
වත්මන් සමාජයේ බැංකු ඇතුළු මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කරන බොහොමයක් දෙනා ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර (ATM)භාවිත කිරීමට පෙලඹී සිටීති. එම ආයතනද සේවාදායකයන්ගේ පහසුව තකා බැංකුවලින් පරිබාහිරව සුපිරි වෙළෙඳසල් ආශ්‍රිතව මෙන්ම තදාසන්න පෙදෙස්වල ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර ස්ථාපිත කර තිබේ. එවැනි ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රවල මුදල් තැන්පත් කර ඇති සේප්පුව හැර මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු පසුගියදා මීගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ මීගමුව පොලිස් ස්ථානාධිපති උදයකුමාර වුඩ්ලර් සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ආනන්ද හේරත් ඇතුළු පිරිස එක්ව කළ සූක්ෂම මෙහෙයුමකින් පසුවය. එසේ අත්අඩංගුවට පත්වූයේ මීගමුව කුරණ පදිංචි අයේෂ් ප්‍රනාන්දු සහ මීගමුව අඟුරුකාරමුල්ලේ පදිංචි පැතුම් කුමාරසිංහ යන 26 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා විසින් සූක්ෂ්ම ලෙස සේප්පු හැර මුදල් පැහැර ගනු ලැබ තිබුණේ පෞද්ගලික බැංකු දෙකක මීගමුව කඩොල්කැලේ කීල්ස් සුපර් හි හා ජාඇල පිහිටි ඒටීඑම් යන්ත්‍ර දෙකකිනි. එලෙස පැහැරගත් මුදල් ප්‍රමාණය හැත්තෑතුන්ලක්ෂ හැත්තෑහත්දහසකි.
එතරම් මුදල් ප්‍රමාණයක් සැකකරුවන් විසින් සොරා ගැනීම ගැන මුලින්ම පොලීසියට පැමිණිල්ලක් ලැබුණේ පසුගිය මැයි 05 වැනිදා අදාළ ස්වයංක්‍රීය මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර බාරව කටයුතු කරන ප්‍රාදේශීය කළමනාකරුවකුගෙනි. සාමාන්‍යයෙන් මෙලෙස බැංකුවෙන් පිටිත පිහිටි ඒටීඑම් යන්ත්‍රවලට මුදල් ‘ලෝඩ්’ කිරීම ඇතුළු සියලුම කටයුතු බැංකු විසින් එවැනි සේවා සපයන ආයතනවලට බාර දී තිබේ. ඒටීඑම් යන්ත්‍රවලට මුදල් ‘ලෝඩ්’කිරීම සිදු කරනුයේ එම ආයතන මගිනි. බැංකුවෙන් තම ඒටීඑම් යන්ත්‍රයෙහි මුදල් නොමැති බව දැනුම් දුන් විට එම ආයතනයේම මුදල් යොදවා ඒටීඑම් යන්ත්‍රයට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ‘ලෝඩ්’ කිරීම සිදු කරයි. ඒ සඳහා ප්‍රවාහන හා ආරක්ෂක පහසුකම් ඇතුළු සියලුම දේ එම ආයතනය මගින් සලසා ගනු ලැබේ. එම ආයතනය මේ සඳහා බඳවා ගෙන ඇත්තේ අදාළ පෙදෙස් ආසන්නවම පදිංචි සේවකයන්ය. එම සේවකයා විසින් ඒටීඑම් යන්ත්‍රයෙහි සේප්පුවේ යතුරු හැර මුදල් ලෝඩ් කිරීම සිදු කරනු ලබයි. ඔහු එම ක්‍රියා පටිපාටිය ගැන මනා වැටහීමකින් සිටී. එසේම ඒටීඑම් යන්ත්‍ර ගැන සොයා බැලීමට ප්‍රාදේශීය වශයෙන් කළමනාකරුවෝද වෙති. ඔවුන් මුදල් ‘ලෝඩ්’ කරන ආයතනයට අයත් නොවෙති.
ඒ අනුව සොරකමට වූ අදාළ ඒටීඑම් යන්ත්‍රවලට මුදල් ඇතුළු කිරීම බාරව කටයුතු කරනුයේ අබාන්ස් සිකුරිටාස් නමැති ආයතනයයි.
එක් බැංකුවකින් කළ දැනුම් දීම මත පසුගිය අප්‍රේල් 29 වැනිදා අබාන්ස් සිකුරිටාස් ආයතනය කඩොල්කැලේ ඒටීඑම් යන්ත්‍රයට මුදල් ‘ලෝඩ්’ කර තිබිණි. එසේම මැයි 02 වැනිදාද මුදල් ‘ලෝඩ්’ කර තිබිණි. එහෙත් 05 වැනිදා අදාළ බැංකුව අබාන්ස් සිකුරිටාස් ආයතනයට දැනුම් දුන්නේ අප්‍රේල් 29 වැනිදා ලෝඩ් කළ මුදල් ප්‍රමාණයෙන් රුපියල් හතළිස් ලක්ෂ හැත්තෑ හත්දහසක මුදලක අඩුවක් පෙන්වන බවටයි. සීසීටීවී දර්ශනද බැංකුව විසින් අබාන්ස් ආයතනයට පරීක්ෂා කිරීමට ලබා දී තිබිණි. අබාන්ස් ආයතනයද මේ ගැන කළ සොයා බැලීමේදී මුදල් අඩුවක් පෙන්නුම් කෙරිණි. ඒ අතරේ අබාන්ස් සිකුරිටාස් ආයතනයට අනෙක් පෞද්ගලික බැංකුවෙන්ද එවැනිම දැනුම් දීමක් ලැබිණි. එම බැංකුවේ ජාඇළ පිහිටි ඒටීඑම් යන්ත්‍රයෙහිද අප්‍රේල් 27 වැනි දිනට රුපියල් ලක්ෂ 33ක අඩුවක් පෙන්නුම් කරන බවටය.
අබාන්ස් සිකුරිටාස් ආයතනයට කළ දැනුම් දිමෙන් අනතුරුව අදාළ ඒටීඑම් යන්ත්‍ර බාර ප්‍රාදේශීය කළමනාකරු එදින රාත්‍රී අටට පමණ මීගමුව පොලීසියට ද පැමිණිල්ලක් කළේ ඒටීඑම් යන්ත්‍ර දෙකකින් මේසා විශාල මුදල් කන්දරාවක වංචාවක් සිදුවී ඇති බව දන්වමිනි. පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ මීගමුව පොලීසිය සූක්ෂ්ම ලෙස සියලු දේ ගැනම විමර්ශනයක යෙදිණි.
“අපි මුලින්ම අදාළ දිනවල මීගමුව කඩොල්කැලේ ඒටීඑම් යන්ත්‍රයේ සීසීටීවී දර්ශන නැරැඹුවා. එක් තැනක තියෙනවා වැස්ස වෙලාවක කුඩයක් ඉහල ගෙන දෙන්නෙක් එනවා. ඇවිල්ලා හරියටම කැමරාව ආවරණය වන සේ කුඩය තියනවා. ඊට පස්සෙ ටික වෙලාවක් යනකල් කුමක් හෝ දෙයක් කරනවා. නමුත් කිසිම දෙයක් පේන්නෙ නෑ. හැබැයි එක් අයෙක්ගේ මූණක් එක් තැනෙකදී ලාවට පෙනුණා. නමුත් හඳුනා ගන්න බැහැ.” අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පැවසීය.
එම දර්ශනවලින්ද හෝඩුවාවක් නොලැබුණු හෙයින් පොලීසියේ උකුසු ඇස යොමු වූයේ අදාළ ඒටීඑම් යන්ත්‍රවලට මුදල් ‘ලෝඩ්’ කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන අබාන්ස් සිකුරිටාස් ආයතනයේ සේවක පිරිස වෙතය. එයට හේතු වූයේ අදාළ ආයතනයේ සේවකයකුගේ සහාය නොමැතිව කිසිම විටෙක ඒටීඑම් යන්ත්‍රවල සේප්පුව විවෘත කළ නොහැකි බවට පරීක්ෂණවලදී අනාවරණය වීමය.
“සාමාන්‍යයෙන් ඒටීඑම් යන්ත්‍රයක සේප්පුවක් ඇරීම ලේසිපාසු කාර්යයක් නොවේ. යතුරු තුනකින් ලොක් තුනක් අරින්න ඕනැ. දෙවැනි ලොක් එකේ යතුර දාලා අංක හයක් තියෙනවා. එම අංක විවිධ දිශාවන්ට කරකැවිය යුතුයි. ඒක සැරෙන් සැරේට වෙනස් වෙනවා. ඒ ගැන මනා පළපුරුද්දක් නොමැති කිසිම කෙනෙකුට එය අරින්න බැහැ.”
ඒ අනුව ආයතනයේ සේවය කරන පිරිස ගැන මෙන්ම මෑතකදී ඉවත්ව ගිය පුද්ගලයන් ගැන සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් උත්සුක විණි. එහිදී දැනගැනීමට ලැබුණේ මුදල් ලෝඩ් කිරීමේ කටයුතුවල නිරත වූ අබාන්ස් ආයතනයේ සේවය කළ මීගමුව කුරණ විසූ අයේෂ් නමැත්තෙක් අප්‍රේල් 21 වැනිදා ආයතනයෙන් ඉවත්ව ගොස් ඇති බවයි.
පරීක්ෂණ අතරතුරදී ඔහු දෙවරක්ම පොලීසියට කැඳවා ප්‍රශ්න කළත් පලක් නොවිණි. ආයතනයෙන් ඉවත් වූයේ මන්දැයි විමසූ කල අයේෂ් පවසා තිබුණේ, “රස්සාවට රැයක් දවාලක් නැහැ... විවිධ පෙදෙස්වලට රෑටත් යන්න වෙනවා. ඒක නිසා මට මේ රස්සාව එපා වෙලා හිටියේ...” යැයි ඔහුගේ කටඋත්තර පොලිස් පොතේ සටහන් විණි.
එසේ වුවද පොලීසිය ඔහුගේ වදන්වලින් සෑහීමකට පත් නොවී නැවතත් ඔහු පසුපස හඹා ගියේය.
ඒ අතරේ පරීක්ෂණ කණ්ඩායම් අයේෂ් පසුගිය දිනවල කළ කී සියලුම දේ ගැන සොයා බැලීය. ඔහුගේ බැංකු ගිණුම් හා දුරකථන දත්ත සියල්ලම පරීක්ෂාවට ලක් කෙරිණි. අයේෂ්ගේ පාපෝච්චාරණයක් අනුව මීගමුව අඟුරුකාරමුල්ලෙ විසූ ඇඟලුම් ආයතනයක සේවය කළ පැතුම් ජෝර්ජ් නමැත්තාද මීගමුව පොලීස් බාරයට ගෙන ප්‍රශ්න කෙරිණි. ඔහුටනම් කිසිදු ලෙසකින් පොලීසියේ හරස් ප්‍රශ්නවලින් ගැලවීමක් නොලැබිණි. සීසීටීවී දර්ශනවලින් යන්තම් මුහුණ පෙනුණු පුද්ගලයා තමා බව අවසානයේ ඔහු පිළිගත්තේය.
පැතුම් සියල්ල පිළිගෙන තමා මේ සියලු දේට හවුල් වූයේ අයේෂ්ගේ කීමට බව පොලීසිය ඉදිරියේ පවසා තිබිණි.
“උඹගේ වෙඩින් එකත් ළඟයිනේ... සල්ලි එහෙමත් ඕනෑ ඇතිනේ... වරෙන් එහෙනම් නියම ගේමක් තියෙනවා... සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්... වැඩේට බහිමු... උඹටත් ගොඩයන්න පුළුවන්... වෙඩින් එකත් ලස්සනටම කරගන්න පුළුවන්” යනුවෙන් අයේෂ් තමාට පැවැසූ බව පැතුම් පාපොච්චාරණය කළේය.
පැතුම්ගේ පාපෝච්චාරණය අනුව අයේෂ් සොයා ගිය පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
කතිකා කරගත් පරිදි අඹ යහළුවන් දෙදෙනා මුලින්ම ජාඇළ ඒටීඑම් යන්ත්‍රයේ සේප්පුවට ‘විද’ මුදල් තොගයක් ගෙන තිබිණි. එහෙත් ඔවුන්ට ඒ කිසිදු මුදලක් ගණන් කිරීමට නොහැකි වූයේ මුදල් කන්දරාවේ විශාලත්වය නිසායි. අනතුරුව දින දෙකකට පසුව දෙදෙනාගේ උකුස ඇස යොමු වුණේ කඩොල්කැලේ නේෂන්ස් ට්‍රස්ට් ඒටීඑම් සේප්පුවටයි. ඉන් මුදල් ගත්තත් ගණන් කිරීමට ඔවුන්ට වෙලාවක් නොලැබුණි.
“පැතුම්ට ලක්ෂ 20ක 25ක වගේ මුදලක් දුන්නා. කොයි වෙලාවකවත් සල්ලි ගණින්න වුණේ නැහැ... ගෙදර අම්මයි, බිරියයි දරුවයි ඉන්න නිසා ඒව කරන්න ගියේ නෑ. මං ලක්ෂ 28ක විතර මුදලක් සීල් කරලා ගෙදර මිදුලේ වළ දැම්මා. ඉතුරු ගාණ අල්මාරියෙ පිටිපස්සෙ හැංගුවා. මාව දෙපාරක්ම පොලීසියට ගෙනල්ලා ප්‍රශ්න කළ නිසා බයට වළ දැමු මුදල් ටික තියෙද්දී ඉතිරි සියලුම මුදල් පිච්චුවා.” ප්‍රධාන සැකකරු පවසා තිබිණි.
ඒ අතරේ දෙවන සැකකරුද අයේෂ්ගෙන් පොලීසිය ප්‍රශ්න කරන බව සැල වීමෙන් ඔහුද මුදල් ප්‍රමාණයක් පුලුස්සා තිබිණි. නොබෝ දිනකින් පැවැත්වෙන තම විවාහ මංගල්‍යයට ලකලැහැස්ති වූ පැතුම් සොරාගත් මුදලින් කොටසක් විවාහ උත්සවයේ කටයුතු සඳහා අත්තිකාරම් ලෙස ගෙවා ඇත්තේය.
“වෙඩින් හෝල් එක බුක් කළා... ගර්ල්ට සාරි ගත්තා... ඩී ජේවලට, පොටෝවලට, කෝට්වලට ඇඩ්වාන්ස් දුන්නා... තව දෙලක්ෂ තිස්දහසකට ජපන් බයික් එකකුත් ගත්තා...” ඊට අමතරව පැතුම් තම මිතුරන් කීප දෙනෙකුටම රුපියල් පනස්දහස, හැටදහස බැගින් මුදල්ද දී ඇති බව හෙළි විය. පැතුම් මෙලෙස අත දිග හැර මුදල් විසි කරද්දී ඒ ගැන සැක සිතූ පැතුම්ගේ මව “කොයින්ද උඹට ඔය තරම් සල්ලි ”යි විමසා ඇත.
පාපෝච්චාරණය අතරතුරදී පොලීසිය ප්‍රධාන සැකකරුගෙන් සේප්පුව කැඩු ආකාරය විමසීය.
“මං ඒටීඑම් යන්ත්‍රවල මුදල් ලෝඩ් කරන කාලෙ ඔය මැෂින් දෙකේ සේප්පුවල යතුරු කපාගත්තා. ඊට පස්සෙ මට තිබුණු පළපුරුද්දත් එක්ක මං මේ දේ කළා.”
මීගමුව පොලිස් ස්ථානාධිපති උදයකුමාර වුඩ්ලර්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ආනන්ද හේරත්, පො.සැ. (21862) නිශාන්ත සහ පොලිස් කොස්තාපල්වරුන් වන (93333) සරත්, (42484) නිරෝෂ්, (53883) බණ්ඩාර, (37934) දිසානායක, (33074) නානායක්කාර, (79743) පුෂ්පකුමාර (90387) සහ මධුසංඛ ඇතුළු නිලධාරීහු විමර්ශනයට එක් වූහ.