ජයග්‍රහණය වැස්සට සේදෙන චන්දිමාල්ට තරග තහනමක් | සිළුමිණ

ජයග්‍රහණය වැස්සට සේදෙන චන්දිමාල්ට තරග තහනමක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් විය. ඒ අනුව කොදෙව්වන් තරගමාලාව 1-0 ක් ලෙසින් ජයගෙන ඉදිරියෙන් සිටියි. මෙම දෙවන තරගය ජුනි මස 14 -18 දක්වා පැවැත්වුයේ ශාන්ත ලුෂියා නුවර ඩැරන් සැමි ජාතික ක්‍රීඩාංගණයේදීය.

එසේ වුවත් මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීමට අනගි අවස්ථාවක් උදා වී තිබුණි. එහෙත් ප්‍රධානතම හේතු දෙකක් නිසා එය කිරීමට නොහැකි විය. එක් හේතුවක් වුයේ තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමය. විශේෂයෙන්ම ඉතා තීරණාත්මක අවසන් දිනයේදී වර්ෂාව සහ අයහපත් ආලෝක තත්ත්වය නිසා පන්දු ඕවර් 32 පන්දු 3 ක් පමණ යැවීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

එහිදී තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාවට තිබුණේ කොදෙව් කඩුලු 5ක් දවා ගැනීම පමණකි. ශ්‍රී ලංකා ජයට හරස් වු අනෙක් හේතුව වුයේ තරගයේ තෙවන දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුරා පැය දෙකකට ආසන්න කාලයක් පිටියට ගියේ නැතිව වර්ජනයක නිරත වීමය ඊට හේතුව වුයේ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එරෙහිව පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ල වීමත් ඊට ඔහු වැරදිකරු ලෙස සලකා කොදෙව්වන්ට අමතර ලකුණු පහක් සහ නව පන්දුවක් ඔවුනට පිරිනැමීමට විනිසුරුවන් තීරණය කිරීමටත් විරෝධය දැක්වීමයි. ජාත්‍යන්තර නීතියට අනුව අවවාදයකින් තොරව විනිසුරුවන්ට ඉහත ආකාරයට ක්‍රියා කළ හැකිය.

පන්දුව පලුදු කිරී‍ම හෝ එහි ස්වභාවය වෙනස් කිරීමට චන්දිමාල් උත්සාහ කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි. සී.සී) චෝදනා ගොනු කළේය. එම චෝදනා චන්දිමාල් ප්‍රතික්ෂේප කළේය. මේ නිසා තරගය නිමා වීමෙන් පසුව තරග තීරක ඉන්දියාවේ ජවගල් ශ්‍රීනාත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලදි.

මෙම තරගයේ පිටියේ විනිසුරුවන් වු‍යේ පාකිස්තානයේ අලීම් දාර් සහ එංගලන්තයේ ඉයන් ගූල්ඩ්ය. තෙවැනි විනිසුරු වුයේ එංගලන්තයේ රිචඩ් කෙට්ල්බරෝය. තරගය අතරතුර දී පන්දුවේ ස්වභාවය වෙනස් වී ඇති බවට විනිසුරුවන්ට තරගයේ දෙවන දිනය නිමා වන විට සැක පහළ වී තිබුණාහ.

එම නිසාම දෙවන දිනය නිමා වු විට ඔවුන් රූපවාහිනි පුනරූපණ දසුන් නැරඹුහ. එමඟින් ඔවුන්ගේ සැක තහවුරු වී තිබුණාහ. එම පුනරූපණ දසුන් මගින් චන්දිමාල් සිය කලිසම් සාක්කුවෙන් යමක් රැගෙන එය කටේ දමා ගත් අයුරු දක්වා තිබේ. ඉන් අනතුරුව කටේ දමා ගත් දෙය භාවිතා කරමින් පන්දුව ඔප දමන ආකාරයත් රූපවාහිනි දසුන්වල සටහන් වී තිබේ. ඉන් පසුව පසු දින තරගය ඇරඹීමට විනාඩි දහයකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට මේ පිළිබඳව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ජනයට හේතු වුයේ නියමිත ආකාරයෙන් සුදුසු අවස්ථාවේදී ඉහත සිදුවීම නොදැන්වීමත්, චන්දිමාල් වැරදිකරුවකු ලෙසට සැළකීමත් කණ්ඩා‍යමේ කළමණාකරු අසංක ගුරුසිංහට ඉහත රූපවාහිනි දසුන් නැරැඹීමට අවස්ථාව ලබා නොදීමත්ය. කෙසේ වෙතත් තරග තීරකවරයා විසින් පසුව මෙම දසුන් නැරැඹීමට ගුරුසිංහට ලබා දී තිබේ.

තෙවැනි දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ජනය නිමා වුයේ මෙරටේ ක්‍රිකට් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලින් පසුවයි. මෙම කාලය තුළ දී ශ්‍රීනාත්, ගුරුසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතරත් සාකච්ඡා පැවැත්විණි. එහි ඇති විශේෂත්වය නම් මෙම තිදෙනාම 90 දශකයේදී ප්‍රතිවාදීන් ලෙසට ජාත්‍යන්තරව ක්‍රීඩා කිරීමයි.

අයි.සී.සී. නීතියට අනුව දහඩිය, කෙළ, ඇඳුම හෝ ලේන්සුවකින් ‍හැර වෙනත් ඕනෑම උපකරණයකින් හෝ ද්‍රව්‍යයකින් පන්දුව ඔප දැමීම පන්දුව පලුඳු කිරීමක් ලෙසට සැළකෙයි. ඒ අනුව උදාහරණයක් ලෙසට ක්‍රීඩකයකු චුයින්ගම් හෝ ටොෆියක ස්‍රාවය අතේ තවරාගෙන පන්දුව ඔප දැමීම දැන හෝ නොදැන කළඳ එය වරදකි. චන්දිමාල්ටත් එල්ල වුයේ මෙවැනි චෝදනාවකි.

කිසියම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දින තවදුරටත් පිටියට නොපැමිණියේ නම් තරගයේ ජය කොදෙව්වන්ට පිරිනැමීමට තරග තීරක ජවගල් ශ්‍රීනාත් සුදානමින් සිටියේය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුවයි.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් මීට පෙර වාර්තා වී තිබෙන්නේ එක් වතාවක් පමණි. ඒ 2006 වසරේදීය. ඒ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති එංගලන්ත - පාකිස්තාන සිවුවැනි තරගයේ සිවුවැනි දිනයේදීය.

එහිදී ප්‍රධාන විනිසුරුවන් වු ඔස්ට්‍රේලියාවේ ඩැරල් හෙයාර් සහ බටහිර ඉන්දීය කෙදෙව් දූපත් හී බිලී ඩොක්ට්‍රෝව් විසින් පන්දුව පලුදු කළ බවට පාකිස්තාන කණ්ඩායමට චෝදනා කළහ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වු ආකාරයටම පාකිස්තානයටත් ප්‍රතිවාදින්ට අමතර ලකුණු ලබා දීමටත් වෙනත් පන්දුවක් භාවිතා කිරීමට එංගලන්ත පිතිකරුවන්ටත් අවස්ථාව උදාවුණි. පාකිස්තාන කණ්ඩායම මෙයට වි‍රෝධය දක්වමින් තේ පානයෙන් පසුව පිටියට පිවිසුණේ නැත. ඒ අනුව එංගලන්තයට තරගයේ ජය හිමි විය.

මෑත කාලයේදී මෙසේ පන්දුව පලුදු කිරීමටත් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමටත් වැරදිකරු වුයේ ඔස්ට්‍රේලියාවේ කැමරන් බැන්ක්‍රොෆ්ට්ය මින් බැන්ක්‍රොෆ්ට් හට එසේ කිරීමට උපදෙස් ලබා දී තිබුණේ හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර්ය. එසේ ක්‍රියා කිරීම නිසා මෙම තිදෙනාම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටිති.

තෙවැනි තරගය දිනේෂ්ට තහනම්

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ ජුනි 23 සිට 27 දක්වා පැවැත්වෙන දිවා - රාත්‍රී තෙවන ටෙස්ට් තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ ඔහුට අයි.සී.සී. විසින් තරග තහනමක් පනවා තිබෙන බැවිනි. මීට හේතුව වූයේ දෙවන ටෙස්ට් තරගයේ දී පන්දුව පලුදු කිරිමේ චෝදනාවට චන්දිමාල් වැරදිකරු බව තීරණය කිරීමයි.

මේ පිළිබඳ පැවැති පරීක්ෂණයේ දී ටෙස්ට් තරගය සඳහා ඔහුට ගෙවන ලද සම්පූර්ණ මුදල දඩ වශයෙන් අයකර ගැනීමටත් දඬුවම් ලකුණු 02 ක් ලබා දීමටත් තරග තීරක ජවගල් ශ්‍රීනාත් තීරණය කර තිබේ. මේ අතර මෙම දෙවන තරගයේදී කණ්ඩායම පිටියට ගෙන ඒම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අයි.සී.සී. විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

අයි.සී.සී. විනය විධි විධාන අනුව එය ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි තෙවැනි මට්ටමට අයත් වන බරපතළ චෝදනාවකි. එහිදී වැරදිකරුවන් වුවහොත් ඔවුනට තරග සතරක සිට අටක් දක්වා තහනමක් පැනවීමට හැකිය.

Comments