පාපන්දු ලෝක කුසලානය රුසියාවෙන් ඇසෙන පුවත් | සිළුමිණ

පාපන්දු ලෝක කුසලානය රුසියාවෙන් ඇසෙන පුවත්

ලෝක කුසලාන තරගාවලි පහකට ක්‍රීඩා කළ සිවුවැනි ක්‍රීඩකයා බවට මෙක්සිකෝවේ රෆායල් මාර්කෙස් මෙවර පත් වෙයි. ඒ 2002, 06, 10, 14 සහ 18 තරගාවලියන්ට ක්‍රීඩා කරමිනි. මෙම දුලබ දස්කම මුලින්ම දැක්වූයේත් මෙක්සිකානුවෙකි. හෙතෙම ඇන්තෝනියෝ කාර්බාජාල්ය. ඒ 1950, 54, 58, 62 සහ 66 වසරවලදීය.

එම දස්කම කළ ලොව දෙවැනියා වූයේ ජර්මනියේ ලෝතර් මතායස්ය. ඒ 1982, 86, 90, 94 සහ 98 වසරවලදී ක්‍රීඩා කරමිනි. ඉතාලියේ ගියන්ලුයිගි බුෆොන්ද 1998, 02, 06, 10 සහ 14 වසරවලදී ලෝක කුසලාන තරගාවලි පහකට ක්‍රීඩා කළේය. ඔහුට මෙම සම වාර්තාව බිඳ දමමින් නව වාර්තාවක් පිහිටුවීමට මෙවර තරගාවලියේදී අවස්ථාව තිබුණත් එය යන්තමින් ගිළිහී ගියේය. ඒ ඉතාලිය මෙවර තරගාවලියට සුදුසුකම් ලැබීමට අවසන් මොහොතේදී අසමත් වූ බැවිනි.

මෙවර තරගාවලියට සහභාගි වන වයස්ගතම ක්‍රීඩකයා වන්නේ ඊජිප්තුවේ ඊෂාම් එල් හාඩාරිය. 45 හැවිරිදි හෙතෙම දැල් රකින්නෙකි. ඔහු ජාත්‍යන්තරව ක්‍රීඩා කරන්නේ 1996 වසරේ සිටය. ඔහුට තරග 157 කි. එසේ වුවත් ඔහුගේ පළමු ලෝක කුසලාන තරගාවලිය මෙවර වීමත් විශේෂත්වයකි. මීට හේතුව වූයේ ඊජිප්තුවට ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබීමට හැකි වූයේ වසර 28 කට පසුව වීම නිසාය.

කිසියම් හෙයකින් හාඩාරි මෙවර තරගයකට හෝ ක්‍රීඩා කළහොත් එය නව ලෝක වාර්තාවකි. එනම් ලෝක කුසලාන පාපන්දු තරගයකට ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා වීමයි.

මෙම වාර්තාව 2014 තරගාවලියේදී පිහිටු වූයේ කොලොම්බියාවේ ෆාර්යඩ් මොන්ඩ්රාගන් විසිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 43 දින 03 කි. ඔහුත් දැල් රකින්නෙකි.

ඔස්ට්‍රේලියාවේ ඩැනියෙල් අර්ෂානි මෙවර තරගාවලියට සහභාගි වන ළාබාලතම ක්‍රීඩකයාය. තරගාවලිය ඇරඹෙන විට ඔහුගේ වයස අවුරුදු 19 මාස 05 කි. ඔහු 1999 ජනවාරි 04 උපත ලබා තිබේ.

අර්ෂානි තම මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේ මෙම වසරේදීය. හෙතෙම ආක්‍රමණශීලි මැදපෙළ ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් ඔහුගේ උපන් රට වනුයේ ඉරානයයි.

මෙවර තරගාවලියට සහභාගි වන උසැතිම ක්‍රීඩකයා ක්‍රොයේෂියාවේ ලාව්රි කාලිනිච්ය. ඔහුගේ උස අඩි 6 අඟල් 7 කි. හෙතෙම 28 හැවිරිදිය. දැල් රකින්නෙකි. මෙය ඔහුගේ ප්‍රථම ලෝක කුසලාන තරගාවලියයි.

මීට අමතරව ඩෙන්මාර්කයේ ආරක්ෂක පෙළ ක්‍රීඩක යැනික් වෙස්ටෙර්ගාර්ඩ්ගේ උස අඩි 6 අඟල් 6 1/2 කි. එමෙන්ම බෙල්ජියමේ දැල් රකින්නකු වන තිබෝ කෝර්ටොයිගේ උස අඩි 6 අඟල් 6 කි.

පැනමාවේ ඇල්බර්ටෝ කුයින්ටෙරෝ, සවුදි අරාබියේ අල් - ෂෙහ්රි යාහියා සහ ස්විස්ටර්ලන්තයේ ෂෙහර්දාන් ෂකිරි මෙවර තරග කරන කුඩාම (උසින් අඩු) ක්‍රීඩකයන්ය. යාහියාගේ උස අඩි 5 අඟල් 4 1/2 කි. කුයින්ටෙරෝ අඩි 5 අඟල් 5 1/2 කි. ෂකිරි අඩි 5 අඟල් 6 හමාරකි.

මෙවර තරගාවලියේ බරින් වැඩිම ක්‍රීඩකයා වන්නේ පැනමාවේ රෝමන් ටොරෙස්ය. එම කණ්ඩායමේ සුපිරිතම ක්‍රීඩකයාත් ඔහු වේ. ඔහුගේ බර කිලෝ ග්‍රෑම් 99 කි. මීට අමතරව සවුදි අරාබියේ අල්මුයොෆ් අබ්දුල්ලා, ඩෙන්මාර්කයේ යැනික් වෙස්ටෙර්ගාර්ඩ්, එංගලන්තයේ හැරී කේන් සහ හැරී මැග්වයර්ගේ බර කිලෝ ග්‍රෑම් 98 බැගිනි. මේ අතර ජපානයේ ටකාෂි ඉනුයි සහ එංගලන්තයේ ජෙසී ලින්ගාර්ඩ් 2018 ලෝක කුසලානයේ බරින් අඩුම ක්‍රීඩකයෝය. ඉනුයිගේ බර කිලෝ ග්‍රෑම් 59 කි. ලින්ගාර්ඩ්ට කිලෝ ග්‍රෑම් 60 කි.

මෙවර ලෝක කුසලානයට සහභාගිවන සෑම රටකටම පොදු බලාපොරොත්තුවක් තිබේ. එනම් සිය උපරිම දක්ෂතා දැක්වීමයි. ඒ සඳහා ඔවුන්ගේ ක්‍රීඩකයන් ගේ සහායත් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. මේ එසේ තම රටවල බලාපොරොත්තු ඉටු කිරීමට උත්සාහ කරන පාපන්දු තරු කිහිපදෙනෙකි.

ඇන්ඩ්‍රෙස් ඉනියෙස්ටා (ස්පාඤ්ඤය)

ස්පාඤ්ඤය ප්‍රථම වරට, ලෝක කුසලානය හිමිකර ගත්තේ 2010 වසරේදීය. එහිදී අවසන් මහා තරගයේ ජයග්‍රාහි ගෝලය රැස් කළේ ඉනියෙස්ටාය. 34 හැවිරිදි ඉනියෙස්ටා මැදපෙළ ක්‍රීඩකයෙකි. මෙවර ඔහු සහභාගි වන්නේ තම සිවුවැනි සහ අවසන් ලෝක කුසලාන තරගාවලියටයි. 2006 සිට ජාත්‍යන්තරව තරග කරයි. තරග 125 කි. ගෝල් 12 කි. හෙතෙම පුරා වසර 16 ක්ම ක්‍රීඩා කළේ බාර්සිලෝනා කණ්ඩායමටයි.

රුයි පැට්රිෂියෝ (පෘතුගාලය)

2016 යුරෝ ශූරතාව හිමිකර ගත් කණ්ඩායමේ සාමාජිකයෙකි. 30 හැවිරිදිය. ඔහුගේ කාර්යය දැල් රැකීමයි. 2010 සිට ජාත්‍යන්තරව තරග කරයි. තරග 68 කි. 2014 ලෝක කුසලානයටත් සහභාගි විය.

හමිෂ් රොඩ්රිගෙස් (කොලොම්බියාව)

2014 ලෝක කුසලානයේ වැඩිම ගෝල් ගණනක් රැස් කළ ක්‍රීඩකයාය. ඒ ගෝල් 06 කි. ආක්‍රමණශීලි මැද පෙළ ක්‍රීඩකයෙකි. මෙවර කොලොම්බියානු නායකයාය. 25 හැවිරිදිය. ජාත්‍යන්තරව තරග කරන්නේ 2011 සිටය. තරග 62 කි. ගෝල් 21 කි. හිටපු රියල් මැඩ්රිඩ් සාමාජිකයෙකි. වත්මනදී ජර්මනියේ බයර්න් මියුනික්ට ක්‍රීඩා කරයි.

ෂින්ජි ඔකෂාකි (ජපානය)

මැද පෙළටත් ඉදිරිපෙළටත් ක්‍රීඩා කරයි. මෙවර තරග කරන ජපානයේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයාය. 32 හැවිරිදිය. ජාත්‍යන්තර තරග වරම 2008 දීය. තරග 111 කි. ගෝල් 50 කි. මෙවර සහභාගි වන්නේ සිය තෙවන ලෝක කුසලානටයි.

මුබාරක් බොයුසොයුෆා (මොරොක්කෝව)

ඔහුගේ උපන් රට වනුයේ නෙදර්ලන්තයයි. 33 හැවිරිදිය. මැද පෙළ ක්‍රීඩකයෙකි. මෙවර මොරොක්කෝවේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයාය. මෙය ඔහුගේ ප්‍රථම ලෝක කුසලාන තරගාවලියයි. ජාත්‍යන්තර තරග වරම 2006 සිටය. තරග 56 කි. ගෝල් 07 කි.

බර්කිර් මාර් සෙවර්සන් (අයිස්ලන්තය)

මෙය අයිස්ලන්තයේ ප්‍රථම ලෝක කුසලාන තරගාවලියයි. ඊට ‍පෙර ඔවුන් සුදුසුකම් ලැබූ එකම ප්‍රධානතම තරගාවලියකි. ඒ 2016 යුරෝ තරගාවලියයි. බර්කිර් ඊටත් සහභාගි විය. හෙතෙම ආරක්ෂකපෙළ ක්‍රීඩකයෙකි. 33 හැවිරිදිය. ජාත්‍යන්තර තරග වරම 2007 දීය. තරග 78 කි. ගෝල් 01 කි.

ජෝන් ඔබි මයිකල් (නයිජීරියාව)

නායකයාය. මැද පෙළ ක්‍රීඩකයෙකි. 31 හැවිරිදිය. දෙවන ලෝක කුසලාන තරගාවලියයි. 2016 ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභියෙකි. ජාත්‍යන්තර තරග වරම 2006 දීය. තරග 82 කි. ගෝල් 06 කි.

ලුකා මොඩ්රිච් (ක්‍රොයේෂියාව)

32 හැවිරිදිය. නායකයාය. මැද පෙළ ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තර තරග වරම 2006 දීය. තරග 104 කි. ගෝල් 12 කි. ඔහුගේ තෙවන ලෝක කුසලාන තරගාවලියයි. සුප්‍රකට රියල් මැඩ්රිඩ් සාමාජිකයෙකි.

කේලර් නවාස් (කොස්ටරිකා)

රියල් මැඩ්රිඩ් ප්‍රධානතම දැල් රකින්නාය. 31 හැවිරිදිය. දෙවන ලෝක කුසලාන තරගාවලියයි. 2014 ලෝක කුසලානයේදී කොස්ටරිකා අර්ධ අවසන් වටය දක්වා සුදුසුකම් ලැබුවේ ඔහුගේ දස්කම් නිසාය. ජාත්‍යන්තර තරග වරම 2008 දීය. තරග 76 කි.

 

Comments