
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය 2018 දී රුසියාවටත් 2022 දී කටාරයටත් ලැබීමත් හේතුවෙන් පාපන්දු ක්‍රීඩාව සහ ඉන් ඒකාධිපති පාලකයන් ලබා ගන්නා වාසි පිළිබඳව යම් කතාබහක් මීට කලකට පෙර ඇති විය.
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පවත්වන රටක් වුවද එම මැතිවරණවල ස්වාධීනත්වය සහ පොදුවේ විපක්ෂ ක්‍රියාධරයන් කෙරේ දක්වන ප්‍රතිපත්ති හේතුවෙන් රුසියාව ඒකාධිපති පාලනයක් පවතින රටක් ලෙස සැලකීමට බටහිර රටවල් පෙලඹී තිබේ. කටාරය නම් අවිවාදයෙන් ම රාජාණ්ඩුවක් පවතින රාජ්‍යයකි. මෙම රටවල් දෙක ම පාපන්දු ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දැරීමෙන් ප්‍රචාරණ වාසි ලබා ගැනීමට බලාපොරොත්තු වනු ඇත.
කෙසේ නමුත්, ඇතැමුන් සැක පළ කරන පරිදි ඇතැම් ඒකාධිපතීන් අතීතයේදී පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ඔස්සේ ලබාගත්තේ ප්‍රචාරණ වාසි පමණක් නොවේ. පාපන්දු ලෝක කුසලානය ද තමන් සතු කරගැනීමට ඔවුන් සමත් වූ අවස්ථා පිළිබඳ චෝදනා එල්ල වෙයි. නමුත් ඒ පිළිබඳ සැලකීමට පෙර, පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේ එක්තරා සුවිශේෂ අවස්ථාවක් පිළිබඳ මතකයට නැගිය යුතු ය.
ඒ 1974 වසරයි. බටහිර ජර්මනියේදී පවත්වන ලද පාපන්දු ලෝක කුසලානයේ තවත් තරගයක් ගෙල්සන්කර්චන් නගරයේ පාර්ක්ස්ටේඩියන්හි ක්‍රියාත්මක වෙමින් තිබිණ. තරග වැදුණේ එවක ලෝක ශූර බ්‍රසීලය සහ සයරේ රාජ්‍යය ය.
තරගයේ තවත් මිනිත්තු දහයක් තිබියදී බ්‍රසීලයට නිදහස් පහරක් ලැබිණි. ඒ වනවිට 2-0 ක් ලෙස තරගයේ ඉදිරියෙන් පසු වූයේ ද බ්‍රසීලය යි. රිවෙලිනෝ සහ ජායිර්සිනීයෝ එම පහර එල්ල කිරීමට සූදානම් වෙද්දී ප්‍රතිවාදී පිලේ ම්වේපු ඉලුන් ගා ක්‍රීඩක පවුරෙන් පිටතට දුව විත් පන්දුව පිටියෙන් ඉවත යන සේ පහර දුන්නේ ය. ආධුනිකයකු හෝ නොකරන මෙම ක්‍රියාව හේතුවෙන් ඔහුට කහ කාඩ්පතක් ලැබිණ
සයරේ ක්‍රීඩකයින් (වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය) ආපසු සිය රට බලා ගියේ විහිළුවක් බවට පත් වීමෙන් පසු ය. ඇත්තෙන්ම ඇතැමුන් විසින් ඔවුන් හඳුන්වා දුන්නේ පාපන්දු ලොව කවටයින් වශයෙනි. නමුත් ඔවුනගේ කතාව කිසි ලෙසකින් හෝ විහිළුවක් නොවී ය. ඔවුනට එසේ නම් ලැබීමට හේතු වූයේ සිය ජීවිතාරක්ෂාව උදෙසා අනුගමනය කරන ලද ක්‍රීඩා විලාශය බව හෙළි වූයේ කලක් ගතවූ පසු ය. අද, තතු දත් කිසිවකු ඔවුනට විහිළුකාරයින් ලෙස නම් පටබඳින්නේ නැත. ඒ වෙනුවට ඒකාධිපතිත්වයේ අඳුරු සෙවණැලි පිළිබඳ මනා වූ සාක්ෂියක් ලෙස අද ඔවුන්ව සිහිපත් කරනු ලබති.
1974 පාපන්දු ලෝක කුසලානයේ "විහිළුකාරයින්" බවට පත් වූ සයරේ ක්‍රීඩකයන් සත්‍ය වශයෙන් ම ඒකාධිපතියකුගේ වියරුවෙන් ගැලවීමට උත්සාහ කළ අය වූහ.
එවක සයරේහි පාලකයා වූ මොබුටු සෙසේ සේකෝ රාජ්‍ය මුදල පෞද්ගලික පරිභෝජනය සඳහා ගසාකෑම පිළිබඳ කෙළ පැමිණියෙකි. එමෙන් ම සිය ප්‍රතිවාදීන් ඝාතනයට වුව පෙලඹෙන අයෙකි.
1965 දී බලය අල්ලාගත් පසුව ඔහු පාපන්දු වෙත අවධානය යොමු කළේ සිය කීර්තිය වඩවා ගැනීමේ අරමුණද සහිතව ය. ක්‍රීඩා කිරීම සඳහා බෙල්ජියමට ගොස් සිටි ක්‍රීඩකයන් ද යළි ගෙන්වා ගත් සෙසේ සේකෝ විශාල මුදලක් පාපන්දු වෙත යට කළේ ය.
යුගෝස්ලාව් ජාතික බ්ලගෝයේ විඩිනිච්ගේ මග පෙන්වීම යටතේ 1974 අප්‍රිකානු කුසලානය ජයගත් සයරේ පිලට ලෝක කුසලානයේදී විශාල පෙරළියක් කළ හැකි වේ යයි සෙසේ සේකෝ සිතීය. නමුත් මෙය ප්‍රායෝගිකව එතරම් යථාර්ථවාදී බලාපොරොත්තුවක් නොවී ය.
නවක කණ්ඩායමක් වශයෙන් ඔවුන්ට තරග කිරීමට සිදුව තිබුණේ අභියෝගාත්මක කාණ්ඩයක ය. එහි ලෝක ශූර බ්‍රසීලය, යුරෝපයේ ප්‍රබලම පාපන්දු කණ්ඩායමක් වූ යුගෝස්ලාවියාව සහ එකල ප්‍රබල පිළක් වූ ස්කොට්ලන්තය වූහ.
පසුගිය තරගාවලිවලදී දැක්වූ දස්කම් හේතුවෙන් ප්‍රසාදයට පත් මොබුටු සෙසේ සේකෝ, සයරේ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිවෙසක් සහ ෆොක්ස්වැගන් කාරයක් බැගින් තිළිණ කළ අතර ලෝක කුසලානයේදී ද දක්වන දස්කම් අනුව ප්‍රසාද දීමනා ලබා දෙන බවට පොරොන්දූ වී තිබිණි. නමුත් පාපන්දු ක්‍රීඩාව පිළිබඳ දැනුමක් තිබූ අය දස්කම් යන්නෙන් අදහස් කරන දෙය කෙසේ වෙතත් මොබුටු බලාපොරොත්තු වූයේ ජයග්‍රහණයන් ය.
සයරේ කණ්ඩායම ස්කොට්ලන්තය සමඟ වූ තරගය 2-0 ක් ලෙස පරාජය විය. මෙය කිසිසේත් ම අසාර්ථක උත්සාහයක් නොවී ය. එහෙත් සයරේ රජය ඊට එකඟ වූයේ නැත. මේ අතර ක්‍රීඩකයන්ට හිමි විය යුතු මුදල් නොලැබී ගියේ ය. ඉන්පසු ක්‍රීඩකයන් හා පරිපාලනය අතර ගැටුම් ඇති විය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ යුගෝස්ලාවියාව සමඟ තරඟය වන විට සයරේ දැඩි ලෙස මානසිකව වැටී සිටීම ය. එහි ප්‍රතිඵලය සක්සුදක් සේ පැහැදිලි වූයේ යුගෝස්ලාවියාව හමුවේ සයරේ පිළ ගෝල 9-0 ක් ලෙස දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟ ය.
මේ අවස්ථාවේ මොබුටු සෙසේ සේකෝ සිය ක්‍රීඩකයන්ට තර්ජනය කරවීය. බ්‍රසීලය සමඟ තරඟය ගෝල 4 ක හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් පරාජය වුවහොත් සයරේ වෙත පැමිණීම තහනම් කෙරෙන බව ඔහු දන්වා එවූ බව සඳහන් ය. ඇතැම් වාර්තා අනුව මොබුටු සෙසේ සේකෝ සිය ක්‍රීඩකයන්ට ජීවිත තර්ජන කළ බව කියනු ලැබේ.
තරගයේ විනාඩි 10 ක් තිබියදී ඉලුන්ගා විසින් කරන ලද ක්‍රියාව හේතුවෙන් කාලය මදක් අහිමි වන්නට ඇත. බ්‍රසීලය තවත් ගෝලයක් ලබා ගත්තේ ය. නමුත් තරඟය 3-0 ක් ලෙස නිම කරගැනීමට සයරේ ක්‍රීඩකයන්ට හැකි විය.
පාපන්දු පිළිබඳ කලකිරුණු සෙසේ සේකෝ ඒ සඳහා මුදල් යෙදවීම නතර කර දැමී ය. 1974 ලෝක කුසලානයේ සයරේ පිොල නියෝජනය කළ ක්‍රීඩකයෝ සියල‍්ලෝම පාහේ දුක්ඛිත ජීවිත ගත කළහ.
සදාම්ගේ ඉරාකය
ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වන බැවින් පාපන්දු ක්‍රීඩාව පිළිබඳ දක්වන කුසලතාව බොහෝ රටවල පාපන්දු ලෝලීන් දකින්නේ අභිමානයක් ලෙස ය. විශේෂයෙන්ම හැකි සෑම අයුරකින්ම සිය ශ්‍රේෂ්ඨත්වය විදහා දැක්වීමට යත්න දරන ඒකාධිපති පාලකයන් පිළිබඳව ගත් කල්හි මෙය සාමාන්‍යයෙන් සත්‍යයකි. අවාසනාවකට මෙන් සයරේ රාජ්‍යයේදී සිදු වූ අයුරින් මෙහි විපාක භුක්ති විඳිනුයේ එම පාලකයන්ගේ රටේ ම ක්‍රීඩකයෝය.
මොබුටු සෙසේ සේකෝ සිය ක්‍රීඩකයන්ට ජීවිත තර්ජන සිදු කර පසුව ඔවුන් පිළිබඳ නොසලකා හැරීමෙන් පමණක් නැවතුණ ද, ඉරාකයේ සදාම් හුසේන් පාලනය සිය තර්ජන ඊට එහා මට්ටමකට ගෙන ගියේ ය. සදාම්ගේ පාලන සමයෙහි එක් කලෙක, ඔහුගේ පරපීඩක කාමුකත්වයෙන් පෙළුණ බව සිතිය හැකි වැඩිමහලු පුත්‍ර උදේයි හුසේන්, ඉරාක පාපන්දු සම්මේලන සභාපති විය. එ සමයෙහි ඉරාක පාපන්දු කණ්ඩායම අසාර්ථකත්වය පිළිබඳ දැඩි භීතියකින් පෙළුණි. යම් තරගයකදී දඬුවම් පහර එල්ල කිරීමෙන් ජයග්‍රහණය තීරණය කළ යුතු අවස්ථාවක් එළඹි විටෙක ඒ සඳහා ඉදිරිපත් වූයේ ඉරාක ක්‍රීඩකයන් අතළොස්සකි. ඔවුන් අතුරින් යම් අයකු එම පහර අසාර්ථක කරගත්තේ නම් ඔහු අත්අඩංගුවට ගෙන තාඩන පීඩනවලට ලක් කිරීමේ විශාල හැකියාවක් තිබිණි. සදාම් පාලනය බිඳ වැටුණ පසු එවන් සිදුවීම් ජාත්‍යන්තර මාධ්‍යවලට අනාවරණය විය.
2000 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී දඬුවම් පහරක් අසාර්ථක කරගත් අබ්බාස් රහීම් සාහිර් මෙසේ වධ බන්ධනයන්ට ලක් වූවෙකි. සදාම්ගේ වැටීමෙන් පසු මාධ්‍යයට ප්‍රකාශ කරන ලද අයුරින් ඔහු සති තුනක් තිස්සේ රඳවා තබාගෙන තිබිණි.
ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ කිසිදු දැනුමක් නොතිබුණු උදේයි හුසේන් 1980 දශකයේ පටන් එම ක්ෂේත්‍රයට ඇඟිලි ගැසූ අතර ඉරාක ඔලිම්පික් කමිටුවේ ද සභාපති ලෙස තමාව ම පත් කරගත්තේ ය. ඔහු පාපන්දු ක්‍රීඩකයන්ට කරන ලද "අභිප්‍රේරණ දේශන" පිරී තිබුණේ ඔවුන්ගේ පාද කපා දැමීමට හෝ ඔවුන් දඩයම් බල්ලන්ට ගොදුරු ලෙස දැමීමට කරන ලද තර්ජනයන්ගෙනි. විශේෂයෙන් ම 1996 දී සිදු වූ ඝාතන තැතකින් පසු උදේයි අතිශයින්ම දැඩි වෛර සහගත අයකු වූ බව ප්‍රකට කරුණකි. මේ තත්ත්වය කෙතරම් දරුණු වූවාද යත් සදාම් පවා ඇතැම් විටෙක උදේයිගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තම අනුප්‍රාප්තිකයා ලෙස ඔහු පත් කරනු දැකීමට මැළි වූ බව නොරහසකි.
සාධාරණ කිම්
අනෙකුත් ඒකාධිපති පාලකයන් හා සන්සන්දනය කිරීමේදී උතුරු කොරියාවේ පළමු නායක කිම් ඉල්-සුංග් වඩා සාධාරණ අයකු සේ පෙනී යයි. ඔහුගේ රට 1966 දී ලෝක කුසලානයට සුදුසුකම් ලද විට කිම් එය සැලකුවේ සාඩම්බරයට කරුණක් සහ උතුරු කොරියාවේ මාක්ස්වාදී සහ "ජුචේ" දර්ශනයේ ජයග්‍රහණයක් ලෙස ය. ඔහු සිය ජාතික කණ්ඩායම එංගලන්තයට පිටත් වීමට පෙර මුණ ගැසුණ අතර ඔහු ඉල්ලා සිටියේ එක බටහිර රාජ්‍යයක් හෝ පරාජය කරන ලෙස බව එම කණ්ඩායමේ සාමාජිකයෝ පසු කලෙක කියා සිටියහ. සිය නායකයාගේ උපදෙස් ප්‍රකාරව ම උතුරු කොරියානුවෝ ඉතාලිය පරාජය කර ඉතිහාසගත වූහ.
කෙසේ නමුත් මීළඟ තරගයෙන් පෘතුගාල පිල හමුවේ පරාජය වූ උතුරු කොරියාව තරගාවලියෙන් ඉවතට විසි විය. ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කියා සිටියේ යළි සියරට බලාගිය උතුරු කොරියානුවන්ට එම අසාර්ථකත්වය හේතුවෙන් දඬුවම් කරන ලද බව ය. නමුත් එවැන්නක් තහවුරු කළ හැකි වූයේ නැත.
තරග පාවා දීම
ඇතැම් අවස්ථාවන්හිදී පාපන්දු ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දීමට කුප්‍රකට ඒකාධිපති පාලනයක් යටතේ වූ රටවල්වලට පවා භාග්‍යය උදා වී ඇත. 1934 දී මුසෝලිනීගේ ෆැසිස්ට් ඉතාලිය සහ 1978 දී ජෝර්ජ් රෆායෙල් විදේලාගේ ආර්ජන්ටීනා ජුන්ටාව මෙසේ පාපන්දු ලෝක කුසලානය හරහා ප්‍රචාරණ වාසි ලැබූ රාජ්‍යයන් ය. ඉතාලිය සත්කාරකත්වය සඳහා තෝරාගන්නා ලද්දේ ද ෆැසිස්ට් පාලනය පවතින සමයේදී වීම එම තීරණයෙහි ඇති කුරිරුබව මොනවට පැහැදිලි කරයි.
ආර්ජන්ටිනාව සත්කාරකත්වයට තෝරාගන්නා අවස්ථාවේ මිලිටරි ජුන්ටාව බලයට පත්ව නොතිබිණි. කෙසේ නමුත් එම පාලනයේ කුරිරු මර්දනකාරී ප්‍රතිපත්ති හේතුවෙන් ඇතැම් රටවල් තරගාවලිය වර්ජනය කිරීමට ද තර්ජනය කළ හ. මෙම රටවල් අතරින් ප්‍රමුඛ වූයේ නෙදර්ලන්තය යි. තරගාවලිය පවත්වන සමයේදී යහපත් කල්ක්‍රියාවෙන් සිටීම පොරොන්දු වෙමින් මිලිටරි ජුන්ටාව එම අර්බුදයෙන් ගැලවුණේ ය.
ඉතාලි ලේඛක මාර්කෝ ඉම්පිග්ලියා 2013 දී ලෝක පාපන්දු ෆෙඩරේශනය විසින් සංවිධානය කරන ලද වැඩමුළුවකදී කියා සිටියේ 1934 ලෝක කුසලානය ජය ගැනීමේ අභිලාෂය ඇතිව, විනිසුරුවරුන් තමන් වෙත නම්මවා ගැනීමට ඉතාලිය කටයුතු කළ බවයි.
කෙසේ නමුත් ආර්ජන්ටිනාව වෙත එල්ල වන චෝදනාව හමුවේ ඉතාලියට එරෙහිව මතු වන මෙම චෝදනා එතරම් බරපතළ නොවන බව යමෙකු සඳහන් කළහොත් එය අසත්‍යයක් ම නොවේ. 1978 දී ආර්ජන්ටිනාව සහ පේරු අතර තරගය පිළිබඳ අදට ද ඇත්තේ නොවිසඳුණු අබිරහසකි. නමුත් ඇතැම් ක්‍රීඩකයන් සහ දේශපාලන ක්‍රියාකාරීන් පැහැදිලිව කියා සිටින්නේ පේරු රාජ්‍යය මෙම තරගය පාවා දුන් බව ය.
එමෙන්ම ඒ සඳහා පේරු රජයේ ඉහළින් ම උපදෙස් ලැබුණ බව සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් පවා ඊට සම්බන්ධ වූ බව චෝදනා එල්ල වේ.
ආර්ජන්ටීනා - පේරු තරගයේ අබිරහස
මෙම ලෝක කුසලානයේ ඉදිරියට යෑමට නම් ආර්ජන්ටිනාව, පේරු රාජ්‍යය පරාජය කළ යුතු වූයේ ගෝල 4ක අවම පරතරයකිනි. තරගයේ අවසන් ප්‍රතිඵලය වූයේ ආර්ජන්ටිනාව ගෝල 6-0 ක් ලෙස ජයග්‍රහණය කිරීම ය. මෙම ප්‍රතිඵලය එකල ද සැක සංකා මතු කළ අතර පේරු රාජ්‍යය තරගය පාවා දුන් බව විශ්වාසය තදින් ම මතු විය.
මීට වසර කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ Channel 4 රූපවාහිනිය හා අදහස් දක්වමින් පේරු රාජ්‍යය නියෝජනය කළ හොසේ වෙලාස්කේස් කියා සිටියේ මෙම තරගය පරාජය වන ලෙස එල්ල වූ පීඩනය පේරු රජය වෙතින් ම පැමිණි බව ය. පේරු රජය කණ්ඩායමේ කළමනාකරුවන්ට ඒ බව දැන්වූ වගත් ඔවුන් ක්‍රීඩකයන්ට ඒ බව දන්වා සිටි බවත් ඔහු චෝදනා කළේ ය.
නමුත් එවකට පේරු දේශයේ හමුදා පාලකයා වූ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ මොරාලෙස් බර්මියුඩෙස් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේ ඒවා යම් යම් පුද්ගලයන්ගේ සිත් හි ජනිත වූ මායාවන් බව කියා සිටිමින්.
එකල වෘත්තීය සමිති නායකයකු සහ පසුව පේරුවියා ව්‍යවස්ථාදායකයේ නියෝජිතයකු වූ ජෙනාරෝ ලෙඩෙස්මා චෝදනා කරන අයුරින් පේරු සහ ආර්ජන්ටිනාව අතර මේ ඇති වූයේ දේශපාලනික එකඟතාවකි. ලෙඩෙස්මා ද 1976 දී අත්අඩංගුවට ගන්නා ලදුව ආර්ජන්ටිනාව වෙත බාර දී තිබිණි. ආර්ජන්ටීනාව එකල “විරුද්ධවාදීන් අතුරුදන් කිරීමේ ප්‍රවීණයින්” බවට පත්ව තිබුණ අතර පෙරුවියා විරුද්ධවාදීන් ද මෙසේ අතුරුදන් කරවන ප්‍රතිඥාවට හිලව් ලෙස පේරු රජය එම තරගය පරාජය වන ලෙස සිය කණ්ඩායමට බල කර සිටි බව ලෙඩෙස්මා චෝදනා කළේ ය
කෙසේ නමුත් මෙම තරගය පිළිබඳ ඇති බරපතළම අබිරහස වන්නේ ආර්ජන්ටීනා මිලිටරි ජුන්ටා ප්‍රධානී විදේලා තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර ප්‍රතිවාදී පේරු පිලෙහි ක්‍රීඩක කාමරය වෙත පැමිණි බවට වන චෝදනාව ය. ඔහු පැමිණියේ තනිව ම නොව තවත් අරුම පුදුම අමුත්තකු සමඟ බව මෙම චෝදනාවන් හි කියැවෙයි. ඒ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් ය. පේරුවියා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම මෙම චෝදනාව එල්ල කරන බව Channel 4 සේවය සඳහන් කළේ ය.
ආර්ජන්ටීනාව වැනි කුරිරු පාලනයක් පැවති රාජ්‍යයකට එහි නායකයාගේ ආරාධනයෙන් කිසින්ජර් සංචාරය කිරීම ම ප්‍රශ්නකාරී ය. ඒ අතරවාරයේ ඔහු පේරු පිළට බලපෑම් කිරීම පිළිබඳ කරුණට සම්බන්ධ වී නම් එම ප්‍රශ්නය තවත් තීව්‍ර වෙයි.
පේරුවියා ක්‍රීඩකයන් සඳහන් කරන පරිදි විදේලා එහි පැමිණ කිසිදු ආකාරයේ බලපෑමක් කළේ නැත. ඔහු කළේ පේරු පිලට සුබ පැතීම පමණි. නමුත් එය ක්‍රීඩකයන් අන්ද මන්ද කළ අවස්ථාවක් වූ බව හිටපු පේරු නායක හෙක්ටර් චුම්පිටාස් පවසා සිටියේ ය. විදේලා මෙසේ පැමිණීම කෙසේ වෙතත් කිසින්ජර් මෙම චෝදනාවලට පිළිතුරු ලෙස කියා සිටියේ තමා පේරු ක්‍රීඩාගාරය වෙත කිසි විටෙකත් නොගිය බව ය.
කරුණු කෙසේ වුවද එක් දෙයක් පැහැදිලි ය. කිසින්ජර්ගේ ආර්ජන්ටීනා සංචාරය සහ ආර්ජන්ටීනාව ලෝක කුසලානය දිනා ගැනීම මඟින් විදේලාට සිය පාලනයේ කුරිරු ස්වභාවය ලෝකයෙන් මදකට අමතක කිරීමට හැකියාව ලැබිණි. ආර්ජන්ටිනා - පේරු තරගය පිළිබඳ සිද්ධිය ඇතැම්විට ලෝක පාපන්දු ඉතිහාසයේ ම බරපතළම නොවිසඳුණු අභිරහස විය හැකි ය.
චාමර සුමනපාල