මෙවර ශූරයෝ යුරෝපයෙන්ද? දකුණු ඇමෙරිකාවෙන් ද? | සිළුමිණ

මෙවර ශූරයෝ යුරෝපයෙන්ද? දකුණු ඇමෙරිකාවෙන් ද?

ඔලිම්පික් මහා මංගල්‍යයට පමණක් දෙවැනිවන ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළියට තවත් දින හතරකි. ලොව පුරා දශ ලක්ෂ සංඛ්‍යාව ජනතාව උණුසුම් හදවතින් යුතුව මේ බලා සිටින්නේ තවත් දින හතරකින් නැගෙනහිර යුරෝපයේ ප්‍රථම වරට පැවැත්වෙන 21 වැනි පාපන්දු ලෝක කුසලානය දෙසය. ඒ ජුනි මස මැද භාගයත් සමඟම රුසියාවේදී කලඑළි බසින පාපන්දු වසත් කාලය නිසාවෙනි. ඔලිම්පික් තරගාවලියකට පමණක් නොදැවිනි උණුසුම් ක්‍රීඩා තරගාවලියක් ලොව පවතීනම් ඒ පාපන්දු මහා මංගල්‍යය පමණි. මෙවර රුසියාවේ තව දින හතරකින් ආරම්භවන පාපන්දු ඉතිහාසයේ 21 වැනි මහා මංගල්‍ය ලොව ජනහදවත් ක්‍රීඩා ආස්වාදයෙන් තෙමාලන්නාවූ අද්විතිය ප්‍රාතිහාර්යය හෙවත් දෙපා රිද්මයේහි චමත්කාරයයි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කරගනිමින් රුසියාවේ හාපුරා කියා 21 වැනි පාපන්දු ලෝක කුසලනාන තරගාවලිය පැවැත්වෙන විට බටහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් එතෙක් මෙතෙක් දහවතාවක් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පවත්වා තිබේ. දකුණු ඇමෙරිකාව කේන්ද්‍ර කර ගනිමින් එතෙක් මෙතෙක් තරගාවලි පහක් පවත්වා තිබෙන අතර, උතුරු ඇමෙරිකාවේ තෙවතාවක්, ආසියාවේ සහ දකුණු අප්‍රිකාවේ එක් වතාව බැගින් පාපන්දු ලෝක කුසලාන තරගාවලි පවත්වා තිබේ.

වැඩිම වතාවක් ලෝක කුසලානය දිනාගෙන ඇති බ්‍රසීලය 1958 ස්වීඩනයේ, 1962 චිලී, 1970 මෙක්සිකෝවේ, 1994 ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ 2002 ආසියාවේ ජපානයේ - දකුණු කොරියාවේ පැවැති තරගාවලියන් හිදී ලෝක කුසලානය දිනා ගෙන තිබේ. දකුණු ඇමෙරිකානු කලාපය නියෝජනය කරන බ්‍රසීලය උතුරු සහ දකුණු ඇමෙරිකානු කලාපවල තෙවතාවක් සහ යුරෝපයේ මෙන්ම ආසියානු කලාපයේදී එක්වතාව බැගින් ජය ගෙන තිබේ.

හතරවතාවක් ලෝක කුසලානය දිනාගෙන ඇති යුරෝපීය කලාපය නි‍යෝජනය කරන ජර්මනිය තෙවතාවක්ම ලෝක ශූරතාව දිනා ගෙන ඇත්තේ යුරෝපියානු මහද්වීපයේය. පසුගිය වසරේ ඔවුන් ශූරයන් වූයේ දකුණු ඇමෙරිකාවේදීය. දෙවතාව බැගින් ලෝක ශූරයන් වී තිබෙන දකුණු ඇමෙරිකානු කලාපය නියෝජනය කරන රටවල් ආර්ජන්ටිනාව සහ උරුගුවේ රාජ්‍යයයි. ආර්ජන්ටිනාව 1978 සහ 1986 ලෝක ශූරයන් වී තිබෙන්නේ උතුරු සහ දකුණු ඇමෙරිකානු කලාපවල පැවැති තරගාවලි ද්විත්වයයි. උරුගුවේ 1930 - 1950 ලෝක ශූරයන් වී ඇත්තේ දකුණු ඇමෙරිකානු කලාපයේදීය. එක් වතාව බැගින් ලෝක ශූරයන් වී තිබෙන යුරෝපීය කලාපය නියෝජනය කරන ප්‍රංශය 1998 දිත්, එංගලන්තය 1966 දිත් යුරෝපයේදී ලෝක ශූරයන් වී තිබේ. යුරෝපීය කලාපය නියෝජනය කරන ස්පාඤ්ඤය 2010 දී දකුණු අප්‍රිකාවේදීත් ලෝක ශූරයන් වී තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලානය නැගෙනහිර යුරෝපයෙන් බටහිර යුරෝපීය රටක නතරවේද? දකුණු ඇමෙරිකානු මහද්වීපයක හෝ වෙනත් මහද්වීපයක නතරවේද යන්න කීමට කල් වැඩිය.

තරග පැවැත්වෙන සෑම විනාඩි අනූවක කාලය තුළම එකිනෙකා පරයා පන්දුව ප්‍රතිවාදින්ගේ ගෝල සීමාව ආක්‍රමණය කිරීම, අතිශයින්ම තරගකාරී බව අමුතුවෙන් අකුරු කළ යුතු නොවේ.

ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී, පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ, බ්‍රසීලයේ නේමාර් නාමිකව ගත් කළ වත්මන් පාපන්දු ලොව සුපිරි තරු වුවද, මොවුන් එකිනෙකා තනි තනිව ගත් කළ තරගයක තීරණාත්මක සාධක නොවන අටුවාටීකා ඇවැසි ‍ෙනාවේ. ඊට කදිම නිදසුන විසිවැනි පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයයි. මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාවට තියුණු තරගයක් ලබා දෙමින් තරගයේ සම්පූර්ණ කාලය අවසන් කරගත් ජර්මනියේ අතිරේක කාලයේදී මාරියෝ ගොටිෂා එකී ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වටිනාම ගෝලය ජර්මනියට උරුමකර දෙමින් සිවුවැනිවරට තම රටට ලෝක පාපන්දු කිරුළ දිනා දීමට සමත් විය.

තරගාවලියේ සෑම තරගයක්ම අතිශයින්ම තරගකාරී වන බවට සැක නැත. විසි එක් වන පාපන්දු කිරුළට රොද බැඳගත් රටවල් තිස් දෙකම උත්සාහ කරනුයේ තරගයෙන් තරගය ඉදිරියට පැමිණ අවසානයේ තම ඉලක්කය සපුරා ගැනීමය. කෙසේ වෙතත් කිසිම කණ්ඩායමකට සුව පහසු විලසින් නම් මේ ගමන යාමට නොහැකි වනු ඇත.

Comments