ශ්‍රී පාද පාරේ කුඩු ඇල්ලූ ‘කෝරා’ අවසන් ගමන් යයි | Page 2 | සිළුමිණ

ශ්‍රී පාද පාරේ කුඩු ඇල්ලූ ‘කෝරා’ අවසන් ගමන් යයි

 ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් පසුගිය සතියේ දුක්මුසු පුවත් කිහිපයක්ම අසන්නට ලැබිණි. ඒ අවාසනාවන්ත ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිය යෑමේ සිද්ධීන් සමඟ වාර්තා වූ හැටන් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිල සුනඛ ‘කෝරා’ගේ මරණය ගැනයි.

මහජනයා වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කටයුතුවලට අමතරව මහජනයා විසින් සිදුකරන නීති විරෝධි ක්‍රියාකාරකම් වැටලීමේදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛයන් ඉටු කරනුයේ සුළුපටු කාර්යභාරයක් නොවේ. එලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ දිවයින පුරා ව්‍යාප්ත නිල සුනඛ ඒකක 54ක් සතුව සිටින 198ක් වන නිල සුනඛයන් අතර ‘කෝරා’ සුනඛයාට විශේෂ තැනක් ලැබුණේ උගේ තිබූ ඉහළ දක්ෂතා නිසා පොලීසියට අත්කර දුන් කීර්තිය සේම මහජනයාට කළ සේවය නිසාවෙනි.

අවුරුදු 7යි මාස 8ක පමණ කාලයක් ජීවත්වූ කෝරා සුනඛ ධේනුව විශේෂ අවශ්‍යතාවක් මතම හැටන් පොලීසියට අනුයුක්තව රාජකාරි කෙරිණි. ඒ බුදු රදුන්ගේ පා සටහන් තැබූ සිරිපා වන්දනාමාන කිරීමට රටේ නන් දෙසින් යන එන පුද්ගලයන් සිරිපා මළුවට මත්ද්‍රව්‍ය රැගෙන යාම ගැන ඉකුත් සමයේ වාර්තා වූ සිදුවීම් නිසායි.

එලෙස රාජකාරි කරමින් සිටියදී කෝරා සුනඛ ධේනුව සහ ඔහුගේ බාරකරු වූ පොලිස් කොස්තාපල් (43270) නිමල් කරුණාතිලක සමඟ ‘ප්‍රමිති වර්ධනය කිරීමේ’නමැති මසක විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහා පසුගිය තුන්වැනිදා මහනුවර පොලිස් නිල සුනඛ මූලස්ථානයට ගිය බව බාරකරු නිමල් අපට කීවේය.

හිටිහැටියේම සිදුවූ කෝරාගේ වියෝව ඔහුට දරාගත නොහැකිතරම්ය.

“දවස් විසි ගාණක පුහුණුව ඉතාම හොඳින් සුනඛයා කළා. 28 වැනිදා රාත්‍රී කෑම දෙනකොටත් හොඳටම හිටියා... පස්සෙ 29 වැනිදා උදේ බලනකොට කූඩුව ඇතුළෙම මැරිලා හිටියා. හිතාගන්න බැහැ මොකද වුණේ කියලා.” ඔහු පවසයි.

බෙල්ජියමෙන් ආනයනය කළ, මැලනෝයි වර්ගයට අයත් ලක්ෂ 8ක් පමණ වටිනා කෝරා නිමල්ට බාර වන විට වයස අවුරුදු එකහමාරකි.

“කෝරා කියන්නෙ ඉතාම කීකරු සතෙක්... 2011 දොළොස් වැනි මාසෙ පළමුවැනිදා තමයි මට කෝරා මුලින්ම හමු වුණේ. එදා ඉඳන් මං එයාව බලාගත්තෙ දරුවෙක් වගේ.... කොටින්ම කිව්වොත් මගේ දරුවෙක් වගේ... යෝගට් කන්න පුදුම ආසයි... කිසිම වෙලාවක කිසිදු කෙනෙකුට සැරවැර ගතියක් පෙන්නුවේ නැහැ... මං නැතිවුණාම සාංකාවෙන් එක් තැනෙකට වෙලා ඉන්නවා කියලයි අපේ කට්ටිය කියන්නෙ... ඒක නිසා මං ගෙදර ගියත් ඉක්මනටම එනවා... හැබැයි වැටලීම්වලදී හරිම සූක්ෂ්මයි... පොඩි දේකින් ලැබෙන හෝඩුවාව හොඳටම ඇති අවශ්‍ය දේ හොයාගෙන යන්න...”

පොලිස් කොස්තාපල්වරයා පවසන පරිදි ඔහුගේ ගතිගුණ සේම මත්ද්‍රව්‍ය නාශක වැටලීම්වලදී පෙන්වූ වැඩ-කිඩද එමටයි.

“හැටන් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ අවසාන මාස තුනේදී පමණක් 400කට වැඩිය වැටලීම් කළා හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයත් සමඟ. ඒ අතර විශේෂයි සිරිපා මළුව කෙලෙසීමට මත්ද්‍රව්‍ය රැගෙන එන අය කොටුකර ගැනීමට කළ වැටලීම්. කෝරාගෙන් ගැලවිලා මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා මළුවට යන්න කිසිම කෙනෙකුට හැකිවුණේ නැහැ. ඒ තිබුණ දක්ෂතාව නිසාමයි ඌව මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන්න පොලිස් දෙපාර්තමේන්තුවෙන් විශේෂයෙන්ම යෙදවූවේ.”

එවන් සුවිශේෂ වූ හැකියාවලින් යුත් කෝරා මුලින්ම කොස්තාපල් නිමල් සමඟින් පොලිස් නිල සුනඛ රාජකාරියට අවතීර්ණ වී තිබෙනුයේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තවයි. ඉන් පසුව මඩකළපුව, කටුනායක ගුවන් තොටුපොළ, අම්පාර, බණ්ඩාරවෙල රාජකාරිවල නිරත වී තිබේ.

“වරක් අම්පාරෙදි කිලෝ පනහක ගංජා තොගයක් කොටුකර ගැනීමට ඉතාම සූක්ෂ්ම මෙහෙයුමක් පොලීසිය කළා... ඒකෙදි කෝරාගේ දක්ෂතාව නිසාමයි එම වැටලීම කරගන්න හැකිවුණේ.” මීට අවුරුදු එකහමාරකට පමණ පෙරදී හැටන් පොලීසියේදී කළ හපන්කමක් ගැන නිමල් පැවසීය.

කිසිදු ආකාරයක ලෙඩ ගතියක් නොපෙන්වමින් සිටි කෝරාගේ මරණයට හේතුව පිළිකාවක් බව පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨය කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විණි. ඒ අනුව කෝරාගේ භූමිදාන කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා සවස් යාමයේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් පිරිනැමෙන ඉහළම ගරු බුහුමන් සහිතව හැටන් කොට්ඨාස බාර පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී රංජිත් දසනායක සහ හැටන් පොලිස් ස්ථානාධිපති ජෙමිල් යන අයගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. හැටන් පොලීසියේ සුනඛ අංශයේ අපරාධ පරීක්ෂණ වැටලීම්වලට සිටින ජොනී සුනඛයා මෙන්ම තමාද තනිවූ බව නිමල් අවසානයේ අපට කීවේය.

අමිල

Comments