සෞරග්‍රහ මණ්ඩලයේ අතීත කතාව සොයන්නට අඟහරු වෙත රොබෝ යානයක් | Page 3 | සිළුමිණ

සෞරග්‍රහ මණ්ඩලයේ අතීත කතාව සොයන්නට අඟහරු වෙත රොබෝ යානයක්

 පෘථිවියෙන් එපිට ජීවයක් ඇත්දැයි යන්න දැනගැනීම පිළිබඳව බොහෝ කාලයක සිටම විද්‍යාඥයන් විසින් විවිධ ආකාරයේ පරීක්ෂණයන් කරනු ලැබූවා. ඒවායේ දී එළඹුණු එක් නිගමනයක් නම් අඟහරු ග්‍රහයා මත ජීවයක් පැවතීමට අවශ්‍ය සාධක දක්නට ලැබෙන නිසා එහි ජීවීන් සිටිය හැකි බවයි. නමුත් වාර කිහිපයකදීම නාසා ආයතනය විසින් සිදු කරන ලද විවිධ අභ්‍යවකාශ ගවේෂණය හරහා හෙළි වූයේ අඟහරු මත තවමත් ජීවයක් බිහිවී නොමැති බවයි. SpaceX ආයතනය ද අඟහරු මත ජනාවාසකරණයට අවශ්‍ය විධිවිධාන සකසමින් සිටින අතර ඔවුන්ගේ අරමුණ වන්නේ නුදුරු අනාගතයේදීම ලෝක ජනගහනයට විසඳුමක් වශයෙන් අඟහරු මත පෘථිවි වාසීන්ට උචිත පරිසරයක් ගොඩනගා එයට මිනිසුන් ප්‍රවාහනය කිරීමයි. මේ සඳහා සුවිශේෂ ඇඳුම් කට්ටලයක් ද ඔවුන් සකසා තිබේ. මෑතකදී අත්හදා බැලීමක් වශයෙන් යැවූ රොකටයක අඩංගු කළ ටෙස්ලා කාර් රථයේ රියදුරු අසුනේ පඹයෙක් තබා ඊට එය අන්දවා පෘථිවිය වටා කක්ෂගතකොට පෙන්වනු ලැබුවා. මේ අතරේ නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ වැඩිදුර හැදෑරීමට මැයි 5වනදා යැවූ ඉන්සයිට් (InSight) යානය හරහා බලාපොරොත්තු වෙනවා.

අඟහරු පෘෂ්ඨය මත ගමන් කරමින් කබොල සිට අභ්‍යන්තරය දක්වා අධ්‍යයනය කරන මේ රොබෝ යන්ත්‍රයේ දත්ත උපයෝගී කරගෙන පෘථිවියේ සහ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය පිළිබඳව කරුණු අනාවරණය කරගැනීමයි මෙහි මූලික අරමුණ වන්නේ. 2018 මැයි සහ නොවැම්බර් මස දක්වා දියත් කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය පෘථිවියේ බිහිවීම පිළිබඳ කතාන්දරයට නව මුහුණුවරක් ගෙන එන බවට විශ්වාස පළ කරනවා. මේ රොබෝව මීටර් 5ක් පමණ ගැඹුරට කැණ උෂ්ණත්ව දත්ත ලබා ගැනීම, භූකම්පනයන් මැනීම, අඟහරුගේ පරිභ්‍රමණය පිළිබඳ දත්ත රැස්කිරීම ආදී හැකියාවන් රැසකින් සමන්විත කොට තිබෙනවා. ඊට අමතරව අඟහරුගේ අභ්‍යන්තරය වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා රේඩියෝ සංඥාවල සහාය ද ලබා ගැනෙනවා.

2010 වසරේදී ලොක්හීඩ් මාටින් ස්පේස් සිස්ටම්ස් ආයතනය විසින් මේ රොබෝව සැකසීමට කටයුතු ආරම්භ කරන ලද්දේ 2016 මාර්තු වන විට එය නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කොට තිබියදීයි. එනමුත් භූකම්පනමානයේ හටගත් දෝෂ සහගත බව නිසා එය වඩාත් නිරවද්‍ය කරලීමට 2015 දෙසැම්බර් මාසයේදී නාසා ආයතනය දන්වා සිටියේ මේ ව්‍යාපෘතිය 2016 සිට 2018 තෙක් කල් දැමීමට සිදුවන බවයි. මේ රොබෝ යානය Atlas V-401 රොකට්ටුව විසින් අභ්‍යවකාශගත කිරීමට තීරණය කොට තිබුණා. ඉන්සයිට් රොබෝවේ මූලික කර්තව්‍යය වන්නේ භූකම්පනමානය සහ තාප සංසරණ පද්ධතිය හරහා අඟහරු ග්‍රහයාගේ මතුපිට සහ අභ්‍යන්තරයේ භූගෝලීය සැකැස්ම පිළිබඳ අධ්‍යයනය කිරීමයි. මේ දත්ත අඟහරු පිළිබඳ තොරතුරු දැනගන්නට පමණක් නොව බුධ, සිකුරු, පෘථිවි මෙන්ම පෘථිවි චන්ද්‍රයා ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයේ අපට ආසන්න සියලු ග්‍රහලෝකවල පරිණාමය පිළිබඳව ද සාක්ෂි සපයනවා. 2008දී සාර්ථකව අඟහරු මත යැවුණු, පෙර භාවිතයට ගත් ෆීනික්ස් යන්ත්‍රය මත ම මේ නව රොබෝ උපාංග සවිවන නිසා ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල සහ අවදානම ඉතා විශාල වශයෙන් අවම වනවා. මන්ද, එය යවන්නටත් ප්‍රථමයෙන් අසාර්ථකවූ නිසා යළි සැකසුම් කටයුතු සමඟ වැය කළ සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 830ක් වනවා.

ලොක්හීඩ් ආයතනයට නැවතත් ඉන්සයිට් රොබෝ යන්ත්‍රය ගෙන ඒමෙන් පසුව 2017දී එය අඟහරු මත ඇති රළු පරිසර තත්ත්වවලට ඔරොත්තු දෙන බව පරීක්ෂා කරනු ලැබුවා. මේ සඳහා රික්තයක ඉහළ උෂ්ණත්ව, පීඩන යටතේ උපාංගයේ ක්‍රියාකාරීත්වයන් අත්හදා බැලූ අතර 2018 ජනවාරි මාසයේදී සූර්ය පැනල සවිකිරීම හා අත්හදා බැලීම සිදු කෙරුණා. මෙහිදී සිදුකළ තවත් විශේෂ යමක් නම්, මේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැරූ දානපති පුරවැසියන් මිලියන 2.4කින් යුත් චිප් දෙකක් රොබෝව මත අඩංගු කිරීමයි. මේ හරහා දායකත්වය දැරූවන් වෙනුවෙන් විශේෂ වටිනාකමක් ලබාදීම අපේක්ෂා කෙරෙනවා.

පෘථිවිය අක්ෂය ඔස්සේ අංශක 23.5ක නියත ආනතියකින් භ්‍රමණය වුණත් අඟහරු ග්‍ර‍හයා පෘථීවිය වටා පරිභ්‍ර‍මණය වන අතරතුර භ්‍ර‍මණ අක්ෂයේ ආනතිය ද වෙනස් කර ගන්නවා. එනම්, හරියට දෝලනය වෙමින් යැවූ පන්දුවක් වගේයි. මේ නිසා අඟහරු මත නිශ්චිත ඍතු සකස්වීමක් නැහැ. කාලයකදී එහි උත්තර ධ්‍රැවයේ හිම මිදෙන අතර තවත් කාලයකදී දැඩි හිරු රශ්මිය ඇති කාන්තාරයක් බවට පත් වෙනවා. මේ නිසා ඉන්සයිට් යානය නියත සූර්ය ශක්තියක් ලබා ගැනීමේ අරමුණින් අඟහරුගේ සමකාසන්නව රැඳෙමින් දත්ත එක්රැස් කරන අතර එහි සිට මේ දෝලන සහිත පරිභ්‍රමණය පිළිබඳ තවත් කරුණු සෙවීමද පහසුවක් කරගන්නවා. මෙලෙස අවට ග්‍රහයන් රැසකගේද අතීත කථාවලට කරුණු සපයමින් අඟහරු ග්‍රහයා මත ජීවයක් බිහිකරන්නට අවශ්‍ය දත්ත ගොඩනගන මේ ව්‍යාපෘතිය 2018 අවසාන භාගය වන විට අභ්‍යවකාශ ඉතිහාසයේ නව පිටුවක් පෙරළන බව නම් නිසැකයි. 

 

Comments