
තේ වගාව ජීවනෝපාය කර ගත් පොඩි නෝනාගේ පවුලේ දූ දරුවන් අතරින් වැඩිමහල් පුත්‍රයා වූයේ හේරත් සිංඤෝය. රත්නපුර කහවත්තට නුදුරුව පදිංචිව සිටි පොඩි නෝනා තම වැඩිමහල් දරුවා වූ හේරත් සිංඤෝට දැඩි ආදරයක් දැක්වූවාය. ඔහු පදිංචිව සිටියේ ද පොඩිනෝනා පදිංචි නිවෙසට නුදුරුවය. තම දූ දරුවන්ගේ නිවෙස්වලට නිතර යන එන පොඩි නෝනා ඔවුන්ට ගුරුහරුකම් ලබා දීමද නිතර සිදුවිය. හේරත් සිංඤෝ තේ වගා කටයුතුවලට අමතරව මැණික් ගැරීමේ ද යෙදී සිටියේය.
මිතුරන් කීප දෙනෙකු ද සමඟින් මැණික් ගැරීමට යන හේරත් සිංඤෝට කීප විටක් ම මැණික් වාසනාව ද උදාවී තිබිණි. ඔවුන් මැණික් ගැරීමට යන පතල පිහිටා තිබුණේ මඩලගම ප්රදේශයේය. මේ නිවෙසේ සිට සැතපුම් හතරක් පමණ දුරිනි. මැණික් ගැරීමට ගිය විටදී සතියක් දෙකක් නිවෙසින් බැහැරව සිටීම සිරිතය.
එදා 1976 ජූලි මාසයේ මැද දිනකි. මැණික් ගැරීමට යන බැව් පැවසීමට හේරත් සිංඤෝ තම මවෙග් නිවෙසට ගියේය. එහෙත් එදින ඔහුට මව හමු නොවිණි. තමා මැණික් ගැරීමට පතලට ගිය බැව් මවට පවසන ලෙස හේරත් සිංඤෝ නිවෙසේ සිටි නංගීට පවසා පතල බලා පිටත්විය. හේරත් සිංඤෝ මැණික් ගැරීමට ගිය දිනයේ තමාට මුණ නොගැසීම ගැන මව වූ පොඩි නෝනාගේ සිතේ ඇති වූයේ දුකකි. අසල්වැසි මිතුරෙකු හා තවත් තිදෙනකු සමඟ හේරත් සිංඤෝ පතලේ වැඩ ආරම්භ කළේය. දින දෙකක් පමණ එක දිගට කැණීම් කටයුතුවල යෙදී සිටි ඔවුහු ඒ වන විට අඩි දහයකටත් වැඩි ප්රමාණයක් පතලට බැස සිටියහ. හේරත් සිංඤෝ පතුලේ සිටි අතර අන් අය ඉල්ලම් එකතු කරමින් සිටියහ.
![]() |
හේරත් සිංඤෝ |
![]() |
පොඩි නෝනා |
ඔවුන් මැණික් ගැරීමට පැමිණ සතියක් පමණ ගත විය. “ගෙදර ගිහින් අම්මා බලා එන්න ඕනෑ” යැයි හේරත් සිංඤෝ කීප විටක් ම මිතුරන්ට කීවේය. “තව දවස් දෙකකින් මම ගෙදර ගිහින් එන්නම්” යැයි ඔහු නිවෙසට යෑමට තීරණය කර තිබිණි. මේ අතර නිවෙසේ සිටි මව සිහිනයක් දුටුවාය. තම හේරත් පුතාට අසනීප වී සිටිනු මව දැක තිබිණි. ඒ බැව් තම දියණියට පැවසූ පොඩිනෝනා තම පුත්‍රයා ගැන සිතමින් සිටියාය. තවත් දිනක් ගතවිය.
“දුවේ මටන ම් හරි බයක් දැනෙනවා. අයියට මොකක් හරි නපුරක් වෙයි කියලා මගේ හිත කියනවා” යැයි ඇය කීප විටක් ම දියණියට කීවාය. ඉන් නොනැවතුණු පොඩි නෝනා පුත්රයාගේ නිවෙසට ගොස් තමන් අසනීපයෙන් යැයි පවසා පුතු කැඳවා ගෙන පැමිණෙන්නැයි ඥාති පුත්රයන් දෙදෙනකුට පැවසුවාය. පොඩි නෝනාගේ උපදෙස් පරිදි ඔවුහු මැණික් පතල බලා පිටත්ව ගියහ.
තම පුත්‍රයා කැඳවාගෙන එනු ඇතැයි මහත් සතුටින් සිය සැමියා සමඟ පොඩි නෝනා අසල කුඹුරක වල් පැළ නෙළීමට ගියාය. හේරත් සිංඤෝට පණිවුඩය ලැබී ඔහු ආපසු එනු ඇතැයි පොඩි නෝනා මඟ බලමින් සිටියාය. එදින සවස 3.30 පමණ වී තිබිණි. වල්පැළ නෙළමින් සිටි පොඩි නෝනාට හේරත් සිංඤෝගේ කටහඩ ඇසිණි.
“අම්මේ අම්මේ” යනුවෙන් එම හඬ ඇසුණු ඇය අවට බැලුවාය. කුඹුරේ පසෙකවූ ලඳු කැලෑව අතරින් ඔහු එනු ඇතැයි සිතූ ඇය “පුතා ඇවිත්” යැයි සැමියාට ද කීවාය. ටික වේලාවක් ඇසිපිය නොහෙළා බලා සිටි පොඩි නෝනා තම පුත්‍රයා නොදුටුවාය. ඔහු නිවෙසට යන්නට ඇතැයි සිතූ ඇය ද නිවෙස බලා පිටත්වූවාය.
නිවෙසට පැමිණි ඇයට දැනගන්නට ලැබුණේ හේරත් සිංඤෝ මැණික් හාරමින් සිටි පතලේ පස් කණ්ඩියක් කඩා වැටී ඇති බවය. පුත්‍රයා ඇතුළු එහි සිටි අනෙක් තිදෙනා ද පස්වලට යටවූ නමුත් මරණයට පත්වී තිබුණේ හේරත් සිංඤෝ පමණි. තම පුත්‍රයා පස්වලට යටවූ අවස්ථාවේ කුඹුරේ වල් පැළ නෙළමින් සිටි මවට පුත්රයාගේ කට හඬ ඇසී මනසින් සිහිපත්වීම මනෝ සංඥාවක් ලෙස පිළිගැනීමට සිදුවිය. දෙදිනකට පෙර පුත්‍රයා රෝගී වී සිටින බැව් සිහිනෙන් දැකීම ද මව මනසින් දැකීමක් ලෙස ද මෙම සිදුවීමේදී දක්නට ලැබේ.
මෙම සිදුවීම පිළිබඳ සිදුකළ විමර්ශනයේදී හේරත් සිංඤෝගේ සොහොයුරියකගෙන් ද ඒ පිළිබඳ විමසීමට අපට එදා අවස්ථාව ලැබිණි. එහිදී ඇය කළ ප්රකාශය මෙසේය.
“අයිය මිය යන්නට දින දෙකකට උඩදි එයාට අසනීප ගතියක් පිළිබඳ සිතට දැනෙනව කියල අම්මා කිව්වා. ඒ නිසා එයා ගෙදර එක්ක එන්න කියල දෙන්නෙක් පතලටත් යැව්වා. ඒත් ඒ අයට පණිවුඩය දෙන්න ලැබිල නැහැ. අයියට ඇත්ත වශයෙන් ම දින දෙකකට කලින් අසනීප වෙලත් තිබුණ. එයාව පතලට යටවුණු වෙලාවෙම තමයි අම්මට එයා කතා කරන හඬත් ඇහිල තිබුණේ.”
එදා හේරත් සිංඤෝ සමඟ පතලේ වැඩ කළ ඔහුගේ මිතුරා ද ඒ පිළිබඳ සිය මතකය අවදි කළේ මෙසේය. “එදා මට හොඳට මතකයි. අපි පතලෙ ඉල්ලම් හාරමින් සිටියා. හේරත් සිංඤෝ ඉල්ලම් කඩමින් සිටියා. තවත් දෙන්නෙක් වැඩ කරමින් සිටියා. එක පාරටම පතල උඩ කණ්ඩිය කඩා වැටුණා. තුන්දෙනාම යට වුණා. පස් ඉවත් කරල අපව ගොඩ ගත්තා. ඒත් හේරත් සිංඤෝ මරණයට පත්වුණා. මේ සිද්ධිය වුණේ 1976 අගෝස්තු 1 වැනිදා සවස 3.30 ට විතර” යැයි පැවසූ ඔහු හේරත් සිංඤෝ ඊට දින දෙකකට උඩදි උදරාබාධයක් සෑදී සිටි බැව් ද තහවුරු කළේය.
පුත්රයාෙග් රෝගී තත්ත්වය සහ ඔහුට සිදුවූ මාරාන්තික අනතුර බවට මනසින් දැනුණු මනෝ සංඥාවක් ලෙස මෙම සිදුවීම පර්යේෂණවලට ඇතුළත් වී තිබේ.
දියණියකට සිදුවූ අනතුරක් පිළිබඳ මවකට ඇතිවූ මෙවැනිම සංඥාවක් ඇමෙරිකාවේ වොෂිංටනයෙන් ද හෙළිවිය. දරුවන් දෙදෙනෙකු සමඟ වොෂිංටනයේ පදිංචිව සිටි යුවළකගේ බාල දියණිය වූයේ ජොයිසිය. දිනක් ඇගේ මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගි වී ඇය නිවෙසට පැමිණියාය. ඇය නිවෙසට එද්දී වැඩිමහල් සොහොයුරා සමඟ පියා චිත්රපටයක් නැරැඹීම සඳහා සිනමා ශාලාවක් වෙත ගොස් සිටියේය. තමා එනතුරු නොසිට පියා චිත්රපටය බැලීමට යෑම ගැන ඇය නොසතුටට පත්වූවාය. ඒ බැව් දැනගත් මව ඇයට ද එහි යෑමට හැකි බවත් පියා ඇය එනු ඇතැයි බලාපොරොත්තුව සිටි බවත් කීවාය.
සිනමා ශාලාව පිහිටා තිබුණේ ඔවුන් පදිංචිව සිටි නිවෙස ආසන්නයේය. එහි සේවය කළේද ඔවුන් හොඳින්ම දන්නා අයයි. ජොයිසි ද පියා සමඟ එක්වීමට සිනමා ශාලාව වෙත ගමන් ගත්තාය. නිවෙසේ වැඩ කටයුතු නිම කළ මව මුළුතැන්ගෙයි සිටියාය. තම දියණිය කිසියම් අනතුරකට පත්වූ බැව් මවගේ මනසට දැනුණි. “දෙවියනේ! ඇයට කරදරයක් වෙන්න එපා” යැයි ඇගේ මුවින් එක්වරම පිටවිය. ඇය දෙවියන් යදින්නට ද වූවාය.
වහා දුරකථනය වෙත ගිය ඇය සිනමා ශාලාවට දුරකථන ඇමතුමක් ගත්තාය. දුරකථනයට පිළිතුරු දුන්නේ සිනමා ශාලාවේ දුරකථන ක්‍රියා කරවන්නියයි.
තම බාල දියණිය සිනමා ශාලාවට පැමිණි බව පැවසූ මව කිසියම් අනතුරක් සිදුවී ඇතිදැයි විමසුවාය. එයට පිළිතුරු දුන් දුරකථන ක්‍රියා කරවන්නිය එක්වරම විමසා සිටියේ, “ඔබ දන්නේ කෙසේද?” යනුවෙනි. අනතුරුව සිනමා ශාලාවේ කළමනාකරු සිදුවූ අනතුර ඇයට හෙළි කළේය.
දැරිය සිනමා ශාලාවට එන අතරතුර මෝටර් රථයක ගැටීමෙන් ඇය සුළු තුවාල ලබා රෝහල් ගත කළ බැව් ඔහු කීවේය. රිය අනතුරට පත් දැරිය අනතුර සිදුවූ විගස “අම්මා අම්මා” යැයි ෙව්දනාවෙන් මහ හඬින් කෑගැසූ බවද හෙළිවිය. අනතුර සිදුවූ මොහොතේ මවට මනසින් ඇතිවූ සංඥාවක් බැව් ඒ පිළිබඳ සිදු කළ පර්යේෂණයේදී තහවුරු වී තිබේ.