සංක්‍රමණික නීති කඩා අත්අඩංගුවට පත් වෙන අපේ මිනිස්සු | Page 3 | සිළුමිණ

සංක්‍රමණික නීති කඩා අත්අඩංගුවට පත් වෙන අපේ මිනිස්සු

“යුද්ධ කාලේදි අපි අපේ ජීවිත බේරාගන්න ඉන්දියාවට පැනලා ගියේ මීට අවුරුදු විසි හයකට ඉස්සර වෙලයි. එදා අපි ඉන්දියාවට පැනලා ගියෙත් ලංකා ආණ්ඩුවේ අවසරයක් එක්ක ගුවන් යානාවලින් හෝ නැව් වලින් නෙමෙයි. මේ වගේම ධීවර බෝට්ටුවලට ඩිංගි යාත්‍රාවලට කීයක් හරි දීලයි. ආණ්ඩුවෙන් අවසරයක් අරගෙන පාස්පෝට් හදලා එදා අපි ඉන්දියාවට යන්න හිටියා නම් ඒක දැන ගන්න එල්.ටී.ටී.ඊ.එක අපිට වෙඩි තියලා මරනවා''

ඉන්දියාවේ සිට පැමිණි යුද අනාථයන් පිරිසක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන කන්කසන්තුරේ පොලිසියට බාර දීමෙන් පසුව ඔවුන් පොලිසියට සිය ජීවිත කතාව කියා සිටියේ ඒ අන්දමටය.

නාවික හමුදාව මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ අනවසර සංක්‍රමණිකයන් පිරිසක් ලෙසිනි. ඉන්දියාවට ගොස් සිටියත් ඔවුහු උතුරේම ඉපදී උතුරේම ජීවත් වූ පිරිසකි.

නමුත් පවත්නා නීති රීති අනුව ඔවුහු වැරදිකරුවෝය. ඒ නිසා නාවික හමුදාවට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සිදුව ඇත.

අත්අඩංගුවට ගත් පිරිස හත් දෙනෙකි. ඔවුන්ගෙන් පස් දෙනෙක් නීති විරෝධී සංක්‍රමණිකයෝය. ඉතිරි දෙදෙනා එම නීති විරෝධී සංක්‍රමණිකයන් මේ රටට රැගෙන ආ බෝට්ටුකරුවෝ දෙදෙනෙකි.

නීති විරෝධී සංක්‍රමණිකයන් අතර වයස අවුරුදු හයක පමණ කුඩා දරුවෙක් ද වෙයි. ඔහු උපත ලබා ඇත්තේ ඉන්දියාවේදීය. පුරවැසි භාවය ඉන්දියාවේද? නැද්ද? යන්න තවමත් තහවුරු වී නොමැත. හේතුව ඔහුගේ මව හා පියා ශ්‍රී ලාංකිකයින් වීමත් ඔවුන් යුද අනාථයන් වීමත්ය.

පසුගිය සතියේදී එවැනි පිරිසක් නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වීමට පෙර අවස්ථා දෙකකදීම තවත් පිරිස් අත්අඩංගුවට පත් වූහ. එක් වරක එකොළොස් දෙනෙකු ද තවත් වරක නව දෙනෙකුද වශයෙන් ඔවුන් අත්අඩංගුවට පත්වූයේ මේ වසරේ ගත වූ මාස කීපය ඇතුළතදීය. ඒ සෑම අයෙකුම උතුරේ කොතැනක හෝ පදිංචිව සිට මහා යුද සමයේදී ජීවිතය බේරා ගැනීමට ඉන්දියාවට පලා ගිය දෙමළ වැසියෝ වෙති.

මුළු ලෝකයම ප්‍රකාශ කරන අන්දමට දැන් යුද්ධය හමාර වී තිබේ. උතුර හැරගිය ඕනෑම අයකුට යළි ඕනෑම අවස්ථාවක උතුරට පැමිණිය හැකිය. නමුත් යුද්ධය හමාර වී වසර නවයක් ගතව ඇතත් උතුර අතහැර ඉන්දියාවට ගිය පිරිස ආපසු උතුරට පැමිණීමට දක්වන්නේ ඉතා අඩු කැමැත්තකි.

උතුරු පළාත අතහැර ඉන්දියාවට ගිය පිරිස දෙලක්ෂ අසූ දහසක් බව පවසන්නේ ඉන්දියාවේ සංඛ්‍යා ලේඛනයි. එසේ පලාගිය දෙමළ සරණාගතයන්ගෙන් වැඩිම පිරිසක් තමිල්නාඩුවේ සිටින අතර ඒ සංඛ්‍යාව එක්ලක්ෂ විසිතුන් දහසකි. ඉන්දියාවේ කර්ණාටකයේ තිස්පන්දහසක් පමණද, කේරළයේ හත්දහසක් පමණද, පාණ්ඩි පළාතේ පන්දහසක් පමණද තවත් විවිධ පළාත්වල තුන් දහසක් පමණද සිටිති.

මේ සංඛ්‍යා ලේඛන ඉන්දීය රජය විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එරට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යායංශයෙන් කළ සමීක්ෂණයේදී හෙළි වූ තොරතුරුය.

ඔවුන්ගෙන් මේ වන විට ආපසු පැමිණ සිටින සංඛ්‍යාව හැටපන් දහසක් පමණ වෙයි.

යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් සදහන් කොට ඇත්තේ මේ වසරේදී ඉන්දියාවේ සිට උතුරට පැමිණීම සදහා කැමැත්ත පළ කොට ඇති දෙමළ සරණාගතයන් සංඛ්‍යාව 1124ක් පමණක් බවයි. ඒ පිරිසද රජයේ ප්‍රවාහන ක්‍රමවේදයෙන් තොර වූ ප්‍රවාහන පහසුකමක් සපයන්නේ නම් පමණක් උතුරට පැමිණෙන බව පවසා තිබේ. මෙහිදී පැන නගින ප්‍රධාන ප්‍රශ්න දෙකක් වෙයි.

ඉන් එකක් වන්නේ ඔවුන් මේ උතුරට පැමිණීමට මෙතරම් අකැමැත්තක් දක්වන්නේ මන්දැයි යන කාරණයයි.

දෙවැන්න වන්නේ රජයේ ප්‍රවාහන පද්ධතියක් භාවිත කිරීමට ඔවුන් මේ තරමට අකැමැති මන්දැයි යන ප්‍රශ්නයයි. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කුඩා දරුවන්ද රැගෙන ඩිංගි යාත්‍රාවකින් ඉන්දියාවේ සිට උතුරට පැමිණීමටද ඉන්දීය රුපියල් ලක්ෂ එකහමාරක් පමණ ඔවුන් ගෙවා තිබේ.

මෙතරම් විශාල මුදලක් ගෙවාගෙන ජීවිතයට දැඩි අවදානමක් රැගෙන මේ අන්දමට ඔවුන් ඉන්දියාවේ සිට පැමිණෙන්නේ ඇයි?

මේ ප්‍රශ්න දෙකටම ඔවුන්ගේ පැත්තෙන් ඉන්දීය සරණාගතයෝ පිළිතුරු දෙති.

අත්අඩංගුවට පත්ව සිටින්නන් උතුරේ පොලීසි වලට ලබා දී ඇති කට උත්තරවලට අනුව ඔවුන් ඉන්දීය සරණාගත කඳවුරුවලින් මිදී ආපසු උතුරට ඒමට දැඩි අකැමැත්තක් දැක්වීමට හේතු ගණනාවකි.

''ඉන්දියාවේ අනාථ කඳවුරුවල ඉන්න අයට හොද පහසුකම් ලබා දීලා නැහැ. මුල් කාලෙදි කෑම බීම ගොඩාක් දුන්නා. දැන් කාලය වැඩි නිසා එව්වා ගොඩාක් සීමා කරලා තියෙන්නේ. අනාථ කඳවුරු කිවුවම ඒ මට්ටමට ගැළපෙන විදිහට තමයි එව්වාගේ පහසුකම් සලසලා තියෙන්නේ.

අපේ අය දැන් එහාට ගිහින් අවුරුදු විසි පහකට වැඩියි. මෙහෙ ඉඳලා යනකොට ගොඩාක් අයට අවුරුදු පහේ හයේ ළමයි හිටියා. ඒ වගේම තමයි එහෙදි හම්බ වුණු ළමයිනුත් ඉන්නවා. මේ සේරම අය ඉගෙන ගත්තේ ඉන්දියාවේ ඉස්කෝලවලයි.

වයසත් එක්ක ළමයින්ට අනාථ කඳවුරු වලට ඈතින් තියන ඉස්කෝලවල ඉගෙන ගන්න ලැබුණා. ගොඩාක් දෙමළ සංවිධාන උතුරේ ළමයි අනාථයෝ කියලා ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දුන්නා. මේ ඉගෙන ගත්ත අයගෙන් ගොඩාක් දෙනෙක්ට ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල උපාධි තියනවා. තවත් අයට ඩිප්ලෝමා තියනවා. විශ්ව විද්‍යාල නොවෙන තැන් වලින් ගත්ත ඩිප්ලෝමාත් තියන අය ඉන්නවා. ඉතින් මේ අය ඒ සුදුසුකම් වලට ගැළපෙන රස්සා ඉන්දියාවෙන් හොයාගෙන ඉන්නේ. ආපහු ඒ අය උතුරට එනවා කියන්නේ දැන් කරනවා වගේ රස්සාවක් කරන්න ලැබෙන්නේ නෑනේ.

අනික තමයි උතුරේ හිටිය ගොඩාක් දෙනෙක්ට ඒ අයටම කියලා ඉඩම් තිබුණේ නෑ. ගෙවල් කියලා තිබුණේ පැල්පත් තමයි. එව්වයි ඉන්දියාවේ අනාථ කදවුරුයි බැලුවම අනාථ කවුරු හොඳයි.

ඊළග ප්‍රශ්නය තමයි මෙහෙන් ගිය වැඩිහිටි අය ඉන්දියාවේ එක එක රස්සා හොයා ගත්තා. ඒ රස්සා උතුරේ නෑ. ඒ අය උතුරට ආවොත් කරන්න වෙන්නේ එක්කෝ ගොවිතැන් කරන එක. නැත්නම් මාළු අල්ලන රස්සාව. ඒ රස්සා කරන්නත් ඒ අයට කියලා තැනක් නෑනේ. මේ නිසා ඒ අය එන්නෙත් නෑ.

ලංකාවේ ආණ්ඩුව ඉන්දියාවේ ඉන්න සරණාගතයන්ට ආපහු එන්න කියලා කරපු දැනුම් දීමේ කොළ අපේ අයට එහෙදි බෙදුවා. ඉන්දියාවේ අනාථ කඳවුරුවල ඉන්න ලංකාවට එන්න අකැමැති සේරම දෙනා එකතු වෙලා පෙත්සමක් අත්සන් කළා. ඒකෙන් ඉල්ලා හිටියේ ඒ අයට ඉන්දියාවේ තමිල්නාඩුවේ පුරවැසිභාවය දෙන්න කියලයි. ඒවට ඉදිරිපත් කරන්න පුළුවන් සාධාරණ හේතු ඉදිරිපත් කළා.

ඊට පස්සේ දවසක තමිල්නාඩුවේ නියෝජ්‍ය මහ ඇමතිවරයා ඇවිත් මේ ගැන කතා කළා. මාස හතරකට පස්සේ කිවුවේ ලංකාවේ අයගේ ඉල්ලීම ඉන්දියාවේ මධ්‍යම රජයට ඉදිරිපත් කළා තවම උත්තරයක් නෑ කියලයි. මේක හරියයි කියලා ගොඩාක් දෙනෙක්ට විශ්වාසයක් තියනවා.

මේ වැසියන් පොලිසියට පවසා ඇත්තේ තමන්ට හිතුණු දේ නොව ඔවුන් කාලයක් තිස්සේම ඉන්දියාවේ සිට කරගෙන එන ලද දේවල්ය.

මීළඟට ඔවුන් අතුරින් ලංකාවට ඒමට කැමැත්තක් දක්වන සරණාගතයන් පිරිස වෙනුවෙන් ඉන්දීය රජයද ශ්‍රී ලංකා රජයද අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයද (UNHCR) එක්ව සැලසුම් කොට ඇති පහසුකම් ඔස්සේ ඔවුන් උතුරට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමට බලපාන හේතූන්ද උතුරේ පොලිසි වලට පවසා ඇත.

එහිදී මේ පිරිස ඉන්දියාවේ වසර විස්සකට වඩා ජීවත් වූ පිරිසක් ලෙස රජයන් දෙකත් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයත් කටයුතු නොකිරීම නිසා තමන්ට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් උතුරට පැමිණීමට විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට සිදුව ඇති බව කියා සිටියි.

''උතුරේ හිටපු අය ඉන්දියාවෙදි බොහෝ දේ කළා. අවුරුදු විස්සකට වඩා වැඩි කාලයක් ජීවත් වෙනකොට එහෙන් තෑගි ලැබුණු බඩු තියනවා. දෑවැදිවලට ලැබුණු භාණ්ඩ තිබෙනවා.මේ විදිහට අවුරුදු ගානක් එකතු වුණු බඩු මේ අයට තියනවා.

ආණ්ඩු දෙකම කියන්නේ ආපහු උතුරට යනකොට තියන සේරම බඩු අරන් යන්න බෑ කියලයි.

ගුවන් මගින් යනවනම් එක්කෙනෙකුට කිලෝ ග්‍රෑම් 50 ක බරක් විතරයි අරන් යන්න පුළුවන් කියලා කියන්නේ. නැව් සේවයක් තුබුණා නම් එක්කෙනෙකුට කිලෝ ගෑම් සීයක් ගෙනියන්න පුළුවන් කියලා කියනවා.

අවුරුදු විස්සක් තිස්සේ එකතු කරගත්තු බඩු ගේන්න ඕනේ කියලා අපි පොර කන්නේ එදිනෙදා කීයක් හරි හම්බ කරගන්න මේ බඩු ඕනේ වෙන නිසයි. ඉන්දියාවේදී වෑල්ඩින් වැඩ කරගෙන ගිය කෙනා උතුරට ඇවිල්ලත් කරන්න ඕනේ ඒ වැඩේම තමයි. ඉතින් ඒ බඩු මුට්ටු වල බර කිලෝ දාහකට දෙදාහකට වඩා වැඩියි. නැවකට දැම්මම ගෙවන්න වෙන ගාස්තු දිහා බලනකොට අලුතින් ඒ උපකරණ ගන්න පුළුවන්.

ඉතිං එහෙම ගන්න සල්ලි නැති හන්දා තමයි ඒ බඩු ටික කොහොම හරි හොර ක්‍රමේකට හරි මිනිස්සු උතුරට ගේන්න බලන්නේ.

මේකට යම් විදිහක් හදලා දෙන්න කිව්වට කවුරුවත් ඒක කරන්නේ නෑ. එයාලා අපේ අයට නීතියේ තිෙයන විදිහ කියලා දෙනවා. ඒ නීති තියෙන්නේ අනාථ වැසියන්ට හදපු නීති නෙමෙයි. ලංකාවේ ඉදලා ඉන්දියාවේ වෙෙළඳාමට යන මිනිස්සුන්ට හදපු නීතිම තමයි අපිටත් කියන්නේ. මේක විශාල අසාධාරණයක්.

ලංකාවේ ඉදලා ඉන්දියාවට ආපු හැම ඇමති කෙනෙක්ටම කිව්වා මේ මිනිස්සුන්ගේ සේරම බඩු මුට්ටු අරගෙන ආපහු උතුරට යන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න කියලා. අපි යෝජනා කළා මේකට වෙනම ලොකු නැවක් යොදවලා දවසකට එක සැරේ ගානේ හරි උතුරට යන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා. ඒක වුණේ නෑ.

ඉන්දියාවේ ඉන්න අය ගුවනින් යනවා නම් ඒ සේරම වියදම් UNHCR එකෙන් දෙන්නම් කියලා කියනවා. ඒත් කිලෝ 50ක බඩු අරන් ගියාම මුළු පවුලේ අයටම අරන් යන්න පුළුවන් වෙන්නේ කිලෝ 300ක විතර බඩු ටිකක් විතරයි. ඇදුම් මලු ටිකයි. ළමයින්ගේ පොත්පත් ටිකයි, අනෙක් උපකරණ ටිකයි දා ගත්තම කිලෝ 300 හරි.

අත්හැරලා දාන ගෘහ භාණ්ඩ ටිකවත් මෙහෙදි ගන්න වත්කම් ති‍ෙයනවා නම් මේ අයට අනාථයෝ කියලා කියන්න ඕනේ නෑනේ.

මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුමක් විදිහට තමයි අපේ අය ඉන්දියාවේ මාළු අල්ලන අයට කියලා ගමන් ලෑස්ති කර ගන්නේ. ඒ අය එක සැරේකට බඩු ගෙනියනවා. ඊට පස්සේ තවත් බඩුත් එක්ක කීප දෙනෙක් එක්කගෙන යනවා. ඒ සේරම කරලා දෙන්න තමයි එයාලා එකවර ගානක් කියන්නේ. ඉතිං අපිව නාවික හමුදාව අල්ල ගත්තා. දැන් පොලීසිය නඩු දානවා. මේ නඩු වලට වියදම් කරන්න වෙනවා. එව්වට සල්ලි නැති හන්දා අපිව හිරේ දායි.

මේ ආරංචිය ඉන්දියාවේ ඉන්න අයට දැනගන්න ලැබුණම ආ‍ෙය කවදාවත් ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන්නේ නෑ. මේ සේරටම වඩා හොඳයි අපිට ඉන්දියාවේ තමිල් නාඩුවේ පුරවැසිභාවය ලැබුණ නම් කියලා අපේ අය එදා ඉඳලම කියන්නේ මේ කරදර නිසා තමයි.

ඉන්දියාවේ සිට පැමිණෙමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට පත් වී පසුව කනක්සන්තුරේ පොලීසියට බාරදුන් පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ආගමන විගමන නීති රීති උල්ලංඝනය කිරීම, අනවසර සංක්‍රමණිකයන් වීම, බලහත්කාරයෙන් රටකට ඇතුළු වීමට උත්සාහ දැරීම යන චෝදනා පමණක් නොව එක වැසියෙකුගේ ගමන් මල්ලේ තිබූ ඔහුගේ පාවිච්චියට රැගෙන එන ලද බීඩි ප්‍රමාණයකටද එරෙහිව නඩු පවරා තිබේ.

නඩු විභාගයක් පැවැත්වෙන තුරු ලංකාවේ නීතියට අනුව මේ පිරිස දින දාහතරක කාලයකට බන්ධනාගාරගත කොට තිබේ. නීතියේ ස්වරූපය එයය. එහෙත් මේ මිනිසුන් ඒ තත්ත්වයට පත් නොකරන විසැඳුමක් රටක් විදිහට ගත යුතු මොහොත එළඹ ඇත. මේ ගැටලුවට අවශ්‍ය මානුෂික පිළිතුර ලැබෙන තුරු මේ මිනිස්සු බලාපොරොත්තු සහගතව බලා සිටිති.

චමිල ශ්‍රී චතුරංග

Comments