හිට්ලර් මිථ්‍යාව; ‘‘සාධාරණ ලෙස’’ ඔස්ට්‍රියාව අල්ලා ගැනීම | Page 4 | සිළුමිණ

හිට්ලර් මිථ්‍යාව; ‘‘සාධාරණ ලෙස’’ ඔස්ට්‍රියාව අල්ලා ගැනීම

 

 

 

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි ජර්ම­නිය 1938 මාර්තු 12 වනදා ඔස්ට්‍රි­යාව "ඈඳා ගැනීම​" බැලූ බැල්මට එකදු වෙඩි­ල්ලක් හෝ වැය නොකොට සිදු කරන ලද්දකි. එමෙන්ම එර­ටෙහි ජීවත් වූ අති බහු­ත­ර­යක් ජර්මන් ජාති­කයෝ වූහ.​එහෙ­යින් හිට්ලර් විසින් ඔස්ට්‍රි­යාව ඈඳා ගැනීම සාධා­ර­ණී­ක­ර­ණය කිරීමේ උත්සා­හ­යන් ද දක්නට ලැබේ.

කෙසේ වෙතත් හිට්ලර් සැබෑ ලෙසම ඔස්ට්‍රි­යාව ඈඳා ගත්තේ කුම­න්ත්‍රණ​, ත්‍රස්ත ක්‍රියා, බිය වැද්දීම් සහ තර්ජන නොඅඩු ක්‍රියා­ව­ලි­යක් ඔස්සේ ය​. එමෙන්ම අවශ්‍ය නම් යුද­මය මෙහෙ­යු­මක් සඳහා ද ඔහු සූදා­නම් ව සිටියේ ය​.

එසේ ඔස්ට්‍රි­යාව ඈඳා ගන්නා අව­ස්ථාවේ ඊට සහය දැක්වූයේ ඔස්ට්‍රි­යාවේ නට්සින් පිරි­සක් පමණි. එප­ම­ණක් ද නොවේ. ඔස්ට්‍රි­යාවේ ප්‍රධාන නට්සි­වාදී නාය­ක­යන් පවා හිට්ලර් විසින් ඔස්ට්‍රි­යාව ඈඳා­ගනු ඇතැයි දැන නොසිටි බවක් පෙනේ. ඔස්ට්‍රි­යානු නට්සීන් ගේ ප්‍රධා­නියා වූ ආතර් සෙයිස්-ඉන්කාර්ට් බලා­පො­රොත්තු වූයේ අභි­නව නට්සි ඔස්ට්‍රි­යා­වක චාන්ස­ලර් (අග­මැති) බවට පත් වීමට ය​. නමුත් හිට්ලර්, ඔස්ට්‍රි­යානු නට්සි නාය­ක­යාගේ ද බලා­පො­රොත්තු සුන් කර දැම්මේ ය​.

ඩොල්ෆස් ඝාත­නය​

ජර්ම­නියේ නට්සි ව්‍යාපා­ර­යට සම­ගා­මීව ඔස්ට්‍රි­යාවේ ද නට්සි ව්‍යාපා­ර­යක් වර්ධ­නය වූ නමුත් එය ජර්මන් නට්සි පක්ෂ­යට සාපේ­ක්ෂව ඉතා අඩු ජන­ප්‍රි­ය­ත්ව­ය­කින් යුක්ත වූයේ ය​. 1930 ඔස්ට්‍රි­යානු මහ මැති­ව­ර­ණය ඊට හොඳ සාක්ෂි­යක් ලෙස සැල­කිය හැකි ය. එම මැති­ව­ර­ණ­යේදී ඔස්ට්‍රි­යානු නට්සීන්ට ලැබුණේ ඡන්ද සිය­යට 3 ක් පමණි.

නමුත්, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නට්සීන්ගේ උප­ක්‍රම අතර නොවීය​. ඔස්ට්‍රි­යානු නට්සීන්ට විශාල උප­කා­ර­යක් වූයේ යාබද ජර්ම­නියේ වඩා ප්‍රබල නට්සි ව්‍යාපා­ර­යක් පැව­තී­මයි. 1933 ජන­වා­රි­යේදී හිට්ලර් ජර්ම­නියේ චාන්ස­ලර් පද­වි­යට පත් වූ පසු දෙර­ටෙහි ම නට්සීන්ට අවශ්‍ය වූයේ ඔස්ට්‍රි­යාවේ ද බලය අල්ලා ගැනීම ය​.

එකල ඔස්ට්‍රි­යාව පාල­නය කළේ චාන්ස­ලර් එංග­ල්බර්ට් ඩොල්ෆස් විසිනි. 1932 දී චාන්ස­ලර් පද­වි­යට පත් වූ ඔහු 1933 වන­විට ඒකා­ධි­ප­ති­යකු ලෙස කට­යුතු කර­න්නට වූයේ ය​. ඔහුට ප්‍රධා­නම අභි­යෝ­ගය වූයේ සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීන් ය​. 1934 පෙබ­ර­වාරි 12 වනදා ඩොල්ෆස් වියා­නාවේ කම්කරු ප්‍රදේ­ශ­ව­ලට පහර දී සමාජ ප්‍රජා­ත­න්ත්‍රි­ක­යින්ගේ බලය බිඳ දැමී­මට ක්‍රියා කළේ ය​.

ඉන් මාස කිහි­ප­ය­කට පසු නට්සි­වා­දීහු ක්‍රියා­ත්මක වූහ​. 1934 ජූලි මාස­යේදී සිදු වූ කුම­න්ත්‍ර­ණ­යක් අත­ර­තුර ඩොල්ෆස් මරා දමන ලදී.

කෙසේ නමුත් මෙම අව­ස්ථාවේ ඉතා­ලියේ ෆැසිස්ට් නායක බෙනීටෝ මුසෝ­ලිනී ඔස්ට්‍රි­යාවේ පැවති රජ­යෙහි ආර­ක්ෂා­වට පැමී­ණියේ ය​. එව­කට ඔස්ට්‍රි­යාව සහ ඉතා­ලිය අතර ඉතා සමීප සබ­ඳ­තා­වක් වූ අතර ඩොල්ෆස් ද සිය පාල­නය සඳහා ගුරු කොට­ගත්තේ ඉතා­ලියේ මුසෝ­ලි­නීගේ ෆැසිස්ට් පාල­නය යි. ජර්මන් තර්ජ­නය හමුවේ ඔස්ට්‍රියා-ඉතාලි දේශ­සී­මාව වෙත හමුදා එවූ මුසෝ­ලිනී, නට්සි ජර්ම­නි­යට තර්ජ­නා­ත්මක පණි­වි­ඩ­යක් යැවීය. යම් හෙය­කින් ඔස්ට්‍රි­යා­වෙහි නට්සින් විසින් ඇති කළ කල­බල නිද­හ­සට කරු­ණක් කර­ගෙන ජර්මන් හමුදා එහි එවී­මට කට­යුතු කළ­හොත් ඉතා­ලිය හා ගැටෙ­න්නට සිදු­වනු ඇති බව මුසෝ­ලිනී පෙන්නුම් කළේ ය. යුද්ධ­යට සූදා­න­මක් නොවූ හෙයින් හිට්ලර් පසු බැස්සේ ය. කර්ට් ෆොන් ශෂ්නිග් ඔස්ට්‍රි­යාවේ නව චාන්ස­ලර් ලෙස පත් වූයේ ය.

බල තුල­නය

මේ අනුව ඔස්ට්‍රි­යාවේ බලය අල්ලා ගැනී­මට​ නම් ඉතා­ලියේ මිත්‍ර­ත්වය දිනා­ගත යුතු බවට හිට්ලර්ට පැහැ­දිලි විය. මේ සඳහා වැඩි කලක් නොගොස් ඔහුට අව­ස්ථා­වක් පහළ වූයේ ය. එම අව­ස්ථාව නම් 1935 දී ඉතා­ලිය විසින් ඇබි­සී­නි­යාව (ඉති­යෝ­පි­යාව) ආක්‍ර­ම­ණය කිරීම ය.

ඉතා­ලියේ ක්‍රියා කලා­පය බ්‍රිතා­න්‍යය සහ ප්‍රංසය වැනි රට­වල දෝෂ දර්ශ­න­යට හේතු වූයේ ය. මේ අනුව, ඉතා­ලිය සහ අනෙ­කුත් බට­හිර රට­වල් අතර විර­ස­ක­යක් වර්ධ­නය වන අව­ස්ථාව හිට්ලර් භාවිතා කළේ මුසෝ­ලි­නීට සමීප වීමට ය.

මේ අතර, 1936 ජූලි මාස­යේදී ජෙන­රාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ හමුදා කැරැල්ල සමග, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය හට ගත්තේය. මෙහිදී ජර්ම­නිය සහ ඉතා­ලිය ක්‍රියා­කා­රීව ම ෆ්‍රැන්කෝට සහය දුන්නේ ය. මෙමඟින් ද ඉතා­ලිය සහ ජර්ම­නිය අතර මිත්‍ර­ත්වය වර්ධ­නය වූයේ ය. මෙහි වැද­ගත් ම අව­ස්ථා­වක් වූයේ 1936 ඔක්තෝ­බ­ර­යේදී ඇති කර­ගත් කොමි­යු­නිස්ට් ජාත්‍ය­න්ත­ර­යට එරෙහි ගිවි­සුම ය​. මේ පිළි­බඳ මුසෝ­ලිනී විසින් නිවේ­ද­නය කෙරුණේ 1936 නොවැ­ම්බර්1 වනදා ය​.

ජර්මන් - ඔස්ට්‍රියා ගිවි­සුම

මෙම පසු­බි­මේදී ඔස්ට්‍රි­යාව සහ ජර්ම­නිය 1936 දී මිත්‍ර ගිවි­සු­ම­කට එළ­ඹි­යේ­යය. මෙය බැලූ බැල්මට ඉතාම මිත්‍ර­ත්ව­යෙන් යුක්ත වගන්ති සහිත ගිවි­සු­මක් වූයේ ය. මේ අනුව දෙරට අතර වූ එදි­රි­වා­දි­කම් නිරා­ක­ර­ණය වූයේ යයි සාමාන්‍ය නිරී­ක්ෂ­ක­ය­කුට සිතිය හැකි විය.

නමුත් මෙහි වූ රහස්‍ය වගන්ති පිළි­බඳ ව බාහිර ලෝක­යට හෙළි නොක­රන ලදී. එම වග­න්ති­ව­ලට අනුව බන්ධ­නා­ගා­ර­ග­තව සිටි නට්සින් නිද­හස් කිරී­මට හා නට්සීන්ට ඔස්ට්‍රි­යාවේ දේශ­පා­ලන කට­යුතු කිරී­මට ඉඩ ලබා දීමට ශෂ්නිග් එකඟ වූයේ ය. එප­ම­ණක් නොව “ජාතික විප­ක්ෂයේ” (එනම් නට්සි පක්ෂයේ) ප්‍රබ­ල­යින් දේශ­පා­ල­නි­කව වග­කිව යුතු තන­තු­රු­ව­ලට පත් කිරී­මට ද ශෂ්නිග් එකඟ වූයේ ය. එම­ඟින් හිට්ලර්ගේ ට්‍රෝජන් අශ්වයා ඔස්ට්‍රි­යානු පාල­නය වෙත ඇතුළු විය.

බිය වැද්දී­මෙන් නතු කිරීම

නට්සි ජර්මන් රජයේ, විශේ­ෂ­යෙන් ම SS සංවි­ධා­නයේ සහ ඔත්තු සේවා­වන් හි උප­කාර ඇතිව ඔස්ට්‍රි­යාවේ නට්සි බිය වැද්දීම් දිග­ටම සිදු වූයේ ය. නට්සින් විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහා­ර­යන් ද නිර­න්ත­ර­යෙන් සිදු වූයේ ය. මේ අතර රයි­න්ල­න්ත­යට හමුදා යැවීම (ප්‍රංසය සහ බ්‍රිතා­න්‍යය නිවැ­රදි පිය­වර ගත්තා නම් හිට්ලර් බල­යෙන් පහ කිරී­මට තිබූ අනගි අව­ස්ථා­වක්) හේතු­වෙන් හිට්ලර්ගේ ජන­ප්‍රි­ය­ත්වය ද ඉහළ ගොස් තිබුණි. මේ අතර ඉතා­ලිය කෙමෙන් කෙමෙන් ජර්ම­නි­යට සමීප වෙද්දී ශෂ්නිග්ට තම හොඳ ම මිතුරා සහ ආර­ක්ෂ­කයා අහිමි වෙමින් තිබුණි.

හිට්ලර්ගේ අව­ශ්‍ය­තාව පැහැ­දි­ලිව පෙනෙ­න්නට තිබුණි. ආර්ථික අප­හ­සුතා හේතු­වෙන් යුද සූදා­නම ප්‍රමාද වන බව මැසි­විලි නැඟු හිට්ලර්ගේ අද­හස වූයේ ඔස්ට්‍රි­යාව සහ චෙකො­ස්ලො­වැ­කි­යාව අල්ලා ගෙන එම රට­වල සම්පත් සිය යුද සූදා­නම වෙනු­වෙන් යොමු කළ යුතු බව ය. මේ අනුව හිට්ලර් ගිවි­සු­ම්ව­ලින් නතර වීමට සූදා­නම් නොවූ බව පැහැ­දිලි ය. ගිවි­සුම් යනු ඔහුගේ ඉල­ක්කය වූ ඔස්ට්‍රි­යාව සහ චෙකො­ස්ලො­වැ­කි­යාව අල්ලා ගැනීමේ වැඩ­පි­ළි­වෙ­ළෙහි උප­ක්‍ර­මික පිය­ව­ර­යන් පම­ණක් විය.

සැල­සුම් කළ කැරැල්ල

1938 වසර මුලදී, ඔස්ට්‍රි­යාවේ නට්සි ක්‍රියා­කා­ර­කම් උත්සන්න වෙමින් පැව­තිණ. මේ අතර ඔස්ට්‍රි­යානු පොලි­සිය 1938 ජන­වාරි 25 වනදා “හත්දෙ­නාගේ කමි­ටුව” නම් සංවි­ධා­න­යක මූල­ස්ථා­නය වට­ලෑවේ ය. මෙය ඔස්ට්‍රි­යාවේ නට්සි රහස් ක්‍රියා­කා­ර­කම් මෙහෙ­යවූ සංවි­ධා­නය විය. මෙහි තිබී හිට්ලර්ගේ එව­කට දෙවැ­නියා වූ රුඩොල්ෆ් හෙස් විසින් අත්සන් කළ, ඔස්ට්‍රි­යාව අල්ලා ගැනීමේ සැලැස්ම සොයා ගන්නා ලදී.

මෙම සැලැ­ස්මට අනුව නට්සි­වා­දීහු ඔස්ට්‍රි­යාවේ කැරැ­ල්ලක් දියත් කිරී­මට නිය­මිත විය. ඇතැම් විටෙක, ඔස්ට්‍රි­යාවේ නට්සි ජර්මන් තානා­පති වූ ෆ්‍රාන්ස් ෆොන් පැපන් හෝ වෙනත් අයකු ඝාත­නය කිරී­මෙන් ද අවශ්‍ය කල­බල නිර්මා­ණය කිරී­මට බලා­පො­රොත්තු වූයේ ය. ඉන්ප­සුව ශෂ්නිග් එම කැරැල්ල මර්ද­නය කිරී­මට ක්‍රියා කරන අව­ස්ථාවේ දී, “ජර්මා­නුන් විසින් ජර්මන් ලේ සෙල­වීම වැළැ­ක්වීම උදෙසා” නට්සි ජර්මන් හමුදා ඔස්ට්‍රි­යාව ආක්‍ර­ම­ණය කළ යුතු වූයේ ය.

මෙම සැල­සුම් හෙළි වීම අර්බු­දය තවත් උත්සන්න කළේ ය. නමුත්, ජර්මන් ආක්‍ර­ම­ණ­කාරී ප්‍රති­පත්ති කාහ­ටත් පැහැ­දිලි වුවද, ඊට එරෙ­හිව කිසි­වක් කිසි­ව­කුත් නොක­රන තත්ත්ව­යක් මතුව තිබිණි.

මේ අතර පෙබ­ර­වා­රිය මුලදී හිට්ලර් විසින් පැපන්ව ඔස්ට්‍රි­යාවේ ජර්මන් නියෝ­ජිත තන­තු­රෙන් ඉවත් කරනු ලැබිණි. කතෝ­ලි­ක­යකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කට­යු­තු­ව­ලදී “මහ­ත්ම­යකු” වූ පැපන් ඉවත් කිරීම ළඟ එන අන­තුර පිළි­බඳ ශෂ්නිග්ට ද කළ දැනුම් වීමක් හා සමාන වූයේ ය.

තමන් නිල­යෙන් පහ කළ, එමෙන්ම අවශ්‍ය නම් තමන් ඝාත­නය කිරී­මට පවා සූදා­න­මින් සිටි හිට්ලර් හමු­වී­මට ගිය පැපන් අලුත් යෝජ­නා­වක් කළේ ය. එනම් හිට්ලර් සහ ශෂ්නිග් දෙරටේ ගැටලු නිරා­ක­ර­ණය කර ගැනීම පිණිස සාකච්ඡා කළ යුතු බවය. හිට්ලර් මෙම යෝජ­නා­වට එක හෙලා අනු­මැ­තිය පළ කළේය. ශෂ්නිග් ඉල්ලා සිටියේ සාකච්ඡා 1936 ගිවි­සුම මත පද­නම්ව කළ යුතු බවය. තමන් දුර්වල ස්ථාව­ර­යක සිටින බව දත් හෙතෙම තවත් අව­දා­න­මක් ගැනී­මට මැළි විය.

හිට්ලර් ඊට පිළි­තුරු වශ­යෙන් දන්වා සිටියේ සාක­ච්ඡාව එම ගිවි­සුම මත පද­නම්ව සිදු කරන බවත් දෙරට අතර ඇති වූ යම් යම් ගැටු­ම්කාරී තත්ත්ව­යන් නිරා­ක­ර­ණය කර ගැනීම එහි අපේ­ක්ෂාව වන බවත් ය. එම ප්‍රකා­ශය ප්‍රශ්න­කාරී වූ නමුදු ශෂ්නිග් ඊට එකඟ වූයේ ය.

තීර­ණා­ත්මක හමු­වීම

1938 පෙබ­ර­වාරි 11 වනදා ශෂ්නිග් රහ­සින් ම ජර්ම­නි­යට පැමි­ණියේ ය​. ඔස්ට්‍රියා - ජර්මන් දේශ­සී­මාව අසළ ඔබ­ර්සැ­ල්ස්බර්ග් හි හිට්ලර්ගේ කඳු­කර නිව­හනේ දී ඔවුන් දෙදෙනා මුණ ගැසුණේ පෙබ­ර­වාරි 12 වනදා ය​.

දෙදෙ­නාගේ හමු­වීම ආර­ම්භ­යේදී ම හිට්ලර් ශෂ්නිග් ට දැඩි ලෙස දෝෂා­රෝ­ප­ණය කළේ ය​. හිට්ලර්ට අනුව ඔස්ට්‍රියා - ජර්මන් මිත්‍ර­ත්වය කඩා­ක­ප්පල් කිරී­මට කළ හැකි සියල්ල කළේ ශෂ්නිග් ය​. එමෙන්ම "තුන්වන රයි­කය (නට්සි ජර්ම­නිය​) ප්‍රබල රාජ්‍ය­යක්. අපේ දේශ­සීමා ප්‍රශ්න නිරා­ක­ර­ණය කර ගැනීම පිළි­බඳ කිසි­ව­කුත් අප හා එරෙහි වන්නේ නැහැ" යනු­වෙන් ද ඔහු තර්ජ­නය කළේ ය​.

මෙම හමුව තනි­ක­රම ඒක පාර්ශ්­වික ප්‍රහා­ර­යක් වූ අතර ශෂ්නිග් බොහෝ­කො­ටම නිහ­ඬව අසා­ගෙන සිටින තැනට පත් වූයේ ය​. හිට්ලර් ඔහුට කියා සිටියේ තම කොන්දේ­සි­ව­ලට එකඟ නොවන්නේ නම් තමන් දරුණු ක්‍රියා­මාර්ග ගන්නා බවයි.

"ඔබේ කොන්දේසි මොන­වාද​?" ශෂ්නිග් විම­සීය​.

"අපි ඒ ගැන සව­සට සාකච්ඡා කරමු" හිට්ලර් පිළි­තුරු දුන්නේ ය​.

දිවා භෝජ­නය සාමාන්‍ය පරිදි ගෙවී ගිය අතර ඉන් අන­තු­රුව ශෂ්නිග්ට නට්සි යෝජනා ඉදි­රි­පත් කරන ලදී. මේ අනුව නට්සි පක්ෂය මත පනවා තිබූ තහ­නම ඉවත් කිරීම​, නට්සි නියෝ­ජි­ත­යන් දෙදෙ­නකු අභ්‍ය­න්තර කට­යුතු (පොලි­සිය ද ඇතු­ළුව​) අමාත්‍ය ධුර­යට සහ යුද කට­යුතු අමාත්‍ය ධුර­ව­ලට පත් කිරීම​, ජර්මන් සහ ඔස්ට්‍රි­යානු හමුදා අතර නිල­ධා­රීන් හුව­මා­රුව යනාදී ඔස්ට්‍රි­යානු නිද­හස සහ ස්වෛරී­භා­වය අමු අමුවේ උල්ලං­ඝ­ණය වන ආකා­රයේ යෝජනා එහි වූයේ ය​.

ශෂ්නිග් මෙම යෝජනා ප්‍රති­ක්ෂේප කළ නමුත් ඔහුට දිගින් දිගට ම ඒවා පිළි­ගැ­නී­මට ඔහුට කළ තර්ජන හමුවේ ඔහුට අව­සා­නයේ ඒවාට අනු­මැ­තිය දීමට සිදු විය​. පසුව පෙබ­ර­වාරි 18 වනදා ඔහු විසින් ආර්තර් සෙයිස්-ඉන්කාර්ට් ඔස්ට්‍රි­යාවේ අභ්‍ය­න්තර කට­යුතු ඇමති ලෙස පත් කරන ලදී.

අව­සා­නය​

හිට්ලර් මෙතැ­නින් නැව­තී­මට කැමැ­ත්තක් නොදැ­ක්වීය​. ඔහුට අවශ්‍ය වූයේ ඔස්ට්‍රි­යාව අල්ලා ගැනීම මිස අනෙ­කක් නොවේ. මේ අනුව ඔහු දිගින් දිගට ම ඔස්ට්‍රි­යාව වෙත පීඩ­නය වැඩි කර­න්නට වූයේ ය​.

පෙබ­ර­වාරි 20 වනදා හිට්ලර් රයි­ෂ්ටා­ගය අමතා ඔස්ට්‍රි­යාව සහ චෙකො­ස්ලො­වැ­කි­යාව යන රට­ව­ලට තර්ජ­නය කළේ ය​. ජර්ම­නි­යෙන් පිටත සිටින ජර්මන් ජාති­ක­යන්ගේ අයි­තීන් සුර­ක්ෂිත කිරීම තම වග­කීම බවත් ඒ සඳහා තමන් ක්‍රියා කරන බවත් හිට්ලර් කියා සිටියේ එම රට­වල් දෙක­ටම (චෙකො­ස්ලො­වැ­කි­යාවේ ද සුඩෙ­ටන් ප්‍රදේ­ශයේ ජර්මානු ජාති­කයෝ විසූ හ​) කෙරෙන තර්ජ­න­යක් පරි­ද්දෙනි.

ශෂ්නිග් පෙබ­ර­වාරි 24 වනදා මීට පිළි­තුරු දුන්නේ ය​. ඔස්ට්‍රි­යාව ජර්මන් ඉල්ලීම් ගණ­නා­ව­කට ඉඩ දුන් බව පෙන්වා දුන් හෙතෙම එහි සීමා­වක් පැව­තිය යුතු බව කීවේ ය​. තව ද ඔස්ට්‍රි­යාව කැමැ­ත්තෙන් සිය ස්වෛරී­භා­වය පූජා නොක­රන බව ද ඔහු සඳ­හන් කළේ ය​.

මේ අව­ස්ථාවේ ශෂ්නිග් උප­ක්‍ර­මික තීර­ණ­යක් ගත්තේ ය​. එතෙක් ඔහුගේ සතු­රන් වූ සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීන්ට දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් ලබා දීමට ඔහු තීර­ණය කළේ ය​. සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීහු මේ අව­ස්ථාවේ වඩා අඩු නපුර තෝරා­ගත්හ​. හිට්ලර් මෙයින් දැඩි සේ කිපුණේ ය​.

මාර්තු 9 වනදා ශෂ්නිග් සිය අව­සන් තුරු­ම්පුව ඇද්දේ ය​. ඔහු මාර්තු 13 වනදා රට පුරා ජන­මත විචා­ර­ණ­යක් පව­ත්වන බව සඳ­හන් කළේ ය​. "ඔබ නිද­හස්, ස්වාධීන​, සමාජ​-ක්‍රිස්ති­යානි සහ එක්සත් ඔස්ට්‍රි­යා­ව­කට පක්ෂද​?" යන්න එහි දී ජන­තා­ව­ගෙන් විම­සනු ලැබී­මට නිය­මිත වූයේ ය​. වෙනත් වච­න­ව­ලින් කිව­හොත් ඔස්ට්‍රි­යා­නු­ව­න්ගෙන් විම­සනු ලැබුණේ ඔවුන් ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පැව­තී­මට කැම­තිද​? නැත­හොත් ජර්ම­නි­යට ඒකා­බද්ධ වීමට කැමැ­තිද​? යන්නයි.

මෙම ජන­මත විචා­ර­ණය හිට්ලර්ව බර­ප­තළ ලෙස කුපිත කළේ ය​. ඔහු එක් පසෙ­කින් ඔස්ට්‍රි­යාව තුළ නට්සි උද්ඝෝ­ෂණ දැඩි කිරී­මට උප­දෙස් දුන්නේ ය​. පොලි­සිය භාරව සිටි සෙයිස්-ඉන්කාර්ට් මේ පිළි­බඳ කිසිදු පිය­ව­රක් නොගත් අතර රට අරා­ජික වෙමින් තිබිණි. නමුත් මාර්තු 13 වනදා ජන­මත විචා­ර­ණයේ ප්‍රති­ඵ­ලය කුමක් වන්නේ­දැයි හිට්ලර් දැන සිටියේ ය​.

ඔස්ට්‍රි­යාව ආක්‍ර­ම­ණය කරන බවට තර්ජ­නය කර­මින් නට්සි ජර්ම­නිය ශෂ්නිග්ට ඉල්ලා අස්වී­මට බල කළ හ​. ඉන්පසු ඔස්ට්‍රි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාට තර්ජ­නය කර­මින් සෙයිස්-ඉන්කාර්ට් නව චාන්ස­ලර් ලෙස පත් කිරී­මට බල­පෑම් කළෝ ය​. ජනා­ධි­පති විල්හෙල්ම් මික්ලාස් ඊට එකඟ වූයේ දැඩි බල­පෑම් මැද ය​.

මාර්තු 11 වනදා සෙයිස්-ඉන්කාර්ට් නව චාන්ස­ල­ර්ව­රයා බවට පත් වූ අතර මාර්තු 12 වනදා ජර්මන් හමුදා ඔස්ට්‍රි­යා­වට ඇතුළු වූහ​.

සෙයිස්-ඉන්කාර්ට් බලා­පො­රොත්තු වූයේ ස්වාධීන ඔස්ට්‍රි­යා­වක චාන්ස­ලර් ලෙස කට­යුතු කිරී­මට ය​. නමුත් හිට්ලර් නිවේ­ද­නය කළේ ඔස්ට්‍රි­යාවේ ස්වාධී­න­ත්වය අව­සන් වන බව යි.

ඒ අනුව සෙයිස්-ඉන්කාර්ට්ගේ අග­මැ­ති­කම දින දෙක­කට සීමා විය​.

යම් හෙය­කින් ඔස්ට්‍රි­යාව තුළින් ආක්‍ර­ම­ණ­යට ප්‍රති­ක්‍රි­යා­වක් වී නම් එය සඳහා ද ජර්ම­නිය සූදා­නම් වී සිටියේ ය​. නමුත් එවන් අව­ශ්‍ය­තා­වක් පැමි­ණියේ නැත​.

කෙසේ නමුත් ජර්ම­නිය විසින් ඔස්ට්‍රි­යාව අල්ලා ගැනීම ලේ නොසොල්වා කරන ලද්ද­කැයි පැව­සීම ඉති­හා­සය විකෘති කිරී­මකි. හිට්ලර්ගේ සැල­සුම් හේතු­වෙන් 1934 දී ඩොල්ෆස් ඝාත­නයේ සිට ම ඔස්ට්‍රි­යා­නුවෝ ජීවි­ත­ව­ලින් ද වන්දි ගෙව්වෝ ය​. තවද​, ඔස්ට්‍රි­යාවේ අව­සා­නය සිදු වූයේ තර්ජන සහ බිය වැද්දීම් මධ්‍යයේ ය​. කෙටි­යෙන්ම කිව­හොත්, එය වඩා විශාල රාජ්‍ය­යක් විසින් කුඩා රාජ්‍ය­යක් නිර්ල­ජ්ජිත ලෙස අත්පත් කර­ගැ­නීමේ සිද්ධි­යක් මිස අනෙ­කක් නොවී ය​.

 

Comments