කෑ ගසා උදව් ඉල්ලු­වත් බය­ටම කවු­රු­වත් ආවේ නෑ | Page 2 | සිළුමිණ

කෑ ගසා උදව් ඉල්ලු­වත් බය­ටම කවු­රු­වත් ආවේ නෑ

ත්‍රාස­ජ­නක චිත්‍ර­ප­ට­යක මවනා දසුන් පෙළක් හැබෑ ලෙසට විදහා පෑ මාතර නිලේකා ස්වර්ණා­භ­රණ අලෙ­වි­සලේ මංකො­ල්ලය මේ වන විට මුළු රටම දුටු දර්ශ­න­යකි. ඒ අතරේ කොල්ල­ක­රු­වන්ට එරෙ­හිව අභීත සට­නක නිරත වූ මාතර පොලී­සියේ සාජන් සුග­ත­දාස සහ සුරංග ප්‍රදීප් හා වසන්ත කුමාර බර­ප­තළ තුවාල ලදහ. සුරංග මිය­ගිය අතර සෙසු දෙදෙනා තවම ප්‍රති­කාර ලබ­මින් සිටිති.

කොල්ල­ක­රු­වන් නවීන ගිනි­අවි අතැ­තිව සතර දෙසට වෙඩි තබ­මින් පලා යන ආකා­රය අසල සීසී­ටීවී කැමරා කාචයේ මනාව සට­හන් වී තිබිණි.

රටම බලා සිටි මේ සිද්ධි­යෙන් පසු කාගේත් අව­ධා­නය යොමු වූයේ කොල්ල කල්ලියේ වෙඩි ප්‍රහා­රය අත­ර­තුරේ වෙඩි වැදුණු පොලිස් නිල­ධා­රීන් රෝහ­ල්ගත කිරී­මට උත්සුක වූ තරු­ණ­යන් කීප දෙනා වෙතය. එලෙස පොලිස් නිල­ධා­රීන් රෝහ­ල්ගත කිරී­මට ඉදි­රි­පත් වන තරු­ණ­ය­කුගේ දසු­නක්ද ඒ අසල වූ සීසී­ටීවී කැම­රා­වක සට­හන් වෙද්දී කවු­රුත් ඒ තරු­ණයා පිළි­බඳ විප­රම් කර­න්නට විය.

කොල්ල­ක­රු­වන් වෙඩි ප්‍රහාර එල්ල කර­මින් පලා යද්දී එම තරු­ණයා ත්‍රීරෝද රියක් පිටු­පස වෙඩි වැදී වැටී සිටි පොලිස් නිල­ධා­රි­යකු සිය දෑතින් ඔසවා ගෙන ගොස් තනි­වම වෑන් රියක දොර හැර ගනි­මින් පොලිස් නිල­ධා­රියා එහි පට­වා­ගෙන රැගෙන යන අන්දම සීසී­ටිවී කැම­රාවේ හොඳින් දර්ශ­නය විය.

එම තරු­ණයා ඒ මොහොතේ නිර්භ­යව ඉදි­රි­පත් වී කළ ක්‍රියාව පසු­ගිය දින­වල සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සියලු මාධ්‍ය­වල ප්‍රධාන මාතෘ­කා­වක් බවට පත්විණි. පසුව පොලී­සිය ද එම තරු­ණයා ගැන අව­ධා­නය යොමු කර­මින් ඔහු ගැන සොය­න්නට විය. එහෙත් ඔහු ගැන හෝඩු­වා­ව­ක්වත් දන්නා කෙනෙක් නොවීය. පසුව සමාජ මාධ්‍ය ජාල­යන්හි දර්ශ­නය වූ පුද්ග­ලයා තමා යැයි හඟ­ව­මින් ඉදි­රි­පත් වූ වෙනත් පුද්ග­ල­ය­කුට පුළුල් ප්‍රචා­ර­යක් ලැබුණේ සැබැ­වින්ම ඒ සද්ක්‍රි­යා­වට මුල් වූ තරු­ණයා පසෙක සිටි­ය­දීය. එහෙත් ඒ වෙද්දීත් මේ කිසි­වක් ගැන නොදත් සැබැ­වින්ම ඊට මුල් වූ තරු­ණයා පසු­ගිය 25 වැනිදා මාතර පොලි­සි­යට පැමි­ණියේ එදා තුවාල ලැබ රෝහ­ල්ගත කළ පොලිස් නිල­ධා­රි­යාගේ හිස්වැස්ම හා සපත්තු කුට්ටම බාර දීම­ටය. ඉහත සිද්ධි­යට මුල් වූ සැබෑ තරු­ණයා මේ යැයි පොලිස් නිල­ධා­රීන්ට පසක් වූයේ 25 වැනිදා මේ තරු­ණයා සැබැ­වින්ම දුටු අව­ස්ථා­වේය. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචා­රය වූ සීසී­ටීවී දසු­න්වල දුටු නියම ‘වීරයා’නමින් ගයාන් ජාන­කය. වයස අවු­රුදු 35කි. ඔහු ඉතා­ලියේ සහ එංග­ල­න්තයේ ජීවත් වන්නේය. ගයාන් එදා තමා මුහුණ දුන් අත්දැ­කීම අප හා හෙළි කිරී­මට මුලින් අදි­මදි කළේය. එහෙත් අපගේ බල­වත් පෙරැ­ත්තය නිසා ඔහු එදා සිදු­වීම අප හා මෙසේ විස්තර කළේය.

“මගේ අම්මාගේ ගම අහං­ගම. ඒත් මං පොඩි කාලේ ඉඳන්ම හැදුණේ අයි­ඩී­එ­ච්වල. මේ දින­වල මං එංග­ල­න්තයේ ඉඳලා නිවා­ඩු­ව­කට ඇවිල්ලා ඉන්නෙ. එදා මං මාතර රෝහලේ හිටපු මගේ යාළු­වෙක් බලන්න ගියේ. රෝගීන් බලන වෙලාව එන­කල් මං වෑන් එක නිලේකා එක ළඟ නතර කර­ගෙන ෂීට් එක පාත්ක­ර­ගෙන නිදා­ගෙ­නයි හිටියේ. එක්ව­රම වෙඩි සද්ද­යක් ඇහුණා. මං වෑන් එකෙන් බැහැලා බැලුවා. එත­කො­ටම පොලිස් නිල­ධා­රි­යෙක් කිව්වා, ‘පාත්වෙන්න පාත්වෙන්න වෙඩි තිය­නවා’ කියලා. මම වෑන් එක ළඟම පාත් වුණා. පොලිස් නිල­ධා­රියා වෑන් එක ඉස්ස­රහ පැත්තෙන් නිලේකා එක පැත්තට ගියා. ඔහු ඉදි­රි­යට යන­වාත් සම­ඟම වෙඩි වැදුණා. පස්සෙ ඔහු වෙඩි කාගෙ­නම අසල තිබුණ ත්‍රිවි­ල­ර­යක් පිටු­ප­සට ඇවිල්ලා වැටුණා. මං ඔහුට වෙඩි වදි­නවා දුටුවා.”

ඒ වෙද්දී කොල්ල­ක­රුවෝ දිගට හර­හට වෙඩි තිය­මින් පලා යමින් සිටි­යහ. කිසිදු පුද්ග­ල­යකු හෝ වෙඩි වැදුණු පුද්ග­ල­යන් අස­ලට තියා ඒ ඉස­ව්වට හෝ ළං නොවෙද්දී ගයාන්ට සිහි­පත් වූයේ තම දෙනෙත් අබි­ය­සම වෙඩි වැදී ඇද වැටුණු පොලිස් නිල­ධා­රි­යාය. ගයාන්ට එම නිල­ධා­රියා ගැන සොයා බල­න­තුරු ඉස්පා­සු­වක් නොවීය.

“මං ඕන දෙයක් කියලා වෑන් එක ළඟින් දුව­ගෙන ආවා... එත­කො­ටත් වෙඩි තිය­නවා... පොලිස් නිල­ධා­රියා වැටි සිටි ත්‍රිවි­ල­රය ළඟට ගිහින් ඔහු උස්සා­ගෙන වෑන් එක ළඟට ගෙනාවා. මං කෑගැ­හැව්වා කවු­රු­හරි උද­ව්වට එන්න කියලා... මිනිස්සු කිසි කෙනෙක් ඒ මොහොතේ දොර ඇරලා දෙන්න­වත් ආවේ නැහැ. මම නිල­ධා­රියා බිමින් තියා දොර ඇර ඔහුගේ ගිනි­අ­විය ඇතුළු සියලු දේ වෑන් එකට දැම්මා. එත­කො­ටම මනු­ස්ස­යෙක් ආවා... ඔහුත් දාගෙන පොලිස් නිල­ධා­රියා රෝහ­ලට රැගෙන ගියා.”

එලෙස ගයාන් විසින් රෝහ­ලට රැගෙන යනු ලැබුවේ මේ වන විට කොළඹ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන සාජන් සුග­ත­පා­ලය. අන­තු­රුව ඔහු රෝහල් පොලී­සි­යට ගිනි­අ­වි­යද බාර දී රෝගි­යාගේ සුව­දුක්ද විමසා අහං­ගම නිවෙ­සට ගියේය. ගයාන්ගෙ පැත්තෙන් ඔහු කළ සද්ක්‍රි­යාව නිමාව දුටු­වේය. එහෙත් ඒ අතරේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහු කළ සද්ක්‍රි­යාව පුළුල්ව ප්‍රචා­රය වූයෙන් සැවොම ඔහු කවු­දැයි සොය බැලූහ. මාතර පොලිස් අධි­කාරි කාර්යා­ල­යද ඔහු සොය­න්නට වූයේය.

“මං ගෙදර ගිහින් මේ ගැන කාට­වත් කිව්වෙ නැහැ. මට ඒක ඒ හැටි දෙයක් වුණෙත් නැහැ. මොකද අවු­රුදු ගානක් මං යුරෝපේ ජීව­ත්වෙන්නෙ. ඒ රට­වල බල්ලෙක් පූසෙක් පාරක වැටිලා හිටි­යත් මිනිස්සු ක්ෂණි­කව ක්‍රියා­ත්මක වී අවශ්‍ය කට­යුතු කර­නවා.”

තොර­තුරු පව­සන අතරේ එක්ව­රම ගයාන් හැඟු­ම්බර විය. ඒ මීට වසර දෙක­කට පමණ පෙර තම මෑණි­යන්ට සිදුවූ අවා­ස­නා­වන්ත ඉර­ණම සිහි­පත් වීමෙනි.

“මගේ අම්මා දස­සිල් මෑණි කෙනෙක්. නෙඛ්ඛම්මා දස­සිල් මෑණියෝ කියන්නෙ මගේ අම්මා. අහං­ග­මදී බස­ය­කට නඟින්න ගිහින් මැරුණේ. ඒ බස් එක තවත් බස­යක් සමඟ තර­ගෙට යන්න ගිහින් අම්මා නඟින්න පෙර බස් එක ඇදලා. අන්ති­මට බස් එක අම්මා ඉස්ස­රහ රෝදෙට හසු­ක­ර­ගෙන මීටර් සිය­යක් විතර ඈතට අරන් ගිහින්. රියැ­දුරා දන්නෙත් නැහැලු. අම්මා පැය බාග­යක් විතර එතැ­නම තියා­ගෙන ඉඳලා. කවු­රු­හරි ඉදි­රි­පත් වෙලා එවෙ­ලේම රෝහ­ලට ගෙනි­ච්ච­නම් සම­හර විට අම්මා ජීවත් කර­ගන්න තිබුණා කියලා තමයි වෛද්‍ය­ව­රුන් එදා කිව්වේ.”

එසේ තම මෑණි­යන්ට වූ අවා­ස­නා­වන්ත ඉර­ණම ගැන අතීත මත­කය සිහි­පත් කළ ගයාන්ට පොලිස් නිල­ධා­රින්ට වෙඩි වැදුණු අව­ස්ථා­වේද තම මෑණි­යන්ගේ අකල් මර­ණය සිහි­පත් විය.

පොලිස් නිල­ධා­රින්ගේ දැඩි ඉල්ලිම මත පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා­දුන් ප්‍රශං­සා­ත්මක ත්‍යාගය ලබා­ගැ­නී­මට ගයාන් පසු­ගිය 26 වැනිදා මාතර පොලිස් අධි­කාරි කාර්යා­ල­යට පැමි­ණි­යේය. එදින ගයාන් සමඟ ප්‍රභාත් ගාමිණි, මහේෂ් සුරංග, දසුන් රංගන සහ සුනන්ද යන අයටද පොලිස් නිල­ධා­රින් රෝහ­ල්ගත කිරී­මට ඉදි­රි­පත් වූ හෙයින් පොලිස්පති සුරතින් ත්‍යාග මුදල් පිරි­නැ­මිණි.

“මං මේ මුදල් ප්‍රමා­ණ­යට මගේ අති­නුත් තවත් මුදල් ප්‍රමා­ණ­යක් යොදලා ජන­තා­ව­ටම සේව­යක් කර­නවා.”

ඒ අනුව ගයාන් එම මුදල් ප්‍රමා­ණය නුදුරු දිනෙ­කදී මාතර රෝහ­ලට හෝ පොලිස් නිල­ධා­රින්ගේ සුබ­සා­ධන කට­යු­ත්ත­කට හෝ යොදන බව කීවේය. මාතර මංකො­ල්ල­යේදී නිහඬ සේව­යක් කර­මින් වීර­යකු වූ ගයාන් වැනි පුද්ග­ල­යන් තවත් වේනම් අප රටට කෙත­රම් අගනේ ද?

ඡායා­රූප දෙවු­න්දර සමූහ - චමින්ද වන්නි­ආ­රච්චි

Comments