දිනේෂ් චන්දිමාල් බබෙක්ද? | සිළුමිණ

දිනේෂ් චන්දිමාල් බබෙක්ද?

ක්‍රිකට් තරගයකදී සත්කාරක රටකට ලැබෙන වාසිය තවදුරටත් තණ තීරුව, දේශගුණය, එපමණක් නොව අවශ්‍ය නම් තරග විකාශන හිමි කරුවන්ට කණ්ඩායමක දොළොස් වැන්නා බවට ද පත්විය හැකිය. ක්‍රිකට් ක්‍රිඩාවේදී අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයට බොහෝ දෑ කළ හැකි නමුත් මේ දොළොස්වැන්නාගේ වැඩවලට ඇඟිලි ගැසීමට නොහැකි බව පැහැදිලිය.

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර ශාන්ත ලුෂියා හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ පන්දුව පලුඳු කළ බවට දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල වූ අතර, එයට වැරැදිකරු කරමින් තෙවැනි ටෙස්ට් තරගය ද තහනම් කළේය. දෙවැනි තරගයේ තරග ගාස්තුව ද නොගෙවීමට තීරණ කර තිබේ. මේ එහි තරගයේ විනිසුරුවන්ට එරෙහිව විරෝධය පළ කරමින් කණ්ඩායම සමඟ පිටියට නොයෑම නිසා අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය දිනේෂ්ට, පුහුණුකරු හතුරුසිංහට සහ කළමනාකරු ගුරුසිංහට ද තෙවැනි තලයට වැටෙන චෝදනාවක් ද එල්ලකර තිබේ. එහි චෝදනාවට වරදකරු බවට චන්දිමාල් පත් වුවහොත් තරග හතරේ සිට අට දක්වා හෝ ඊට වඩා දඬුවමකට ද යටත් විය යුතු බව දන්වා තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක ඩේවිඩ් ‍රිචඩ්සන් ප්‍රකාශ කර ඇත්තේ චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම උල්ලංඝනය කර තෙවැනි මට්ටමේ වරදක්කර ඇති බවයි. මේ සිද්ධියට අදාළව විභාගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් තරග නිලධාරීන් ඉදිරියේ කළ විඩියෝ දර්ශන පරික්ෂාවේදී චන්දිමාල් තමන් යම් කිසි දෙයක් මුව තුළට දමා ගත් බව පිළිගත් අතර නමුත් ඒ කුමක් දැයි මතක නැති බව ද ප්‍රකාශ කර තිබේ. මෙහි ගැටලුව ආරම්භ වූයේ චන්දිමාල් ගෙන් නොව, ධනංජය ද සිල්වාගෙනි. ඒ ධනංජය අතක වෙළාගෙන සිටි බැන්ඩේජ් පටි වලින් පන්දුව පිරිමදිණු රූපවාහිනි දසුන්වල සටහන් වී තිබෙන තැනේ පටන්ය. තරග විනිසුරුවන් මෙහිදි පන්දුව පරික්ෂා කරබලා තෙවැනි දිනයේ දී නව පන්දුවක් භාවිතා කිරීමට තීරණය කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හා නිලධාරීන්ගේ ප්‍රසාදයට හේතු නොවීම මේ සියලු ගැටලුවලට මුල විය.

කණ්ඩායමත් සමඟ සිටින කළමනාකරුවන්, පුහුණු කරුවන් සෑම විටම නිර්මාණශීලී වැඩකරුවන්ම විය යුතුය. යම් යම් ගැටලු සහගත අවස්ථාවන්හිදී සිහි බුද්ධියෙන් එහි ගැටලු විසඳා ගැනීමට හැකියාව තිබෙන පිරිසක්ම විය යුතුය. පසුගිය ඉන්දීය සංචාරයේදී දිගට හරහට බැට එල්ල වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළේ මුඛ වාඩම් බැඳ ගෙන තරගයෙන් සැලකිය යුතු කාලයක් විෂ වායු ධාරාවක් යැයි පවසා මඟ හැරීමය. මෙදා කළේ කටට දා ගත් දේ මතක නැහැයි කියමින් තරගය අතර මඟ නතර කර තැබීමය. චන්දිමාල්ට මේ උපදෙස් දුන් අයගේ ඔළුගෙඩි පරීක්ෂා කළ යුතුය. තරගය චන්දිමාල්ට බාර දී ගැටලු විසඳා ගැනීම බලධාරීන් අතට ගන්නේ නම් එය අගය කළ යුත්තකි. නිදහස් කුසලානයේදී බංග්ලාදේශය ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී නැටූ නාඩගම එරට බලධාරීන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමේ ශූරත්වය කදිමට කියා පාන්නකි. ඒ ඕස්ට්‍රේලියාව පන්දුව පළුලු කරන්නට ගොස් හත්පොළේම ගාගත්තේය. චන්දිමාල් කළ සියලු දෑ අද දියාරු වී‍ ගොස් තිබේ. අද ක්‍රීඩාවේ දී තාක්ෂණය ඉහටත් ඉහළින් තිබේ.

අර්ජුන රණතුංග මුරලි වෙනුවෙන් කළ උද්ඝෝෂණයට අදටත් ඇත්තේ සුවිශාල ගෞරවයකි. එහෙත් නොදැන කරන උද්ඝෝෂණවලින් පලක් නොවන්නේ එයින් අත් වත්නේ පාඩුවක් මිස ලාභයක් නොවන බැවිනි.

 

Comments