පාපන්දු කිරුළේ පිටියේ රවුමක් | සිළුමිණ

පාපන්දු කිරුළේ පිටියේ රවුමක්

සෑම පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් ඇරැඹෙන විට නිල ගීතයකුත් නිර්මාණය කරයි. 2018 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ද ගීතයක් මේ වන විට නිකුත් කර තිබේ. එය නම් කර තිබෙන්නේ ලිව් ඉට් අප් නමිනි.

එය ගායනා කරන්නේ ඇමෙරිකානුවන් වන විල් ස්මිත්, නිකී ජෑම් සහ ඇල්බේනියාවේ ඊරා ඉස්ට්‍රෙෆි විසිනි. මින් ස්මිත් වඩාත් ප්‍රකට සුපිරි හොලිවුඩ් චිත්‍රපටි නළුවෙක් ලෙසිනි.

‍2014 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූයේ බ්‍රසීලයේදිය. එහිදී නිල ගිතය වූයේ වී ආර් වන් (ඔලෙ ඔලා) ය. එය ගායනා කළේ ඇමෙරිකාවේ පිට්බුල්, ජෙනිෆර් ලෝපෙස් සහ බ්‍රසීලwයේ ක්ලෝඩියා ලෙයිටේය.

කෙසේ වෙතත් මෑත යුගයේ වඩාත්ම ජනප්‍රිය වූ ලෝක කුසලාන ගීතය වනුයේ 2010 වකා වකාය. එය ගායනා කළේ කොලොම්බියාවේ ෂකිරා විසිනි. ඇගේ සැමියා වන ජෙරාඩ් පිකේ මෙවරත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙයි. ඒ ස්පාඤ්ඤය නියෝජනය කරමිනුයි.

 

වීරයා එළියේ

ජර්මනිය සිවුවන වරටත් ලෝක කුසලාන ශූරයෝ වූයේ 2014 වසරේදීය. ඒ ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පරාජය කරමිනි. එහිදී ජයග්‍රාහි ගෝලය රැස් කළේ මාරියෝ ගොට්ෂාය. එහෙත් එදා වීරයා වූ මාරියෝ මෙවර ලෝක කුසලානයට තරග කරන ජර්මන් කණ්ඩායමට තෝරාගෙන නැත.

ඔහු දුලබ රෝගයකට ලක්වීම නිසා වසරක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටියේය. ගිය වසරේ අග සිට ඔහුට නැවතත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබිණි. එසේ වුවත් ඔහු මෙවර ලෝක කුසලානයට තෝරා ගැනීමට තරම් සුදුසු මට්ටමක නැති බවට ජර්මන් පුහුණුකරු ජෝකිම් ලොව් සිතන්නට ඇත.

අද මෙන් එදාත් එනම් 2014 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ජර්මන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වූයේ ලොව්ය. කෙසේ වෙතත් මාරියෝට 2018 ලෝක කුසලානයටත් සහභාගි වීමට අවස්ථාව තිබේ. ඒ ඔහු තවමත් 25 හැවිරිදි වන බැවිනි.

 

ජර්මනියේ අභියෝගය

ලෝක කුසලාන තරගාවලියට පෙර වසරේදී විශේෂිත ආරාධිත තරගාවලියක් ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් පවත්වනු ලබයි. එය හඳුන්වනු ලබන්නේ ෆීෆා කන්ෆෙඩරේෂන්ස් කුසලානය වෙනුවෙනි.

මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන රටේදීම පවත්වයි. මෙහි විශේෂත්වයක් තිබේ. එනම් අදාළ වසරේ කන්ෆෙඩරේෂන්ස් කුසලාන ශූරතාව හිමි කර ගනු ලබන රටට ඊළඟ වසරේ ලෝක කුසලාන ශූරතාව හිමි නොවීමයි. මෙවර ජර්මනියට අභියෝගයක් තිබේ. එනම් මෙවරත් ලෝක ශූරයෝ වීමටයි. 2017 වසරේදී කන්ෆෙඩරේෂන්ස් කුසලානය හිමිකර ගත්තේ ද ජර්මනියයි.

 

මෙසීට තර්ජන

ඉස්ලාමීය ත්‍රස්තවාදි සංවිධානය හෙවත් (අයි. එස්. අයි.‍ එස්.) මෙවර ලෝක කුසලාන තරගාවලියටත් මරණ තර්ජන එල්ල කර තිබේ. ඒ අන්තර්ජාලය ඔස්සේය. ඒ වෙනුවෙන් සකස් කරන ලද පෝස්ටර් මේ වන විටත් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි වාර්තා වේ.

ඒ ඇතැම් පෝස්ටර් සකස් කර තිබෙන්නේ සුපිරි ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසීගෙ රුව යොදා ගනිමිනි. මෙම පෝස්ටර් ප්‍රංශයට සම්බන්ධ අයි. එස්. කණ්ඩායමක් විසින් සකස් කර තිබේ.

 

කෝටිපතියකුගේ යෝජනාව

ඊජිප්තුවේ සුපිරිතම පාපන්දු තරුව වන්නේ මොහොමඩ් මෝ සලාහ්ය. 2017 වසරේදී කෝටිපතියකු ඔහුට අපුරු යෝජනාවක් කළේය. එනම් වසර 28 කට පසුව ඊජිප්තුව ලෝක කුසලාන තරගාවලියට රැගෙන යාමට උදව් කරන ලෙසටයි. එය ඉටු කළහොත් මන්දිරයක් සලාහ්ට ලබා දෙන බවට අදාළ පුද්ගලයා පොරොන්දු වූයේය. සලාහ් එය ඉටු කළේය. අදාළ පුද්ගලයාත් තම පොරොන්දුව ඉටු කිරීමට සූදානම් විය.

නමුත් සලාහ් එය ප්‍රතික්ෂේප කළේය. තමන්ට මන්දිරයක් අනවශ්‍ය බවත් ඒ මුදල සිය ගමේ සංවර්ධනයට පරිත්‍යාග කරන ලෙසටත් කීවේය.

 

අයියා රටෙත් අයියාවෙයි

ඊඩන් හැෂාර්ඩ් මෙවර බෙල්ජියමේ නායකයාය. 27 හැවිරිදි ඔහු දැනට එංගලන්තයේ චෙල්ෂියා කණ්ඩායමට ක්‍රීඩා කරයි. ඒ මැද පෙළ ක්‍රීඩකයකු වශයෙනි.

2008 වසරේ සිට ඔහු ජාත්‍යන්තරව ක්‍රීඩා කරන්නේය. දැනට ඔහුට තරග 82 කදී ගෝල් 21 කි. මෙවර ඔහු සහභාගි වන්නේ තම දෙවන ලෝක කුසලාන තරගාවලියටයි. මෙවර බෙල්ජියම් කණ්ඩායමට ඔහුගේ මල්ලී වන තෝර්ගන් ද තෝරා ගෙන තිබේ.

 

වාර්තාව සර්ගෙයිට

සත්කාරක රුසියා‍ෙව් ප්‍රධාන බලාපොරොත්තුවක් තිබේ. ඒ සර්ගෙයි ඉග්නේෂවිච්ය. 38 හැවිරිදි සර්ගෙයි ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකි. හෙතෙම අඩි 6 අඟල් 1 ක් උසැතිය.

සර්ගෙයි 2002 වසරේ සිට ජාත්‍යන්තරව ක්‍රීඩා කරයි. දැනට ඔහුට ජාත්‍යන්තර තරග 120 කි. ගෝල් 08 කි. මෙම තරග ගණන රුසියානු ජාතික වාර්තාවකි. මීට පෙර 2014 ලෝක කුසලාන තරගාවලියටත් ඔහු ක්‍රීඩා කළේය.

තුන්කොන් එකතුව

සැමෝවා රට ක්‍රීඩා ලොවේ වඩාත් ප්‍රචලිත රග්බි ක්‍රීඩාවටයි. එසේ වුවත් පිට පිට සිවුවැනි වරටත් පාපන්දු ලෝක කුසලානයේදී සැමෝවා නියෝජනයක් දක්නට ලැබෙනු ඇත.

ඒ ඔස්ට්‍රේලියාවේ ටිම් කේහිල් නිසාවෙනි. ඔහු ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි. ඔස්ට්‍රේලියා‍ව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල් ගණනක් රැස් කළ ක්‍රීඩකයාත් ඔහු වේ. ටිම්ගේ පියා එංගලන්ත ජාතිකයෙකි. මව සැමෝවා ජාතික කතකි.

දෛවයේ සරදම

ආර්ජන්ටිනාව 2014ලෝක කුසලාන අනුශූර‍යෝය. එහිදී සුපිරි ක්‍රීඩක මෙසීට අමතරව දස්කම් දැක්වූ තවත් ක්‍රීඩකයකු වූයේ දැල් රකින සර්ගියෝ රොමිරෝය. මෙවර තරගාවලියටත් සහභාගිවීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියේය.එහෙත් දෛවය සරදම් කරන්නේ අනපේක්ෂිත ආකාරයටයි. ඒ අනුව රොමිරෝට ලෝක කුසලාන වරම් මෙවර අහිමි විය. ඒ දණහි‍ස් ආබාධයකට ලක්වීමෙනි. හෙතෙම මේ වන විට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

Comments