' නම් ජර්මනියේ සිටි බූවල්ලෙක් ලෝක කුසලාන තරග හයක් පිළිබඳ නිවැරදි අනාවැකි පළ කිරීම නිසා මහත් ප්‍රසිද්ධියට පත් වුණි. 2012 වසරේදී, ජර්මනියේ මින්මැදුරක් තුළ පෝල් ඉතා සාමකාමීව ජීවිතයෙන් සමුගත්තේය. ජපානය මෙවර ලෝක කුසලානයේදී සාර්ථක වූ එකම ආසියානු රට ලෙසට දැක්විය හැකි ය. ඒ 16 වටයට සුදුසුකම් ලැබූ එකම ආසියානු රට ඔවුන් වූ බැවිනි.

ජපානය මෙවර මුල් වටයේදී තරග කළේ එච් කාණ්ඩයෙනි. එහිදී පළමු තරගයේදී ඔවුන් ගෝල 2 – 1 ක විශිෂ්ට ජයක් ලැබීය. ඒ කොලොම්බියාව ඉදිරියේ ය. එම තරගයේදී ෂින්ජි කගාවා සහ යුයා ඔසාකෝ ගෝල රැස් කිරීමට සමත් වූහ. දෙවන තරගයේදී ජපානය සහ සෙනගාලය ගෝල 2 – 2 බැගින් රැස් කරගෙන ජය පරාජයකින් තොරව නිමා කර ගත්තේ ය. ජපානය වෙනුවෙන් ටකාෂි ඉනුවි සහ කෙයිසුකේ හොන්ඩා ගෝල රැස් කළහ. තෙවන තරගයේදී ජපානය ගෝල 1 – 0 කින් පෝලන්තයට පරාජය විය. එසේ වුවත් 16 වටයට සුදුසුකම් ලැබීමට ඔවුනට හැකි වූහ. ඒ එච් කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකර ගනිමිනි.

16 වටයේ දී ජපානය තරග කළේ ප්‍රබල බෙල්ජියම සමඟිනි. එම තරගයේ අවස්ථාවකදී ගෝල 2 – 0 ක් ලෙසත් ඉදිරියෙන් සිටියේත් ජපානයයි. එහිදී ගෝල රැස් කළේ ඉනුවි සහ ගෙන්කි හරාගුචිය. එසේ වුවත් බෙල්ජියම පසුව ගෝල දෙකක් රැස් කරමින් තරගය සම කරගෙන සිටියහ. එමෙන් ම තරගයේ අවසන් විනාඩියේදී ගෝලයක් රැස් කරගෙන පෙරළිකාර ජයක් අත්කර ගැනීමටත් ඔවුනට හැකි වූහ.

ජපන් පාපන්දු සම්මේලනය 2005 වසරේදී සිය අනාගත ඉලක්කයන් දෙකක් පිළිබඳ හෙළි කළහ. ඒ 2015 වසර වනවිට ලොව හොඳම කණ්ඩායම් 10 අතරට එක් වීම ය. එමෙන් ම 2050 වසරේදී ලෝක ශූරයෝ වීමයි. 2005 වසර වනවිට ජපානය ලොව අංක 18 කණ්ඩායම විය.

කෙසේ වෙතත් ලෝක පාපන්දු සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ජපානයට හිමි වී තිබෙන්නේ 61 වැනි ස්ථානයයි. මෙවර ලෝක කුසලානයට සහභාගි වූ සෙසු ආසියානු කණ්ඩායම් වන ඔස්ට්‍රේලියාව 36, ඉරානය 37 සහ දකුණු කොරියාව 57 ජපානයට වඩා ඉදිරියෙන් සිටියේ ය.

Comments