විභාග ප්‍රවේශ පත්‍රය එස්.එම්.එස්-එකෙන් | Page 3 | සිළුමිණ

විභාග ප්‍රවේශ පත්‍රය එස්.එම්.එස්-එකෙන්

ඉදිරියේදී පැවැත්වෙන සියලු රජයේ විභාගවලට පෙනීසිටින අපේක්ෂකයන්ට විභාග ප්‍රවේශපත්‍ර සඳහා ආදේශකයක් ලෙස ඔවුන්ගේ ජංගම දුරකතන වෙත විභාග දෙපාර්තමේන්තුවෙන් යොමු කරන කෙටි පණිවිඩ (එස්.එම්.එස්) භාවිත කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සිළුමිණට පැවසීය.

එම එස්.එම්.එස්. පණිවිඩ පෙන්වූ විට අපේක්ෂකයන් වෙත විභාග සඳහා පෙනී සිටීමට තාවකාලික ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙස එක් එක් විභාග පැවැත්වෙන ශාලාවල ශාලාධිපතිවරුන් වෙත නියම කොට ඇතැයි සනත් පූජිත මහතා සඳහන් කළේය. තැපැල් සේවක වර්ජනය නිසා ඇති වී තිබෙන බලපෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවසූ ඒ මහතා, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුදල් ගෙවා විභාගවලට අදාළ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අපේක්ෂකයන් වෙත පහසුකම් සළසා ඇති බව ද ප්‍රකාශ කළේය.

විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය ගෙන ඇති මෙම තීරණ නිසා මෙම මාසයේ පැවැත්වීමට නියමිත රජයේ විභාග කිසිදු බාධාවකින් තොරව නියමිත පරිදි සිදු කිරීමට හැකිවන බව ද සනත් පූජිත මහතා කීය.

මෙම ක්‍රමවේද දෙක අනුගමනය කිරීමේදී යම් ගැටලුවක් ඇතිවුවහොත් 0112785236 යන දුරකථන අංකය අමතා ගැටලු නිරාකරණය කරගත හැකි බව කී ඒ මහතා මින් ඉදිරියට රජයේ විභාග පැවැත්වීමේදී මෙම ක්‍රමවේදයන් දෙක අත්හදා බැලීමට නියමිත යැයි වැඩිදුරටත් කියා සිටියේය.

 

Comments