
ලොව ප්‍රථම පාවෙන න්‍යෂ්ටික බලාගාරය එළිදැක්වීමට රුසියාව පසුගියදා පියවර ගත්තේය. Akademik Lomonosov ලෙස නම් කර ඇති මේ බලාගාරය මඟින් ඈතින් පිහිටි ආර්ක්ටික් කලාපයේ විදුලි අවශ්‍යතා සපුරා ගැනීම අදහස වී තිබේ. විශේෂයෙන්ම ඒ ප්‍රදේශය තුළ රුසියාව සැලසුම් කර ඇති නව තෙල් ගවේෂණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය විදුලි බලය මේ මඟින් උපදවාගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බව පැවසෙයි.
නෞකාවක පිහිටුවා ඇති මේ බලාගාරය, ශාන්ත පීටර්ස්බර්ග්හිදී ඉදි කර තිබේ. මේ වන විට එය මුර්මාන්ස්ක්හි නැංගුරම් ලා ඇති අතර, එහිදී එයට න්‍යෂ්ටික ඉන්ධන පිරවීම සිදු කරන බව පැවසෙයි. අනතුරුව එය නැඟෙනහිර සයිබීරියාව වෙත යාත්‍රා කිරීමට නියමිතය.
බලාගාරය එළිදැක්වීම රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති සමාගම වන රොසාටොම්හි ප්‍රධානියා විසින් සිදු කර තිබේ. රුසියානු ජාතික ගීය පසුබිමින් වාදනය වෙද්දී බලාගාරය විවෘත කෙරුණු බව මාධ්‍ය පවසයි. මෙහිදී අදහස් දක්වා ඇති රොසාටොම් ප්‍රධානී ඇලෙක්සි ලිඛාචෙව්, මෙය ආර්ක්ටික් කලාපයට අතිශය වැදගත් අවස්ථාවක් බව පවසා ඇත. සමාගම අපේක්ෂා කරන ආකාරයට මේ පාවෙන බලාගාරය සාර්ථකව පවත්වාගෙන යෑමට හැකි වුව හොත් තවත් කුඩා පරිමාණයේ පාවෙන න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ඉදි කෙරෙනු ඇති බවටද ඔවුන් ප්‍රකාශ කර ඇත. මේ කුඩා ප්‍රමාණයේ පාවෙන න්‍යෂ්ටික බලාගාර, රුසියාවේ දුෂ්කර ප්‍රදේශවල බලශක්ති අවශ්‍යතා සපුරාගැනීම සඳහා යෙදවීමට ඔවුන් අදහස් කර ඇත.
මීටර් 144ක් දිග මීටර් 30ක් පළල මේ බලාගාරය සතුව මෙගාවොට් 35ක බලයෙන් යුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් ඇත. මීටර 10ක් උසැති ය. “පාවෙන චර්නෝබිල්” සහ “න්‍යෂ්ටික ටයිටැනික්” ආදි නම්වලින්ද මෙය හැඳින්වේ. බලාගාරයේ බර ටොන් 21,500ක් බැව් සඳහන් වේ. ඒවා රුසියාවට අයත් අයිස් බිඳුම් නෞකා සතු බලයට සමාන වෙයි. මෙහිදී අදාළ බලාගාරය මඟින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් පදිංචි නගරයකට විදුලිය සැපයිය හැකිය.
බලාගාරය පවත්වාගෙන යන්නට 69ක පමණ කාර්යමණ්ඩලයක් අවශ්‍ය වේ. මේ පාවෙන න්‍යෂ්ටික බලාගාරය ඉදි කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 94කට අධික මුදලක් වැය කර ඇති අතර, එය ස්ථාපනය කිරීමෙන් පසු ලක්ෂයකට අධික පිරිසකට වසර පහක් පුරා අඛණ්ඩව විදුලි බලය සැපයීමේ හැකියාව පවතී. බලාගාරයට න්‍යෂ්ටික ඉන්ධන ලබා දිය යුතු වන්නේ නැවත වසර පහකට පමණ පසුව බවත් සඳහන් වේ.
කෙසේ වුවත් මේ බලාගාරය මඟින් පරිසරයට කෙරෙන බලපෑම පරිසර ආරක්ෂණ කණ්ඩායම්වල විශේෂ අවධානයට යොමුව ඇත. ඔවුන් රොසාටොම් සමාගම් ප්‍රධානී ඇලෙක්සි ලිඛාචෙව් වෙත විශේෂ ලිපියක් යවමින් පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම අවධානයකින් කටයුතු කරන මෙන් සමාගම් ප්‍රධානියාගෙන් ඉල්ලීමක්ද කර ඇත. න්‍යෂ්ටික බලගාරයකින් පිපිරීමක් හෝ කාන්දු වීමක් ඇති වුව හොත් විශාල පාරිසරික විනාශයක් ඇති විය හැකි බව න්‍යෂ්ටික බලය පිළිබඳ විශේෂඥයෝ පවසති. පාවෙන න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව එවැනි කාන්දුවක් ඇති වුව හොත් එයින් ඇති වන පරිසර විනාශය ඉතා දරුණු බව විද්‍යාඥයන්ගේ මතයයි.