
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් තරග මේ දිනවලදී පැවැත්වේ. එහිදී බ්‍රසීලය, බෙල්ජියම, ප්‍රංශය, උරුගුවේ, රුසියාව, ක්‍රොයේෂියාව, ස්වීඩනය, සහ එංගලන්තය තරග කරයි.
ක්‍රීඩා ලොව කවදත් අවිනිශ්චිතය. ඊට ආසන්නතම උදාහරණය රුසියානු ලෝක කුසලාන තරගාවලියයි. මෙවර තරගාවලිය ඇරඹෙන විට ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) හෝ ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ලෝලින් පවා අර්ධ අවසන් වටයට ඉහත කණ්ඩායම් වලින් බහුතරයක් ම සුදුසුකම් ලබනු ඇතැයි බලාපොරොත්තු වූයේ නැත.
ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ ජර්මනිය, ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල්ය. වත්මන් පාපන්දු ලොව සුපිරි තරු ත්‍රිත්වය වන ලියොනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ නේමාර් තව දුරටත් සිය හැකියාෙවන් ලොව පුදුමයට පත් කරනු ඇතැයි සිතුහ. එහෙත් ඉතිරි වූයේ නේමාර් පමණකි. මෙසී සහ රොනල්ඩෝගේ ලෝක ශූර සිහිනය සැමදාම සිහිනයක් වනු ඇත.
ජර්මනිය මෙවර තරගාවලිය ඇරැඹෙන විට බොහෝ දෙනාට අනුව යළිත් වරක් ලෝක ශූරතාව හිමිකර ගැනීමට ඉදිරියෙන්ම සිටිය කණ්ඩායමයි. ඔවුන් වත්මන් ලොව අංක 01 කණ්ඩායමයි. එමෙන්ම ගිය වර ලෝක ශූරයෝය. මෙවර ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ අපරාජිතව තරග කරමින් සියලුම තරග ජය ගනිමිනි.
මෙවර ජර්මනියේ බලාපොරොත්තු ද්විත්වයක් තිබිණි. ඒ පිට පිට ලෝක කුසලානය හිමි කර ගැනීමයි. ලෝක කුසලාන ඉතිහාසයේ මෙම දුලබ දස්කම කර තිබෙන්නේ රටවල් දෙකක් පමණකි. ඒ ඉතාලිය 1934, 38 සහ බ්‍රසීලය 1958 ,62 වසර වලදීය.
වැඩිම අවස්ථා ගණනකදී ලෝක කුසලානය හිමි කරගෙන තිබෙන්නේ බ්‍රසීලයයි. ඒ 05 වතාවකි. ජර්මනිය සිවු වතාවකි. ඔවුන් මෙවරත් ජය ගත්තේ නම් බ්‍රසීලය සමඟ සම වනු ඇත.
කෙසේ වෙතත් මෙවර මුල් තරගයේ සිට ජර්මනිය වත්මන් ලෝක ශූරයෝ ලෙසට ක්‍රීඩා කළේ නැත. ප්‍රථම තරගය ගෝල 1-0 කින් මෙක්සිකෝවට පරාජය විය. දෙවන තරගය ගෝල 2-1 කින් ස්වීඩනය හමුවේ ජය ගත්තේ අවසන් මොහොතේදීය. ඔවුන්ගේ තෙවන තරගයේදී දකුණු කොරියාව ගෝල 2-0 ක විශිෂ්ට ජයක් ලැබීය. ඒ අනුව ජර්මනියට මුල් වටයෙන්ම ඉවතට යාමට සිදු විය. ජර්මනිය මෙවැනි අමිහිරි අත්දැකීමක් ලැබුවේ 1938 වසරෙන් පසුවයි.
“අපි උත්සාහ කළා. අපේ තරග රටාව ඉහළට ඔසවන්නට. නමුත් එය කරන්නට බැරි වුණා” කොරියානු තරගයෙන් පසුව ජර්මනියේ ටෝනි කෲස් පැවසීය. ජර්මනිය සිය දෙවන තරගය අවසන් මොහොතේදී ජය ගත්තේ කෲස් විසින් විශිෂ්ට ලෙස එල්ල කරන ලද නිදහස් පහර නිසාවෙනි.
ජුනි මස 07 වැනිදා නිකුත් කරන ලද ෆීෆා ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුල් ස්ථාන 05 හිමි කණ්ඩායම් මෙසේය.
1.ජර්මනිය 2.බ්‍රසීලය 3.බෙල්ජියම 4.පෘතුගාලය 5.ආර්ජන්ටිනාව.
අාර්ජන්ටිනාව සහ පෘතුගාලය සුපිරි තරු ද්විත්වයකගේ දස්කම් මත ඉදිරියට යාමට නියමිතව සිටියේය. ඒ මෙසී සහ රොනල්ඩෝය. එහෙත් ඔවුනට එම කාර්යය තනිව කිරීමට නොහැක. සෙසු ක්‍රීඩකයනුත් උපරිමය ලබා දිය යුතුය.
1986 දියාගෝ මැරඩෝනාට ඒ සහාය ලැබුණි. නමුත් මෙසීට හෝ රොනල්ඩෝට ලැබුණේ නැත. 16 වටයේදී ආර්ජන්ටිනාව ප්‍රංශයටත් පෘතුගාලය උරුගුවේටත් පරාජය වුයේ එබැවිනි.
ස්පාඤ්ඤය යනු 2010 ලෝක ශූරයෝය. එමෙන්ම හැකියාවෙන් අනුන ක්‍රීඩකයෝ රැසක්ම සිටිති. ඒ අතරින් ද බහුතරයක් ම රියල් මැඩ්රිඩ් සහ බාර්සිලෝනා නියෝජනය කරති.
එසේ වුවත් ඔවුනටත් සිදු වුයේ 16 වටයෙන් ලෝක කුසලාන සිහිනය බොඳ කර ගැනීමටයි. එහිදී ඔවුන් පරාජය වූයේ සත්කාරක රුසියාවටයි. ඒ දඬුවම් පහර අනුවය.
මෙවර තරගාවලිය ඇරැඹෙන විට ඊට සහභාගි වන කණ්ඩායම් අතරින් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පහළම ස්ථානය හිමි වී තිබුණේ රුසියාවටයි. ඒ 70 වැනි ස්ථානයයි. එසේ වුවත් රුසියානු ජනතාවගේ දිරිමත් කිරීම හමුවේ ඔවුන් අපේක්ෂා නොකළ පරිදි දස්කම් දැක්වුහ.
මෙසේ 16 වටයෙන් ඉවතට ගිය කණ්ඩායම් අතරට බෙල්ජීයම එක් වීමට ඉතා ආසන්න විය. ඒ ජපානය ඉදිරියේ ගෝල 2-0 ක් ලෙස පිටු පසින් සිටින විටදීය. එහෙත් අවසන් මොහොතේදී ගෝල 3-2 ක් ලෙස ජය ගැනීමට බෙල්ජියමට හැකි වුහ.
මෙවර තරගාවලිය පෙරළිකාර සිදුවීම් රැසකගෙන් සමන්විත විය. එය ඉදිරි තරගවලදී තව තවත් වැඩි වනු නියතය.
ප්‍රශාන්ත ඇල්පිටිය
 
 









