අතුරු මැතිවරණයෙන් මෝදිට පරාජය | සිළුමිණ

අතුරු මැතිවරණයෙන් මෝදිට පරාජය

 මහා මැතිවරණය පැවැත්වීමට වසරකට පෙර ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිට රතු එළියක් දැල්වීමට එරට ජනතාව කටයුතු කර තිබේ. ඒ පසුගිය බ්‍රහස්පතින්දා ලෝක් සභාව සහ මන්ත්‍රණ සභාව සඳහා පැවති අතුරු මැතිවරණයෙන් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පරාජය අත් කර දෙමිනි.

මේ අතුරු මැතිවරණය ලෝක් සභාව සඳහා ආසන හතරක් සහ මන්ත්‍රණ සභාව සඳහා ආසන දහයක් වෙනුවෙන් පැවැත්විණ. මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව ලෝක් සභාවේ ආසන හතරෙන් භාරතීය ජනතා පක්ෂයට දිනාගැනීමට හැකියාව ලැබී තිබුණේ එක් ආසනයක් පමණි. මන්ත්‍රණ සභාවේ ආසන දහයෙන් හතරක් පමණක් මෝදිගේ පක්ෂයට හිමි වී තිබිණි.

මේ අතුරු මැතිවරණ ප්‍රතිඵලය පැහැදිලිවම භාරතීය ජනතා පක්ෂය ලැබූ පරාජයක් බව පවසන ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රධාන සෙසු පක්ෂ එකමුතුව පවසන්නේ ‍ජනතාව මෙවර පැහැදිලිවම අාණ්ඩුවට විරෝධය දක්වමින් තම ඡන්දය භාවිත කර ඇති බවයි.

ලෝක් සභාව වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයේ ආසන හතර අතරින් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දරුණුතම පරාජය වාර්තා කර ඇත්තේ උත්තර් ප්‍රදේශයේ කයිරානා ආසනයෙනි. මේ ආසනය ඉන්දීය දේශපාලනයේ ඉතා වැදගත් ආසනයක් ලෙස සැලකෙන අතර, එහි ප්‍රතිඵලය අනුව ඉදිරි මහා මැතිවරණයෙන් ජය ගන්නේ කිනම් පක්ෂයක්දැයි පැවසිය හැකි බව ‍ඉන්දීය දේශපාලන විචාරකයන්ගේ අදහසයි. ඒ අනුව මෙවර කයිරානා ආසනය කොංග්‍රසය ප්‍රමුඛ විරුද්ධ පක්ෂය විසින් දිනාගෙන තිබේ. 2014දී පැවති මහ මැතිවරණයෙන් කයිරානා ප්‍රාන්තය භාරතීය ජනතා පක්ෂය විසින් දිනා ගනු ලැබූ අතර, පසුව එහි ජයග්‍රාහකයා මිය යෑම හේතුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිත විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ විපක්ෂයට කයිරානා අසුන හිමි වීමය.

මේ අතුරු මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඉන්දීය විපක්ෂය නව පනක් ලබා තිබේ. ලබන වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර මේ දක්වා අගමැති මෝදිගේ ජනප්‍රියත්වයට කිසිදු හානියක් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ‍

කෙසේ වුවද පසුගිය කාලයේදී ඉන්දීය ජනතාව අතර කිසියම් නොසන්සුන් බවක් දිගින් දිගටම වර්ධනය වෙමින් පැවති බවට සාධක ඕනෑ තරම්ය. විරැකියාව ඒ අතර ඉදිරියෙන්ම වූ අතර අමතරව කුල ගැටුම මෙන්ම ස්ත්‍රී දූෂණ රැල්ලද ජනතාවගේ විරෝධය රජය කෙරෙහි එල්ල වීමට හේතුවක් විය. මේ කිසිවක් කෙරෙහි කැපී පෙනෙන විසඳුම් ලබානොදුන් බව අගමැති මෝදිට එල්ල වූ ප්‍රධාන චෝදනාව වී තිබේ.

මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ පොදු විපක්ෂයක් ලෙස තරග කළ රාෂ්ට්‍රීය ජනතා දාල් එකමුතුවේ අපේක්ෂකයන් පවසා සිටියේ මේ මැතිවරණ ප්‍රතිඵලය දිළිඳුකමට, අවනීතියට එරෙහිව ජනතාව දැක්වූ ප්‍රතිචාරය බවයි. එමෙන්ම මේ සමඟ ජනතාව පාලක පක්ෂයට දරුණු රතු එළියක් දල්වා ඇති බවද ඔවුන් තවදුරටත් පවසා තිබේ.

නව දිල්ලියේ මහ ඇමති ආම් ආද්මී පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් පවසා සිටියේ, මේ පෙනෙන්නේ අගමැති මෝදිගේ රජයට ජනතාව දැක්වූ විරෝධය බවයි.

එහෙත් භාරතීය ජනතා පක්ෂය දිගින් දිගටම පවසා සිටියේ මේ ජනතාව ඡන්දය භාවිත කර ඇත්තේ අගමැතිවරයාට හෝ පක්ෂයට නොව, ඒ ඒ අසුනට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයාට බැවින් මේ ප්‍රතිඵලය ආණ්ඩුවට තර්ජනයක් නොවන බවයි.

කෙසේ වුවද 2014 සිට මේ දක්වා භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන ගමන දෙස බලන විට පෙනී යන්නේ ක්‍රමිකව ආණ්ඩුව ජනතාව අතින් ප්‍රතික්ෂේප වෙමින් පවතින බවයි. ඊට හොඳම උදාහරණය ලෙස 2014 ජයග්‍රහණයේ සිට මේ දක්වා ආණ්ඩුවට අහිමි වූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව දැක්විය හැකිය. 2014දී මෝදිගේ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ භාරතීය ජනතා පක්ෂයට පර්ලිමේන්තු ආසන 282ක් හිමි විය. එහෙත් පසුගිය වසර හතර පුරා පැවති අතුරු මැතිවරණ හේතුවෙන් අගමැති මෝදිගේ පක්ෂයට අහිමි වූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 9කි. ඒ අනුව මෙවර අතුරු මැතිවරණයත් සමඟ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හිමි වන ආසන සංඛ්‍යාව 273කි. ඉන්දීය පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 545ක් වන අතර, ඒ අනුව මේ වන විට මෝදිගේ රජය පවතින්නේ එක් බහුතර ආසනයකිනි.

මේ ජයග්‍රාහි පුවත සැලවීමත් සමඟ කොංග්‍රසේ නායක රාහුල් ගාන්ධි ජයග්‍රහණය ලැබූ සියලු දෙනාට තම සතුට පළ කරමින් පණිවිඩ නිකුත් කර සිටියේය. මැතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට ඔහු තම මව වන සෝනියා ගාන්ධිගේ සැත්කමක් සඳහා ඇය සමඟ විදේශගත වී සිටියේය. කෙසේ වුවද මෙය පැහැදිලිවම රාහුල් ගාන්ධිගේ පක්ෂ නායකත්වය සමඟ දක්නට ලැබෙන දේශපාලන අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ. 2014 කොංග්‍රසයේ පරාජයෙන් පසු 2017දී කොංග්‍රසයේ නායකත්වය බාරගත් රාහුල් එතැන් සිට මේ දක්වා දක්ෂ ලෙස කොංග්‍රසය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටින බව පෙනේ. තම පියාගේ ආසනය වන අමෙති අසුනින් බොහෝ පහසුවෙන් ජය වාර්තා කරමින් පාර්ලිමේන්තුවට පිවිසි රාහුල් ගාන්ධි ඉන්දීය දේශපාලනයේ නේරු- ගාන්ධි පවුලේ ඔටුන්න හිමි කුමරා ලෙස අවිවාදයෙන් නම් කළ හැකිය. ඒ අනුව ඉදිරියේදී කොංග්‍රසය ජය ලැබීමට සමත් වේ නම්, යළිත් නේරු-ගාන්ධි නායකයකු ඉන්දියාව පාලනය කරන යුගයක් දැක-බලාගැනීමට හැකි වනු ඇත.

Comments