පාපන්දු රසිකයන්ගේ මනදොළ පිනවන බෝනිකි සුරූපිනියෝ | සිළුමිණ

පාපන්දු රසිකයන්ගේ මනදොළ පිනවන බෝනිකි සුරූපිනියෝ

විසි එක්වැනි ලෝක කුසලාන පා පන්දු තරගාවලිය සඳහා රුසියාව මේ දිනවල ලහිලහියේ සැරසෙමින් සිටී. මෙතෙක් ලෝකයට සම්පූර්ණයෙන් විවෘත නොවූ රටක් ලෙස පැවැති රුසියාව ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට බවට පත්වීමත් සමග ලොවට විවෘත වීම ඇතැමුන්ට පුදුමයක් වී තිබේ. මන්ද යත් ලෝකයේ නන් දෙසින් ප්‍රේක්ෂකයන් දශ ලක්ෂ ගණනක් ඇදී එතැයි අපේක්ෂිත මේ තරගාවලියේ දී ඒ එන ප්‍රේක්ෂකයන්ගේ සුව පහසුව සඳහා අපූරැ සත්කාරයන් සපයමින් මුදල් උපයා ගැනීමට රුසියානු ව්‍යාපාරිකයන් පෙළ ගැසීමය.

නරඹන්නන්ට දිය හැකි උපරිම රසාස්වාදය හා විනෝදාස්වාදය ලබා දීම සදහා රුසියා අගනුවර මොස්කව්හි ව්‍යාපාරික නගර සීමාවේ බෝනිකි හෝටලයක් විවෘත කෙරුණේ ඒ අරමුණෙනි. රුසියානු ජනාධිපති පූටින්ගේ ද අනුමැතියෙන් ආරම්භ වී ඇති එම බෝනිකි හෝටලයේ නිර්මාතෘවරුන් වැඩිපුරම ඇස ගසාගෙන සිටින්නේ විදෙස් ගනුදෙනුකරුවන් කෙරෙහිය. ඒ අනුව, හෝටල් අයිතිකරුවෝ විදෙස් ගනුදෙනුකරුවන් හෝටලයට ගෙන්වා ගැනීම සඳහා පූර්ණ නීතිමය අවසරද ලබා සිටිති.

බෝනිකි හෝටලය ලෙස ඔවුන් හඳුන්වන මේ හෝටලයට පැමිණෙන්නන් සඳහා පූර්ණ සුඛාස්වාදය ලබා දීමට රොබෝ යුවතියෝ පස් දෙනෙක් පෙළ ගැසී සිටිති. ලොලිටා, සාෂා, නටාෂා, ඇලිස් සහ ඉසිලෙල් ලෙසින් නම් කර ඇති මේ රොබෝ යුවතියන් එකිනෙකාට වෙනස් ආකාරයේ ආස්වාදයන්ගෙන් ගනුදෙනුකරුවන් සන්තර්පණය කරනු ඇත. ගනුදෙනුකරු කැමැත්තක් දක්වන්නේ ඉඟ සිහින් ළැම හා උකුළ පුළුල් යුවතියකට නම් ඔහු වෙත සැපයෙන්නේ ලොලිටාය. ලොලිටා ස්වාධීනය. තනි තීරණ ගන්නීය. සැහැල්ලුය. ඇය ඕනෑම දෙයකට ඔට්ටු යුවතියකි.

සාෂා තනිකරම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ලකලැහැස්තිවූ රොබෝ යුවතියකි. ඇය සියල්ල පාලනය කරන්නීය. නටාෂා ඔවුන් දෙදෙනාටම වෙනස්ය. ඇය වඩාත් නාරි ලාලිත්‍යයෙන් යුතුය. සියුමැලිය. ලජ්ජාශීලිය. අවනතය. නිතරම සිනාවකින් මුව සරසා ගෙන සිටින්නීය.

විවිධාකාර අත්හදා බැලීම්වල නිරතවන්නට කැමැති ගනුදෙනුකරුවන් තෝරා ගත යුත්තේ ඇලිස්වය. ඇය ආදරයෙන් සියලු දේට එකඟ වන්නීය. ඉසිලෙල් ශරීර ප්‍රමාණයෙන් කුඩාය. ඉඟටිය අනෙක් සිවු දෙනාටම වඩා සිහින්ය. හුරුබුහුටිය. නිර්මාපකයන් ඇය හඳුන්වන්නේ “සෑම මිනිසකුගේම ඇස පිනවීමට කැමති කිසිවකුටත් හානියක් නොමැති මලක්”ලෙසිනි.

රොබෝ යුවතියන් වුවද ඔවුන්ට කතා කිරීමට හැකිය. ඒ සඳහා ප්‍රශ්න විස්සකට පිළිතුරු අඩංගු දත්ත ඔවුන්ට ඇතුළත් කර ඇත. එසේ පිළිතුරු දීමට ඔවුන්ට කෘත්‍රිම මොළයක් සවි කර ඇත. කවුරුන් හෝ ඔවුන්ට “මං ආදරෙයි” කිවහොත් “මාත් ඔයාට ආදරෙයි ”කීමට ඔවුහූ දනිති. එපමණක් නොවේ කවුරුන් හෝ බෝනික්කිය වැළැඳගතහොත් බෝනික්කිය ද ඔහු වැළැඳගන්නීය. එසේ සියලු ආලවන්තකම්වලට ප්‍රතිචාර දැක්වීමට ඇය සමත්ය. මෙලෙස සියලු ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දක්වන මේ යුවතියන්ගේ ගත සැබෑ මිනිසුන්ගේ මෙන්ම උණුසුම්ය. එම සියලු අඟපසඟ යාන්ත්‍රිකව මෙහෙයවෙන ආකාරයෙන් සකසා ඇත. එනිසා තම කැමැත්ත අනුව යුවතියක් තෝරා ගැනීමට ගනුදෙනුකරුවට අවකාශ සැලසේ.

බෝනිකි හෝටලය විවෘත වූ දා සිටම රොබෝ යුවතියන්ගේ ඇසුර පතා එතැනට ගනුදෙනුකරුවෝ ඇදී එති. ඉන් බොහොමයක් රුසියානුවෝය. මේ බෝනිකි හෝටලය විවෘත වුයේ ලොව පුරා ඉංජිනේරුවන් ලොව පළමු සැබෑ ලිංගික රොබෝවරිය නිපදවීමට උත්සාහ දරමින් සිටින අතරතුරේය. රුසියාවේ ආචාර්ය සර්ගේයි සන්ටොස් ඉන් අයෙකි. ලිංගික කර්තව්‍යයන් සඳහා රොබෝවරියන් නිපදවන තෙක් බලා සිටියාක් මෙන් දැන් මේ බෝනිකි හෝටලයට ගනුදෙනුකරුවෝ පොදිකමින් සිටිති.

“මේ අය මෙතරම්ම ස්වභාවිකයි කියා මං හිතුවේ නැහැ”යනුවෙන් හෝටලයට පැමිණි රුසියානු ජාතික ඩෙනිස් පවසා තිබිණි.

මැක්සිම් ද බෝනිකි හෝටලයේ සත්කාර විඳ සතුටු සිතින් මාධ්‍යයට අදහස් දැක්වීය.

“මින් පස්සේ කාටවත් අප අවිශ්වාස කරන්න බැහැ. අප අන් ගැහැනුන් හා වරදේ බැඳිලායැයි කියමින් චෝදනා කරන්න බැහැ. දැන් අපට අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් තැනක් තියෙනවා.”

එසේ වුවද බෝනිකි හෝටලයේ අයිතිකරුවන්ට අවශ්‍ය වන්නේ සිය හෝටලයට විදෙස් ගනුදෙනුකරුවන් හැකි තරම් ඇද ගැනීමටය. කුමන හේතුවකටදැයි නොදනිතත් බ්‍රිතාන්‍ය ගනුදෙනුකරුවන් කෙරෙහි ඔවුහූ විශේෂ අවධානයක් දක්වති. එපමණක් නොව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීමට පැමිණෙන විදෙස් ක්‍රීඩකයන් දෙසද ඔවුහූ ඇස ගසාගෙන සිටිති. විදේශිකයන් සඳහා ඔවුන් කල්තබාම රජයෙන් විශේෂ අවසරයක් ලබා ගත්තේ එහෙයිනි.

“ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පුහුණුකරුවන්ගෙන් හා කළමනාකරුවන්ගෙන් අවසර ලබාගෙන මෙතැනට පැමිණිය හැකියි.”හෝටලයේ අයිතිකරුවෝ පවසති. එපමණක් නොව මේ සෑම බෝනික්කියක්ම පරිහරණයෙන් පසු ජාත්‍යන්තර ප්‍රමිතියේ විශේෂිත සේදුම් මිශ්‍රණයක් යොදා විෂබීජහරණයට ලක් කෙරේ. ඉන්පසු බෝනික්කියන් යළි පරිහරණයට සුදුසු බවට ඔවුහූ සහතික කරති.

ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශපතක මිල ඇමෙරිකානු ඩොලර් 105කි. අවසන් තරග සඳහා එම මිල ඩොලර් 1100 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. බෝනිකි හෝටලයේ කාමරයක් ඇමෙරිකානු ඩොලර් 23.83ක් හා 39.60 අතර මිලකි. රොබෝ බෝනික්කියකට ගෙවූ පසු මිල ඩොලර් 80කට වඩා වැඩිවේ.

බෝනිකි හෝටලය ජපන් ජාතිකයන් අතරද ඉතා ජනප්‍රිය වී තිබේ. ඒ අතරින් වැඩි දෙනෙක් වයෝවෘද්ධයෝය. ඔවුහූ බෝනික්කියන්ට ජීවමාන කාන්තාවන්ට මෙන් සලකමින් ඔවුන් නාවමින් රෝද පුටුවල තබාගෙන ඇවිද්දවමින් සතුටු වෙති.

දිමිත්‍රි ඇලෙක්සැන්ඩ්‍රොව් හෝටලයේ නිර්මාතෘවරයාය. රුසියානුවන්ගෙන් සියයට 36ක්ම සිය ලිංගික ජීවිතය ගැන සතුටක් නැති බව ඔහු පවසයි.

“කාන්තාවන් දරුණු ලෙස අපයෝජනයට ලක් කිරීම අප රටේ පැරැණි හා දරුණුතම ප්‍රශ්නයක්. වැඩිහිටියන් සඳහා මෙවැනි මහා පරිමාණ විනෝද ආයතන සැකසීමෙන් එම ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා. ඒ වගේම මානසික අසහනවලින් පෙළෙන පිරිමින්ටත් ලොකු සහනයක්. ” දිමිත්‍රි එසේ පවසන්නේ තමන්ගේ නිර්මාණයේ ඵලදායිත්වය අගය කරමිනි.

සිය රසිකයන් පිනවීමට රුසියාව මෙසේ සෑදී පැහැදී සිටියදී බටහිරින් ඇදී එන ප්‍රේක්ෂකයනට ඇතැම්හූ “ඔබ මෙලෙස සුරලොව සැප විඳින්නේ රුසියානු ඔත්තුකාරියන් සමඟින් විය හැකියි ” යනුවෙන් අනතුරු අඟවති. මෙලෙස පැණි හැළිවලට වැටුණු ඇඹලයන් පසුව මුහුණු පොත් මගින් ලෝකයාට හෙළිදරව් කරන බව පවසමින් ‘බ්ලැක් මේල්‘කිරීමට ඉඩ ඇති බවද පැවසේ. රුසියානු රහස් ඔත්තු සේවයේ (KGB) පෙර කල්ක්‍රියා සිහිපත් කරමින් මේ සියලු අනතුරු ඇඟවීම් සිදු කරන්නේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර මධ්‍යස්ථාන කර ගත් ‘Bravo Solutions’ නමැති සංචාරක වෙබ් අඩවියකි.

රුසියාවේ ගණිකා වෘත්තිය තහනම් වුවද විවිධ මුහුණුවරින් මේ වෘත්තියේ යෙදෙන්නෝ මිලියනයක් පමණ වෙති. එය එරට වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවට වඩා වැඩිය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඔවුහු ද හොඳින් අතමිට සරුකර ගැනීමට මාන බලමින් සිටිති. එසේම මේ ආකාරයේ බෝනිකි හෝටලයක් ලෝක කුසලාන තරගාවලියක ප්‍රේක්ෂකයන් සඳහා විවෘත කළ ලොව පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

(ඩේලි ස්ටාර් ඇසුරෙනි)

සේමාලි කැල්ලපත

Comments