තෙල් නළ අක්‍රිය වීමෙන් සංස්ථාවට කෝටි ගණනක පාඩුවක් | Page 2 | සිළුමිණ

තෙල් නළ අක්‍රිය වීමෙන් සංස්ථාවට කෝටි ගණනක පාඩුවක්

කොළඹ වරායේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාවට ඉන්ධන පොම්ප කරන ඉන්ධන නළ 5න් 4ක්ම අක්‍රිය වීම හේතුවෙන් ඉන්ධන ගොඩබාන සෑම නැවකින්ම සංස්ථාවට කෝටි ගණනක පාඩුවක් සිදු වන අතර, යම් හෙයකින් ක්‍රියාත්මක වන එකම නළයද අක්‍රිය වුව හොත් රටට ඉන්ධන සැපයීමද විශාල ගැටලුවක් වනු ඇති බව වාර්තා වේ.

මේ වන විට කොළොන්නාව නිමාව තෙක් ඇති අඟල් 9 විෂ්කම්භයෙන් යුත් එකම ඉන්ධන නළයකින් පමණක් මෙලෙස වරායේ සිට ඉන්ධන පොම්ප කරනු ලබන අතර, එසේ එකම නළයකින් පමණක් ඉන්ධන නැවක් එසේ පොම්ප කිරීමට අඩු වශයෙන් දින 8ක පමණ කාලයක් ගත වේ.

එතෙක් නැව නවතාගෙන සිටීම වෙනුවෙන් ඒ සඳහා අධිභාරය හා ප්‍රමාද ගාස්තු ලෙස නැවකට දිනකට රුපියල් ලක්ෂ 40ක පමණ අතිවිශාල මුදලක් ගෙවීමට සිදුව ඇතැයිද වාර්තා වේ.

මේ අනුව ඩීසල්, පෙට්‍රල් හා ගුවන් යානා ඉන්ධන වර්ග සියල්ල එකම නළයකින් පොම්ප කිරීමට සිදුව ඇති අතර, එක් ඉන්ධන වර්ගයක් පොම්ප කිරීමෙන් පසු මුහුදු වතුරෙන් නළ සේදීමට සිදු වීම නිසා නළ දිරා යන තත්ත්වයක්ට පත්ව ඇතැයිද වාර්තා වේ.

පසුගිය කාලයේ විෂ්කම්භය අඟල් 12ක නළය අලුත්වැඩියා කර ඉන්ධන පොම්ප කිරීමට සංස්ථාව කටයුතු කරමින් සිටියද එය අතරමඟ නවතා ඇති බවද වාර්තා වේ.

මීට අමතරව මුතුරාජවෙල පර්යන්තයේ ඇති ඉන්ධන නළ 2න් එක් නළයකින් කළු තෙල් හා අනෙක් නළයෙන් පෙට්‍රල් හා භූමිතෙල් පොම්ප කිරීම නිසා එම නළයද එසේ මුහුදු වතුරෙන් සේදීමට සිදුව ‍තිබේ. මේ තත්ත්වයද නුදුරේදී විශාල ඉන්ධන සැපයීමේ ගැටලුවකට මඟ පාදන්නක් වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ. මේ වන විටත් සංස්ථාව සතුව ඉන්ධන පවතින්නේ උපරිම වශයෙන් දින 15ක් සඳහා පමණක් වන අතර, පසුගිය කාලයේ මෙන් ඉන්ධන නැවක් ප්‍රමාද වුව හොත් රටම විශාල අර්බුදයක් කරා යනු ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගෙන් අදහස් ලබාගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද ව්‍යර්ථ විය.

 

Comments