
දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක ද පසුගිය සිකුරාදා (22) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එදින මාතර නගරයේ සිදුවූ ස්වර්ණාභරණ වෙළෙඳසල මංකොල්ලයට ඔහුද එක්වී ඇති අතර එහිදී පොලීසිය කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා හොර රහසේ කරාපිටිය රෝහලට ඇතුළුව ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
දකුණේ පාතාල නායකත්වය සඳහා කොස්ගොඩ සුජී නමැති අපරාධකරුවාගේ නායකත්වවෙන් මෙහෙයවුණු කල්ලිය සමඟ ගැටුණු තාරක කල්ලිය විසින් ගිය වර්ෂයේ ඔක්තෝබර් 29 දා කරන්දෙණිය ප්‍රදේශයේ එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා ඝාතනය ඇතුළු තවත් පුද්ගල ඝාතනයකට පොලීසියට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකි.
ඊට අමතරව ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර මුදල් කොල්ලකෑම, අලුත්ගම, තංගල්ල, පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයකම සිදුවූ බැංකු කොල්ලකෑම්වලට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකි. මොහුගේ ක්‍රියාකාරකම් නිසා මේ වන විට රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන, කොල්ලකෑම්, කප්පම් ගැනීම් රාශියක්ම සිදුව ඇතැයි වාර්තා වේ. මේ වන විට ඔහු සමඟ කොල්ලයට එක්වූ තවත් සැකකරුවන් දෙදෙනකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගන්නා කරාපිටිය රෝහලේ ආරක්ෂාව තර කරමින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඊට යොදා ඇත.