
අද කාලයේ පෙර අපර දෙදිග ලෝකයේ එක සේ ජනප්‍රිය බෞද්ධ යතිවරුන් අතර අජාන් බ්‍රහ්මවංසෝ හිමියෝ ප්රමුඛයෙකි. කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධරයකු සේම කලක් ගුරු වෘත්තියේ නියැළුණු අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් බුදු දහම ගැන පැහැදී තම භික්ෂුවරයට අදාළ කමටහන් ලබන්නේ තායිලන්තයේ සුප්‍රසිද්ධ ථෙරවාද භික්ෂුවක වන අජාන් චා හිමියන්ගෙනි. බුදු දහමේ එන කරුණු තත්කාලීන ලෝකයට සරලව බෙදන උන්වහන්සේ ලොව පුරා මුල් පෙළේ ව්‍යාපාරික වැඩමුළු සම්මන්ත්රණ ආදියෙහිද නොවරදින දේශකයකු බවට පත්ව ඇත්තේ බ්‍රහ්මවංසෝ හිමියන්ගේ කාලීන වූත් ආකර්ෂණීය වූත් දේශන රටාව නිසාය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේදී බ්‍රහ්මවංසෝ හිමියෝ අරලිය ගහ මන්දිරයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තිකයන් අමතා දේශනයක් කළහ.
එහි මුල් කොටස පසුගිය සතියේ පළ වූ අතර මෙහි පළවන්නේ දෙවැනි කොටසයි.
ව්‍යාපාරික හෝ වෘත්තීය ජීවිතයකදී අපට අභියෝගයක් වන එක් අවස්ථාවක් තමයි යම් බැරෑරුම් තීරණයක් ගැනීමේ අවස්ථාව. මෙම අවස්ථාව අපට අතිශයින්ම වැදගත්. මෙතැනදීත් ප්‍රධාන සාධකයක් වෙන්නේ සිතීමයි. අපට සිතන එක අමාරුයි. තීරණ ගනිද්දී අපට බොහෝ දේවල් ගැන සිතන්න වෙනවා. බොහෝ පැති ගැන බලන්න වෙනවා. මේ සියල්ල සලකා හරි තීරණයක් ගන්නටත් සිදුවෙනවා. එය තරමක් ආතතිකාරීයි. අගමැතිතුමා ඉන්නවා. අගමැතිවරයා ලෙස රටට වැදගත් හරි තීරණ ගන්නා විට කවුරුවත් ඒ ගැන අවධානයක් නොදක්වාවි. කවුරුවත් එය අගය නොකරාවි. ඒත් එක වැරදි තීරණයක් ගත්තොත් පහුවදා පුවත්පත්වල මුල් පිටුවේ ඒක තිබෙනවා. සමාගමක් හැටියට ගත්තාමත් මේ තත්ත්වයමයි. ඒ නිසා අප හොඳින් කල්පනා කර බලා තීරණ ගත යුතුයි. අප නොබිය ව තීරණ ගත යුතු නැහැ. තීරණ ගැනීමේදී යම් බියක් ඒම ස්වාභාවිකයි. තීරණ ගැනීමේදී අපට එන විවේචන, යම් යම් පාර්ශ්වයන්ට එන අහිතකර බලපෑම් ආදිය ගැන සිතිය යුතුයි. ඒ ගැන බිය නොවී තීරණ නොගත යුතුයි කියල කියන්නේ ඒ නිසයි.
මම කියන්නේ අප බෞද්ධයන් ලෙස තීරණ ගැනීමේ දී යම් පාවෙන ක්‍රමයක් අනුගමනය කළ යුතුයි කියල. අප ලෝබ නැතිව දෝෂ නැතිව මෝහ එනම් මුලාවක් නැතිව වගේම බිය නැතිව තීරණ ගත යුතුයි. අප යම් තීරණයක් ගත්තද එය පසුවට එක් එක් ආකාරයෙන් බලපානවා. කොහොම වුණත් අප යම් තීරණයක් ගනිද්දි එය හරි යන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. වැරදි තීරණ අපට යළි සකස් කර ගත හැකියි.
අප කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයේ ඉන්නකොට ඕන තරම් පර්යේෂණ කිරීමේ නිදහසක් තිබුණා. සමහර විට අප අතින් කරන අත්හදා බැලීම් දහස් වාරයක් වරදින්න පුළුවන් බවත් එක් වාරයක් හරියටම හරියන්න පුළුවන් බවත් අපේ ආචාර්යවරු කිව්වා. ඔවුන් ඒ වැරදීම් සඳහා නිදහසත් දුන්නා. මේ නිසා තමයි අපට දැනුම පිළිබඳ බාධක අබිභවමින් ඉදිරියට යන්න පුළුවන් වුණේ. නව නිර්මාණ බිහිවුණේ මෙලෙස බිය නැතිව තීරණ අරන් වැරදි නිවැරදි කරගත්ත මිනිසුන් නිසයි.
අප හොඳින් හිතල තීරණයක් ගත්තා නම් ඒ තීරණය අනුව අප කටයුතු හරි හෝ වැරදි ලෙස දකින්න පුලුවන්. නමුත් අප ගත්තු තීරණය මත වැඩ කළ යුතුයි. ඒක කාටත් අසීරු ව්‍යායාමයක්. සමහරු මේ තීරණ පිළිගන්න තැමැති නෑ. විවේචනය කරනවා ඔවුන් කියන්නේ අපායෙන් ආපු බොස්ලා කියල. මේ වගේ ගත්ත තීරණ වැරදි හෝ නිවැරදි වේවා ඒ අනුව කටයුතු කරනවා කියන්නේ තරමක් අමාරු වැඩක්.
තීරණ ගැනීමේදී වගේම ඒවා ක්‍රියාත්මක කිරිමේ දී තමන්ගේ කණ්ඩායමත් සමඟ සාකච්ඡා කළ යුතුයි. මේ තීරණ ක්‍රියාත්මක කිරීමේදී එන ගැටලු බැලිය යුතුයි. එමෙන්ම නායකයෙක් වුණාම අනෙක් අයගේ හැඟීම් ගැන වැටහීමක් අවබෝධයක් තිබිය යුතුයි. අප තුළ යම් සීමා මායිම් තිබිය යුතුයි.
මම මේ ගැන පුංචි උදාහරණයක් කියන්නම්. මමත් තරුණ වයසෙදී ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළ කෙනෙක්. මට වරක් ඔස්ට්‍රේලියාවේ අඩිලේඩ්වල බෞද්ධ විහාරයේ ධර්ම දේශනයකට ආරාධනයක් ලැබුණා. නමුත් අවාසනාවට එදින ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක් දින තරගයක්. දැන් තරගය තියෙන්නේ මගේ දේශනයත් ක්‍රිකට් තරගයත් අතරේ. මොකද මගේ දේශනයට මිනිස්සු එයිද නැතිනම් ක්‍රිකට් තරඟය බලන්න යයිද? මම එහිදී අනෙක් අයගේ හැඟීම් පිළිබඳ ව තීරණය කරලා මෙම දේශනය කල් දැම්මා.
අපට තීරණ ගනින්දී හැමෝම සතුටු වන ආකාරයට තිරණ ගන්නට පුළුවන් නම් හොඳයි. ඒ සඳහා හැමෝගේම සිත් සතන් අවබෝධ කර ගැනීමේ හැකියාව නායකයන්ට තිබිය යුතුයි. ඒ වගේම අපට මේ කටයුත්ත සිදු කිරීමත් ලේසි නෑ.
අපට හැමෝම සතුටු කිරීමත් අමාරු වැඩක්. මෙවැනි වෙලාවක කළ යුත්තේ නායකයන් ඔවුන්ගේ කණ්ඩායමේ අනෙක් සේවකයන්ගේ සපත්තුවට බැහැල ඔවුන් දකින ආකාරයට පරිසරය දැකල තීන්දු ගැනීමයි. එය මට සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපළේ කළමනාකාර අධ්යක්ෂතුමා කිව්ව කතාවක්. ඔහු කියන්නේ සේවකයන්ගේ සපත්තුවට බැහැල බලනවා කියන්නේ යම් ප්‍රශ්නයක් ගැන තීන්දු ගනිද්දී ඔවුන්ගේ කෝණයෙන්, ඔවුන් ගේ පැත්තේ ඉඳල බැලීමටයි.
අප නායකයන් හැටියටත් සාමාන්‍ය පුද්ගලයන් හැටිත් නිතරම සිතිය යුතු දේ තමයි උදා වෙන දවසක් තුළ කී දෙනෙක් සතුටින් තියනවද කියන එක. අපි හැම වෙලාවෙම අනුන් ගැන සිතිය යුතුයි. ඔවුන් ගේ සතුට ගැන සිතිය යුතුයි. තමන් කරන කවර හෝ කාර්යයකින්, ව්‍යාපාරයකින් එම සේවාව ලබන්නා තෘප්තිමත් වෙනවා නම් ඔවුන් සතුටට පත් වෙනවා නම් එය අපේ සාර්ථකත්වයටත් හේතු වෙනවා. මට ඔස්ට්‍රේලියාවේදී බස් රියැදුරෙක් හමු වුණා. ඔහු මට කිව්වා මේ රස්සාව කිසිම සුගතියක් නැති කාටත් වැඩක් නැති හිස් රස්සාවක් කියල. අවුරුදු දහයක් විතර තිස්සේම ඔහු වැඩ කරල තියෙන්නේ මේ හැඟීමෙන්. ඔහුට තමන් කරන රස්සාව ගැන කිසිම සතුටක් නෑ කියල.
මම ඔහුට කිව්ව ඔයා දැනටමත් මිනිස්සු ඒහා මෙහා ගෙනිහින් ලොකු සේවයක් කරනවා තව ඔයාට පොඩි දෙයයි කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මේ බස් එකට ගොඩවන බහින අයට පොඩ්ඩක් හිනා වෙන්න. ඒකෙන් ඒ මිනිස්සු ලොකු සතුටක් ලබාවි. මේ සතුට නිසා ඔවුන්ගේ දවසේ වැඩ සාර්ථක වේවි කියල . ඇත්තටම ඔහු ඒ සරල උත්තරෙන් ලොකු සහනයක් ලැබුවා. මේ වගේ සමහර විට අපේ ආයතනවල සේවකයන් රටේ ජනතාව සතුටු කරන්න කරන්න තියෙන්නේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. අපි ඒ දේ කළ යුතුයි.
ඔවුන් සතුටින් තැබුවොත් තමයි කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ. ඵලදායී සේවයක් ලැබෙන්නේ. ඒ වගේම නව නිර්මාණ බිහිවෙන්නෙත් අවසානයේ ආයතනයේ ලාබය වැඩි වෙන්නත් මේ සතුට හේතු වන බව අප දැන ගත යුතුයි.
ඒ වගේම මම ව්‍යාපාරික නායකයන්ට කියන්නේ ඔබ ඔබේ කණ්ඩායම බලා ගන්න. ඔවුන් ඔබත් ඔබ සමාගමත් හොඳින් බලාගනිවි. ඕනෑම ආයතනයක ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් කරුණාව පෙරදැරි වූ බැඳීමක් තිබිය යුතුයි. කාර්යාල තුළ විවිධ දේශපාලනයන් තිබිය හැකියි. නමුත් ඒ අතරේ ආයතනය තුළ සාමාජිකයන්ගේ අන්තර් බැඳීමක් එකිනෙකා කෙරෙහි ගරු කිරීමක් කරුණාවක් තිබිය යුතුයි. මම ආයතනයක නායකයා දකින්නේ උඩ යට හරවපු පිරමීඩයක පාදම වගේ උඩ තිබෙන සියලු බර දරා සිටින කේන්ද්‍රය එයයි. එය ශක්තිමත් ව තිබුණොතින් තමයි අර සියලු බර දරා ගත හැක්කේ.
අප තේරුම් ගත යුතු තවත් කරුණක් වන්නේ අපි යමක් රාජකාරියක් බාර ගත්තාම බොහෝ විට අපි අප වෙනුවෙන් වියදම් කරනවා අඩුයි. අප ගන්න වැටුපෙන් ලබන ලාබයෙන් බොහෝ විට කෙරෙන්නේ අනුන් වෙනුවෙන් වියදම් කිරීම. තමන්ගේ පවුල වෙනුවෙන්. සමාජයේ කටයුතු වෙනුවෙන්. දාන මාන වෙනුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ කටයුතු වෙනුවෙන් අප වියදම් කරනවා.
එහෙම බැලුවාම අපි අමාරුවෙන් මහන්සි වෙලා උපයන මුදල වියදම් වෙන්නේ බොහෝ විට අනුන් වෙනුවෙන්. සමාජය වෙනුවෙන්. අපි ගෙවන බදු පවා එක් අතකට අපෙන් ලැබෙන දායකත්වයක්. එයින් රටේ යටිතල පහසුකම්වල අද්යාපනයට ප්‍රජා සේවාවන්ට වියදම් වෙනවා. ඒ නිසා අපි නිසි ලෙස ඒ කටයුතු කරනවා කියන්නෙත් එක්තරා සේවයක්.
සමහරු කියනවා ව්‍යාපාර කියන්නේ මුදලට කෑදර අංගයක් කියල. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි.
තවත් කොටසක් ලබන සතියේ
ඡායාරූපය-අජාන් බ්‍රාහ්ම සමාජය