පසු ආපදා ආබාධ වළක්වා ගනිමු | Page 2 | සිළුමිණ

පසු ආපදා ආබාධ වළක්වා ගනිමු

ගංවතුර හා නායයෑම් වැනි විපත්වලින් අනතුරුව ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ රෝගාබාධ වේ. විපතට පත් ජනතාව රැස්වන කඳවුරුවල මෙන්ම නිවෙස්වලද විවිධ රෝග පහසුවෙන්ම පැතිරී යයි ගංවතුර නිසාද වතුර බැස ගිය පසුවද ජනතාවට මුහුණ පාන්නට සිදුවන හදිසි අනතුරු හා රෝගාබාධවලින් වැළකී සිටීමට පිළිබඳ දිය යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ආපදා තත්ත්වයකදී නිරෝගීව සිටීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වසංගත ‍රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන දැක්වු අදහස් මෙසේය.

පාචනය උණ සන්නිපාතය, සෙංගමාලය, ලේ අතීසාරය, සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස උණ ඉන්ෆ්ලුඑන්සාව, මී උණ හා ඩෙංගු වැනි රෝග මෙවැනි ආපදාවකදී පහසුවෙන්ම වැල දී පැතිරී යා හැකිය. ඒ රෝගවලින් වැළකීමට පහත සඳහන් උපදෙස් පිළිපැදීම වැදගත් වේ.

සෑමවිටම උතුරුවා නිවාගත් ජලය පානය කරන්න.

ආහාර පිළියෙල කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර හා පසුද වැසිකිළි යෑමෙන් පසුවද සබන් යොදා දෑත් සෝදන්න.

හැම විටම පිසින ලද ආහාර හැකි ඉක්මනින් ආහාරයට ගන්න. හැම විටම මැන්සන් ගෙන් ආරක්ෂා වන පරිදි ආහාර වසා තබන්න.

මළ පහ කිරීමට හැම විටම වැසිකිළි භාවිත කරන්න. කුඩා ළමුන්ගේ මළ පහ වැසිකිළියටම දමන්න.

පලතුරු පිරිසිදු ජලයෙන් සෝදා ආහාරයට ගන්න. පළා වර්ග හොඳින් සෝදා පිස ආහාරයට ගන්න.

පාසලට හෝ රැකියාවට යන විට නිවසේදී උතුරවා නිවා ගත් ජලය පිරිසිදු බෝතලයක දමාගෙන යන්න.

පාසලට හෝ රැකියාවට යන විට නිවසේ පිළියෙල කළ ආහාර රැගෙන යන්න.

පදික වේදිකාවේ අලෙවි කරන පලතුරු, අයිස් ක්‍රිම්, අයිස් පැකැට් ආදිය ආහාරයට නොගන්න.

අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්න.

ළදරු සෞඛ්‍ය රැක ගැනීමට.

මවු කිරි දෙන ළදරුවන්ට අඛණ්ඩව මවු කිරි දෙන්න.

කිරි පිටි, බෝතල් හා සුප්පු භාවිතයෙන් වළකින්න.

වයසට නියමිත එන්නත් මාත්‍රා සඳහා සෞඛ්‍ය කණ්ඩායම් හමුවන්න.

ළමයින් ලිංගික හිංසාවලට ගොදුරු වීමෙන් වළක්වාගන්න.

ප්‍රසුතියට ආසන්න මවුවරුන් රෝහල්ගත වීම වඩා සුදුසුය.

දිනකට දෙවරක් දත් මැදිම වැදගත්ය.

මදුරු දෂ්ටනයෙන් වැළකීමට මදුරු දැල් හෝ විකර්ෂක භාවිතා කරන්න.

අත් පා හොඳින් වැසෙන සේ ඇඳුම් අන්දවන්න.

වතුර බැස ගිය පසු

ළිං පිරිසුදු කර ගැනීම සඳහා ක්ලෝරීන් (T.C.L) ලබා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවන්න.

ජලය රැදුණු නිවාස හෝ ගොඩනැගිලි විෂබීජ නාශක දියර යොදා හොඳින් අතුල්ලා පිරිසිදු කරගන්න.

හදිසි අනතුරු වළක්වා ගැනීමට.

පෙඟුණු බිත්ති, තාප්ප හා ගොඩනැගිලි අසලින් ඉවත් වෙන්න.

ගංවතුරේ හෝ ජලයෙන් වැසුණු බිමෙහි ඇවිදීමෙන් වළකින්න

කැඩුණු විදුලි රැහැන්, විදුලි පේණු අසලින් ඉවත් වන්න.

ගංවතුරේ ඔරු පැදීමෙන් හෝ ක්‍රීඩාවලින් දරුවන් වළක්වන්න.

විදුලි ‍කොටන විට හෝ අකුණු ගසන විට ආරක්ෂිත ආවරණය වු ස්ථානයකට යන්න.

ගංවතුරේ විවිධ රෝග කාරක ඇති හෙයින් නිරාවරණ දෙපාවලින් වතුරේ බැස යාම අහිතකරය. තුවාල ඇති පුද්ගලයන් විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය.

දියවැඩියාව අධික රුධිර පීඩනය ඇදුම වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන් එදිනෙදා භාවිතා කරන බෙහෙත් නිසි පරිදි ලබා ගත යුතුය. එම ඖෂධ තමා ළඟ නොමැති නම් සෞඛ්‍ය පහසුකම් සලසන කණ්ඩායම් වෙත දන්වා ඒවා ලබා ගැනීම වැදගත් වේ.

කිසියම් රෝග ලක්ෂණයක් පහළ වන්නේ නම් වහාම සෞඛ්‍ය කණ්ඩායම් හමු වී නිසි උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට යොමු විය යුතුය.

සාගරිකා

 

Comments