කුදිර පාල­මෙන් එගොඩ වී දෙකිඳ බැම්මට | Page 2 | සිළුමිණ

කුදිර පාල­මෙන් එගොඩ වී දෙකිඳ බැම්මට

මෙරට දුම්රිය මාර්ග පද්ධ­තියේ කෙටි දුරක් තුළ ඉහළ උස­කට ළඟා වන දුෂ්කර මාර්ග කොට­සක් ලෙස රඹු­ක්කන - කඩු­ග­න්නාව දුම්රිය මාර්ග කොටස හැඳි­න්විය හැකිය. ඒ ආශ්‍රිත සුවි­ශේෂී ස්ථාන සහ ඉංජි­නේ­රු­මය නිමැ­වුම් සොයා කඩු­ග­න්නාවේ සිට පාග­ම­නින් දුම්රිය මාර්ගය දිගේ යන සංචා­ර­යක් ඇසු­රෙන් සැක­සෙන ලිපි පෙළක පෙර කොටස් පසු­ගිය සිළු­මිණේ පළ­විය. මේ සතියේ පළ­වෙන්නේ එහි පස්වැ­න්නයි.

බලන දෙසින් Sensation Rock මාර්ග කොට­සට පිවි­සෙන විටම ඇත්තේ ගල්ප­ර්ව­තයේ සැකසූ කුහ­ර­යකි. කඳු මුදු­නෙන් ගලා එන ජල පහ­රක් කළ­ම­නා­ක­ර­ණය පිණිස දුම්රිය මාර්ග ඉංජි­නේ­රු­වන් විසින් සකසා ඇති මෙම කුහ­ර­යට උඩින් රේල් පාර යන්නේ කුඩා පාල­ම­කිනි. නමුත් ඒ පාලම ඉදිව ඇත්තේ දුම්රිය මාර්ග­යට අඩි දෙකක් පමණ පහ­තිනි. බැලූ බල්මට එය සුද්දාට සිදුවූ වැර­දී­මක් ලෙස කිසි­වෙකු අව­බෝධ කර­ග­න්නට ඉඩ තිබේ. එහෙත් දෙපස රේල්පීලි එළා දුම්රිය මාර්ගය සක­ස­න්න­ටත් පෙර මාර්ගය සැල­සුම් කරන අව­ස්ථා­වේම මෙම පාලම රේල් පාරට අඩි දෙකක් පහ­තින් නිර්ම­ණය කර ඇත්තේ අපූරු අව­ශ්‍ය­තා­වක් වෙනු­වෙනි.

ඒ පීලී එළි­මට ශුද්ධ කර මට්ටම් කළ පාර­දිගේ අශ්ව­යන් පිට පැමිණි ඉංජි­නේ­රු­වන්ට ඉදි­රි­යට යෑම පහසු වනු පිණි­සය. ඒ නිසා මේ පාල­මට කියන්නේ කුදිර පාලම කියාය. බැලස්ට් ගල් අතුරා සිල්පර යෙදූ පසු කුදිර පාලම මාර්ග­යෙන් අඩි දෙකක් පමණ පහළ ගිය අතර ඒ පර­ත­රය පිය­වී­මට අම­තර සිල්පර යොදා සකසා ඇත. සම­හර පැරැ­න්නන්ගේ මතය අනුව නම් පැව­සෙන්නේ ඉංග්‍රීසි අස­රුවෝ මෙම පාල­මට ඉහ­ළින් අසු පන්නා ගොස් ඇති බවයි. කුහ­රයේ දිග අඩි 28කට වැඩි නිසා එප­මණ දුරක් අසු පන්නා­ගෙන යෑමට හැකි දැයි නොදන්නා මුත් එසේ අසු පන්නා­ගෙන යෑමට හැකි නම් පාල­මක් අවශ්‍ය වූයේ ඇයිද යන්න විම­සිය යුතුය. කුදිර පාලම අසල ගල් කුළේ පැහැ­දිලි ඉංග්‍රීසි අකු­රෙන් JAH OBEYSEKERE යනු­වෙන් නමක් කොටා ඇත. ඒ මෙම ස්ථානයේ උප කොන්ත්‍රාත් කළ පුද්ග­ල­යෙ­කුගේ නමද, නැත­හොත් මෙම ස්ථාන­යෙන් වැටී මිය­ගිය අයෙ­කුගේ නමක්ද යන්න විමසා බැලිය යුතුය.

කඩු­ග­න්නාව රඹු­ක්කන අතර කොටසේ කුදිර පාලම් ඇත්තේ මෙම ස්ථානයේ පම­ණක් නොවේ. මෙයට පෙර වෙර­ළු­ගො­ල්ලේ­දීද කුදිර පාල­මක් හමුවූ අතර ඉහ­ළ­කෝට්ටේ සිට කඩි­ග­මුව දක්වා මාර්ග කොට­සේද කුදිර පාලම් හමු­වී­මට නිය­මි­තය.

එච්. එම්. විජේසිරි

කුදිර පාල­මත් පැන Sensation Rock මාර්ග කොට­සත් පසු­කර පහ­ළට එද්දී ඉදි­රි­යෙන් කෙහෙ­ල්ව­රාව කන්ද පෙනෙ­න්නට ගනී. නමුත් දුම්රිය මඟ කෙහෙල් වරාව කන්දට මාරු­වන්නේ තවත් කිලෝ­මී­ට­ර­යක පමණ දුර­කින් පසු­වය. එතෙක් මොටන කන්ද බැවුමේ හමු­වන්නේ ගෙවතු වගා­වන්ය. දුම්රිය මඟ ඉදි කරන ලද සමයේ මෙම බිම් වන වැදී තිබුණ ද මේ වන විට ඒවා කෙමෙන් කෙමෙන් ජනා­වාස වෙමින් තිබේ. ඔවුන්ගේ ගෙවතු වගා අතර අලි­ගැ­ට­පේර, රඹු­ටන්, මැංගුස්, කොකෝවා සහ දූරි­යන් ආදී ප්‍රිය­ම­නාප පල­තුරු වර්ගද, සාදික්කා, කරාබු, ගම්මි­රිස් වැනි කුළු­බඩු වර්ගද, හීන් කොච්චි මිරිස්ද බහු­ලව දැකිය හැකිය.

මීළ­ගට හමු­වන්නේ අංක හත දරන බිංගෙ­යයි. ඉතා කෙටි බිංගෙ­යක් වන මෙහි දිග අඩි 133කි. මෙම බිංගෙ­යින් ඉහළ කන්දේ වගා­කර ඇත්තේ රබර්ය. එහි ඇති විශේ­ෂ­ත්වය වන්නේ බිංගෙ­යට ඉහ­ළින් මාර්ග­යක් විහිදී තිබි­මයි. රඹු­ක්කන - මාව­නැල්ල ප්‍රධාන මාර්ගයේ හතේ කණුවේ සිට මාලි­යැද්ද හරහා ඉහ­ළ­ග­මට මාර්ගය වැටී ඇත්තේ අංක හත බිංගෙ­යට ඉහළ රබර් වත්ත මැදිනි. ඉතා තෙත බරිත බිංගෙ­යක් වන මෙහි දැකිය හැකි තවත් සුවි­ශේෂී ලක්ෂ­ණ­යක් වන්නේ බිංගෙය හැඩ දෙක­කින් යුක්ත වීමය. එනම් කඩු­ග­න්නාව අන්ත­යෙන් බැලූ විට සිහින් උස් හැඩ­ය­ක­ටත්, රඹු­ක්කන අන්ත­යෙන් බැලූ විට පළල් කෙටි හැඩ­ය­ක­ටත් දක්නට ලැබී­මයි. වෙනත් දුම්රිය බිංගෙය වල දැකිය නොහැකි, සාමාන්‍ය මහා මාර්ග­වල දැකිය හැකි ආකා­ර­යට මෙම බිංගෙයි ඇතුළු බිත්ති වල පෝස්ටර් අලවා තිබෙනු දක්න­ටද හැකි­යාව ලැබිණි. ඒ අනුව ප්‍රදේ­ශයේ ජන­තා­වගේ පාග­මන් බිමන් මෙම බිංගෙය තුළින් සිදු­වීම සාමාන්‍ය දෙයක් බව වට­හා­ගත හැකිය. එයට වැද­ගත් සාක්ෂි­යක් සප­යන්නේ බිංගෙය දෙප­සින්ම කන්ද දෙසට වැටි ඇති අඩි පාරයි.

අංක හත බිංගෙය පසු කළ සැණින් අංක හය බිංගෙ­යද හමුවේ. එයද කෙටි බිංගෙ­යකි. දිග අඩි 104කි. එම බිංගෙය අව­සන් වූ සැණින් හමු­වන්නේ දෙකිඳ බැම්මය. දෙකිඳ බැම්ම ඉදි­කර ඇත්තේ මොටන කන්දත් කෙහෙ­ල්ව­රාව කන්දත් අත­රය. දෙකිඳ බැම්ම යටින් ගලන දෙකිඳ ඇළ ආරම්භ වන්නේ බලන කොටු­වට ඔබ්බෙන් වූ වෙල් යාය­කිනි. දේව­ගල කන්දෙන් පහ­ළට වැටී ගලන එය අව­සා­නයේ එක­තු­වන්නේ මා ඔය­ටය. අතී­තයේ හතර කෝර­ලයේ සිට කන්ද උඩ­ර­ටට පාග­මන් මාර්ගය වැටී තිබී ඇත්තේ දෙකිඳ ඇළ ඉවුර ඔස්සේය. වෙනත් නව මාර්ග ඉදි­වීම නිසා දැනට භාවිතා නොවන ගම් සභා පාරක් මෙම ඇළේ ඉහ­ත්තා­වෙන් පොත්තා­පි­ටිය දෙසට පව­තින බව අපට කීවේ වළ­ගොඩ හිටපු ග්‍රාම නිල­ධාරී ඩබ්.ජී.කරු­ණා­රත්න මහ­තාය.

බලන දෙසින් සහ පොත්තා­පි­ටිය දෙසින් කඳු හත­රක් ඔස්සේ උප­දින වතු­රෙන් පෝෂ­ණය වන දෙකිඳ ඇළේ බැම්ම සවි­මත්ව තන­න්නට දුම්රිය මාර්ග ඉංජි­නේ­රු­වන් තීර­ණය කළේ වැසි සම­යට මෙම ඇළ ඔස්සේ ගලන ජලයේ සැඩ පහර නිසාය. අඩි දහ අටක් පළල, අඩි පන්සිය හත­ළි­හක් දිග දෙකිඳ බැම්ම දෙප­සින් ගලෙන් බැඳ මැදින් පස් පුරවා ශක්ති­මත් කළ එකකි. මේ බැම්ම පිර­වීම සඳහා කියු­බික් අඩි දෙලක්ෂ විසි­ද­හ­සක පස් ප්‍රමා­ණ­යක් භාවිතා කළ බව කඳු­කර දුම්රිය මාර්ග ඉදි­කි­රීම් අධී­ක්ෂ­ණය කළ ෆේවිල් නම් ඉංජි­නේ­රු­වාගේ වාර්තා­වල සද­හන්ය.

අපි දෙකිඳ ඇළ මායි­මෙන් බැම්ම පාමු­ලට බැස්සේ දෙකිඳ බැම්මට යටින් ඇති දෙකිඳ බෝක්කුව බල­න්න­ටය. ඒ සඳහා අපට මඟ­පෙ­න්ව­න්නට පැමි­ණියේ විශ්‍රා­මික දුම්රිය ස්ථානා­ධි­පති එච්.එම්. විජේ­සිරි මහතා සහ ඔහුගේ පුත් මාව­නැල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සංව­ර්ධන නිල­ධාරී එච්. එම්. නිපුන ඉඳු­නිල් මහ­තාය. අඩි පාරක් දිගේ කුඩා නිවාස කිහි­ප­යක් පසු කර­ගෙන දැඩි බෑවු­මක් බට අපි, දෙකිද ඇළට බැස්සෙමු. යළි ඇළ දිගේ ගලින් ගලට පනි­මින් දුෂ්කර ගම­න­කින් පසු දෙකිඳ බැම්ම අස­ලට එන්නට හැකි­යාව ලැබිණි.

දෙකිඳ බැම්ම ට පහ­ළින් පිහිටි බෝක්කුව පතුලේ පළල අඩි විස්සකි. උස අඩි දොළ­හකි. බෝක්කුවේ දිග අඩි හැට­කට වැඩිය. අර්ධ කවා­කාර හැඩ­යක් සහිත බෝක්කුව දෙපස ඉහ­ළට සහ පහ­ළට අඩි හත­ළි­හක් පමණ දුරට ගල් වැටි­යක් බැඳ ශක්ති­මත් කර ඇත. එප­ම­ණක් නොව බෝක්කු­වෙන් පහළ අතට අඩි හත­ළි­හක් පමණ දුරට පැතලි ගල් අල්ලා ජල පහර සුම­ටව ගලා යන ලෙස සකසා ඇත.

දෙකිඳ  බෝක්කුව

“අන්ති­මට වැස්සේ ඊයේ උදේ…. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය වතුර පාර. උඩහ කඳු වලට වැස්ස වැටණු ගමන් අඩි හය හතක ජල කඳක් මේ බෝක්කුව යටින් ගල­නවා… මහ විශාල ගස් විත­රක් නොවෙයි, ගල් පවා ගහ­ගෙන එනවා…. මේ තරම් ලොකු බෝක්කු­වක් හදපු නිසා තමයි මෙච්චර කල් ඉරි­තැ­ළී­මක් වත් නැතිව බැම්ම පරෙ­ස්සම් වෙලා තියෙන්නේ…” එසේ පැව­සුවේ මාකෙ­හෙ­ල්වල පදිංචි විශ්‍රා­මික දුම්රිය ස්ථානා­ධි­පති එච්.එම්. විජේ­සිරි මහ­තාය.

Sensation Rock මාර්ග කොට­සින් පසු කෑගල්ල දිස්ත්‍රි­ක්ක­යට ඇතුළු වුණු දුම්රිය මඟ දෙකිඳ බැම්මෙන් පසු යළිත් ඉහ­ළ­කෝට්ටේ දුම්රිය නැව­තුම පසු කරන තුරු ගමන් ගන්නේ කෑගල්ල- මහ­නු­වර දිස්ත්‍රික් මායි­මට සමා­න්ත­රව කැගල්ල දිස්ත්‍රි­ක්ක­යෙනි. දිස්ත්‍රික් මායිම දිගේ ඉදි­රි­යට යන විට හමු­වන්නේ මාකෙ­හෙ­ල්වල දුම්රිය නැවැ­තු­මයි. එයත් පෙර හමුවූ වෙර­ළු­ගොල්ල නැවැ­තුම සේම කාර්ය මණ්ඩ­ල­යක් නොමැති වේදි­කා­වක් පම­ණක් ඇති නැවැ­තු­මකි.

“ඕක ඇත්ත­ටම තියෙන්නේ බඹ­ර­ගල කියන ගමේ. ඒත් ඔය නැවැ­තු­මෙන් වැඩි­යම ප්‍රයෝ­ජන ගන්නේ මාකෙ­හෙ­ල්වල මිනිස්සු. ඒ නිසා මුලින් බඹ­ර­ගල හෝල්ට් කියල කියපු ඔය නැවැ­තුම පස්සේ මාකෙ­හෙ­ල්වල හෝල්ට් වුණා….” විජේ­සිරි මහතා එම නැවැ­තුම ගැන පෙර අපර සන්ධි ගැළ­පූයේ එලෙ­සය.

“මාකෙ­හෙ­ල්වල කියන නම වැටුණු හැටිත් අපූ­රුයි…ඉස්සර රඹු­ක්කන කෙහෙල් වලට ප්‍රසි­ද්ධයි. ඉස්සර මේ පැත්තේ හැම බිම් අඟ­ලක්ම වවල තිබුණේ කෙසෙල්. පොත්ත­පි­ටිය පැත්තෙන් අල­ග­ල්ලට, මොට­නට ආව­හම මේ පැත්ත පේන්නේ වළ­ක්වගේ…. මහ විශාල යායක් විදි­හට කෙහෙල් වවා තිබුණු වළ කියන අරු­තෙන් මෙහෙට කිව්වේ “මහ කෙහෙල් වල” කියලා… ඒක තමා මාකෙ­හෙ­ල්වල වුණේ.” තම ගමට නම ලැබුණු සැටි එච්.එම්. විජේ­සිරි මහතා පැහැ­දිලි කලේ එලෙ­සිනි.

මාකෙ­හෙ­ල්වල පසු කර­ගෙන එන විට හමු වන්නේ දෙව­ස­ර­කට පෙර මහ වැසි දින­යක නාය යෑමට හසුවූ ස්ථාන­යකි. එදා එම අව­ස්ථා­වේදී කෙහෙ­ල්ව­රාව කන්දේ සිට ගලන අභ්‍ය­න්තර දිය පහ­රක් පොළොව මතු­පි­ටට මතුවී දුම්රිය මාර්ගය ගිලා බැසී­මට ලක්විණි. පසුව සති කිහි­ප­යක ඉංජි­නේ­රු­මය ක්‍රියා­ක­ර­කම් වලින් පසු දුම්රිය මර්ගය යථා තත්ව­යට පත් කළත්, තව­මත් දුම්රිය මාර්ග අංශය එම ස්ථානයේ වැඩ­බි­මක් පව­ත්වා­ගෙන යන්නේ අව­දා­නම තව­දු­ර­ටත් පව­තින නිසාය. පැමි­ණෙන සෑම දුම්රි­ය­කම වේගය සීමා කර, කොඩි­ක­රු­වෙකු ලවා සංඥා කර­මින් ඉදි­රි­යට ගැනීම එහිදී සෑම විටෙ­කම සිදු­කෙරේ.

ලංකාවේ විත­රක් තියෙන රම්පාල සිග්නල් කණුව

එම වැඩ­බිම අව­සා­නයේ ඇත්තේ අපුරු සංඥා­වකි. සමාන ප්‍රමා­ණයේ රේල් පීලි කැබැලි දෙකක් තිරස්ව, එකි­නෙ­කට සමා­න්ත­රව සවි කර, රතු පැහති තීන්ත ආලේප කර ඇති මෙම සංඥාව සුදු පැහති සිරස් පීල්ලක සවි කර ඇත. ලෝකයේ වෙනත් කිසිදු රටක දුම්රිය මාර්ග­යක දක්නට නොමැති බව කියැ­වෙන මේ සංඥා­වට දුම්රිය රියැ­දු­රන් කියන්නේ “රම්පාල සිග්නල්”කියාය.

එම සංඥාව 1970 න් පසුව මෙරට දුම්රිය මාර්ග පද්ධ­ති­යට එක් වු බව පව­සන දුම්රිය පිළි­බඳ ගවේ­ශ­ක­යෙකු වන නලින් අබේ­සිංහ මහතා එම සංඥාව මෙරට දුම්රි මාර්ග පද්ධ­ති­යට එක්වූ ආකා­රය පැහැ­දිලි කළේ මෙලෙ­සනි.

“1968 අග හෝ 69 මුල් කාලයේ W1 එන්ජින් ලංකා­වට ගෙනාව කාලේ ඒ දුම්රිය එන්ජින් අත්හ­දා­බැ­ලීම් සදහා රජ­රට රැජින දුම්රි­යට එක දව­සක යොද­වල තිය­නවා. එදා දුම්රිය පදවා ගෙන ගිහින් තියෙන්නේ එව­කට දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි රම්පාල මහ­තායි. මම අහල තියන විදි­යට මේ කියන සංඥා පසු කර යෑම නැත්නම් signal overshoot වීම සිද්ධ වෙලා තියෙන්නේ තලාව දුම්රිය ස්ථානයේ දීයි. රැජි­නට තලාවෙ outer home signal එක දීල තිබිල නෑ. ඒක දැකලා රම්පාල මහ­ත්තය දුම්රි­යට බ්රේක් ඇප්ලයි කළත් සිග්නල් එක පහු­වෙලා තමයි දුම්රිය නැව­තිලා තියෙන්නේ. ඒ වෙලාවෙ එන්ජිම හැදුව කම්පැ­නියේ ජර්මන් සුද්දො දෙන්නෙ­කුයි D.I.M (දිස්ත්‍රික් යාන්ත්‍රික පරී­ක්ෂක ) ජය­සිංහ කියල මහ­ත්ම­යෙ­කුයි ප්‍රේම­සිරි කියල දුම්රිය රියැ­දුරු මහ­ත්ම­යෙ­කුයි කැබ් එකේ ඉදලා තිය­නවා. මේ සිද්ධි­යට තමයි ජය­සිංහ මහ­ත්මයා ලිඛි­තව නිද­හ­සට කරුණු දෙන ලෙස රැජින රිය­දුරු එහෙම නැත්නම් දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රිට නියෝග කර සිටින්නඉතින් අනු­රා­ධ­පු­රය දුම්රිය ස්ථානයේ දි රම්පාල මහතා නිද­හ­සට කරුණු දුන්නලු මෙහෙම..I put the break,but train overshoot the signal.”

කුදිර පාලම

“ඉතින් දුම්රිය සාමා­න්‍යා­ධි­කාරි ගෙන් නිද­හ­සට කරුණු අහන්න දිස්ත්‍රික් යාන්ත්‍රික පරී­ක්ෂ­කට බල­යක් තියෙ­න­වද?”

“මේක අද කාලේ වෙච්ච එකක් නොවෙයි… සාම­න්‍යා­ධි­කාරි වුණත් ඒ මොහොතේ කරල තියෙන්නේ රියැ­දුරු රස්සාව. දුම්රි­යක් සිග්නල් එකක් දීලා නැති විට ඒක පසු කර යෑම තද­බල වැරැ­ද්දක්. ආය­තන සංග්‍ර­හයෙ පළ­වෙනි උප­ලේ­ඛ­නය යටතේ චෝදනා පත්‍ර­යක් නිකුත් කරන්න පුළු­වන් වැරැ­ද්දක්.”

මේ මාර්ග කොටස ගැන ඔබ දන්නා විස්තර වේ නම් outofboxsrilanka@gmail.com ඊ ලිපි­න­යට දන්වන්න.

ස්තූතිය - අව­සර ගැනීම් සම්බ­න්ධී­ක­ර­ණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රිය­දුරු සමන් ගුණ­ව­ර්ධන මහ­තාට, දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­පා­ලන නිල­ධාරී (සම්බ­න්ධි­ක­රණ ලේකම්) විරාජ් නානා­ය­ක්කාර මහ­තාට, තොර­තුරු තහ­වුරු කර ගැනි­මට සහය වූ කොටුව දුම්රිය මාර්ග අධී­ක්ෂණ කළ­ම­නා­කරු ඇන්ටන් වික්‍ර­ම­රත්න මහ­තාට, නාව­ල­පි­ටිය ප්‍රවා­හන අධි­කාරී කාර්යා­ල­යට සහ ගමන ගවේ­ෂණ කණ්ඩා­ය­මට

ආරුක්කු පහක් හදා හත­රක්ම වසා දැමු අල­ගල්ලේ බෝක්කුව ගැන ලබන ඉරිදා සිළු­මිණේ….

Comments