අක් වැස්සෙන් පොහොර ගෙනෙන අකුණු සැරේ | Page 3 | සිළුමිණ

අක් වැස්සෙන් පොහොර ගෙනෙන අකුණු සැරේ

 පොහොර පිළිබඳව අද බොහෝ ගොවියෝ මැසිවිලි නඟති. වර්තමානයේ පොහොර ගැටලුවක් වූයේ කාගේ වරදින් ද යන්න ප්‍රශ්නයකි. බොහෝ ගොවියෝ ඉර හඳ සහ අහස පිළිබඳ විශ්වාසය තබමින් ගොවිතැන් කළහ. ජීවත් වීමට කිසිවකු ළඟ දණින ්නොවැටුණි. මඩ සෝදාගත් කල රජකමට ද සුදුසුයැයි කීවේ ය එබැවිනි. එහෙත් තත්ත්වය අද වෙනස් වී ඇත. ගොවිකම උදාසීනවීමත් සමඟ විශ්වයෙන් ගොවියාට හිමි වූ දැනුම හමස් පෙට්ටියේ සඟවා තැබිණි. විශ්වයේ ඇති ශක්තීන් පිළිබඳ අතීත ගොවියා හඳුනාගෙන සිටියේය. මේ අනුව විශ්වයේ ජීවයේ පැවැත්මට යම් කිසි ශක්තියක් අවශ්‍ය බව අපි දනිමු. අප ජීවත්වන මන්දාකිනිියේ අපට අයත් සෞරග්‍රහ මණ්ඩලයේ බලය සපයන්නා හිරු ය. අපේ හිරු හෙවත් සූර්යයා ඔහුගේ බලයෙන් ග්‍රහණය කර ගත් ලෝක නමයකි. මේ නවය අතුරින් පිළිවෙළින් තුන්වැනි ග්‍රහලෝකය පෘථිවියයි.

ඇසි දිසි මානයක නැතහොත් විද්‍යාඥයින්ට පවා සොයා ගැනීමට නොහැකි වී ඇති මානයක ජීවීන් ඇති එකම ග්‍රහලෝකය මෙය වේ. මේ ග්‍රහලෝකයේ සත්ත්ව සහ ශාක වශයෙන් ජීවීන් වර්ග දෙකක් වාසය කරයි. ආක්‍රමණශීලී ශාක ජීවීන් අභිභවා පෘථිවියේ අයිතිය පැහැර ගත් සත්ත්ව ජීවියා, හෝමෝ සේපියන්ස් සේපියන්ස් නම් වූ මිනිසා ය. මොහු භූමියත් සමඟ අරගලයක යෙදී සිටියි. අරගලය ජය ගැනීම මිනිසාගේ අභිප්‍රාය වුවත් ඊට සරිලන වටපිටාවක් නිර්මාණය කර ගැනීමට නොහැකි වී තිබේ. අතීතයේ ස්වභාදහමින් ලැබුණු කොළ රොඬු මිනිසා යොදාගත්තත් වර්තමානය වන විට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ව පොහොර යනු පිටතින් යෙදිය යුතු ද්‍රව්‍යක් බවට පත්ව ඇත. ඒ අනුව වර්තමානයේ පොහොර සඳහා ගෙවියයුතු මුදල කිසිදු ගොවියකු දරා ගත නොහැකි වී තිබේ.

එම නිසා ශ්‍රී ලාංකික මිනිසුන්ගේ ජීවත් වීම උදෙසා අවශ්‍ය ආහාර නිෂ්පාදනය වෙනුවෙන් එහි පාලකයින්ට විශාල මුදලක් වන්දි වෙනුවෙන්, පොහොර සහනාධාර නමින් නම් කොට ගෙවීමට සිදු වී ඇත. මෙම පොහොර සහනාධාරය කොයිතරම් බලවත් වී ඇයි දැයි කිවහොත් ආණ්ඩු පෙරළා දැමීමට සිදු වී ඇත. මෙම පොහොර සහනාධාරය කොයිතරම් බලවත් වී ඇයි දැයි කිවහොත් ආණ්ඩු පෙරළා දැමීමට තරම් ඔහු බලවත්ය. කොයිතරම් ශක්ති සම්පන්න ආණ්ඩුවකට වුවත් පොහොර ඉදිරියෙහි දණ ගැසීමට සිදු වී ඇත. රටක් පාලනය කිරීමට රජයක් බලවන්ත විය යුතු ය. එම නිසා එවැනි රජයක් බිහි කිරීම වෙනුවෙන් කිසියම් කෙනකු දායක වෙන්නේ නම් මෙම පොහොර ගැටලුවට විසඳුම් ඉදිරිපත් කළ යුතුව ඇත. ලංකික ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී පොහොර ගැටලුවක් නොමැතිව වගා කළ බවට සාක්ෂි හමුව ඇත. එදා වැසි‍යෝ පොහොර ගැටලුවක් නොකරගත්හ.

සිංහරාජ වනාන්තරය, නකල්ස් වනාන්තරය,රක්වාන කඳුකරය,යාල අභය භූමිය සහ මුළු කන්ද උඩරටම සරසා ඇති කන්ද උඩරට වනාන්තර සාක්ෂි දැරීමට හැකිය. පරාක්‍රමබාහු රජුගේ සිට ඩී එස් සේනානායක අග්‍රමාත්‍යවරයාගේ කාලය වන තෙක් මේ රටේ මිනිසුන් පොහොර ගැන කථා කළේ නැත. එහෙත් අද වන විට පොහොර ලබා දීම රජය විසින් කළ යුතු අනිවාර්යය වැඩක් ලෙස ගොවියෝ සිතාගෙන සිටිති. එහෙත් මේ දෙස සිනාසෙමින් බලා සිටින්නේ අහස පුරා ආලෝකය පතුරවමින් ශබ්ද නගා පුපුරා යන අකුණු ය. වසරකට දෙවරක් මුළු ශ්‍රී ලංකාවටම අකුණු ගැසීම සාමාන්‍ය දෙයකි. එම අකුණු ගසන්නේ මහා නියඟයකින් පසු පටන් ගන්නා අක් වැස්සේ දී ය. මේ වන විට නියඟය නිසා ගස්වලින් ගිලිහුණු විශාල ශාක පත්‍ර සංඛ්‍යාවක් ලංකාවේ පොළොවේ ඇතිරිල්ලක් ලෙස වැතිරී පවතී. මේ ශාක පත්‍ර තුළ ඇත්තේ ඔවුන් හිරුගෙන් ලබා ගන්නා වූ සුර්යය ශක්තියයි. මෙය දිරා ගිය පසු ගැමියන් එය හඳුන්වන්නේ පොහොර ලෙසය.

මේ පොහොර සූර්ය ශක්තිය වුවත් එය අපේ ඇසට පෙනෙන්නේ ඝණ වස්තුවක් වීම නිසා ය. නවීන විද්‍යාත්මකව මෙය හඳුන්වන්නේ කොම්පෝස්ට් ලෙස ය. ඒ සුද්දාගේ වචන වලින් ය. සිංහලයන්ගේ වචනවලින් මෙය කාබනික පොහොර ය. සුද්දාගේ කාබන් වචනයට ඉක ප්‍රත්‍යය යොදාගෙන "කාබනික" ලෙස වචනය සාදා ගැනීමට ලාංකිකයින්ට සිදු වී ඇත්තේ ලංකාවේ දී නොතිබුණු දෙයක් සපයා ගත් නිසා ය. මෙම පොහොර තුළ ඇත්තේ ශක්තීන් විශේෂ හතරකි. ඒ අපෝ,තෙජෝ,වායු සහ පඨවිය. මොවුන් වෙන් වෙන්ව ගත් කළ ඇහැට නොපෙනන බලවේග නිසා ඔවුන් හඳුන්වන්නේ සතරමහා භූතයන් ලෙස ය. එහෙත් ඔවුන් හතර දෙනාම එක් වූ විට එය ඝන වස්තුවක් වෙයි. එවිට එය භූතයන්ට අයිති "භූත+ ඉක" භෞතික ඝණ වස්තුවකි. ලෝක ස්වභාවය අනුව ඇති වීම,පැවතීම,නැතිවීම අනුව කොයි මොහොතක හෝ මේ භූතයන් වෙන් වී යා යුතු ය. එ‍සේ වෙන් වීම නිසාම ජලයේ දියවන මෙම ශක්තීන් ජලය මඟින් ගසට ඇතුළු වී එම නිසා ගස එය ඔවුන්ගේ ආහාරය බවට පත් කර ගනියි. ගසක පැවැත්මට ආහාර අවශ්‍ය ය. එම ආහාර පොහොර ය. එම පොහොර ඝන වූ සුර්යය ශක්තියවුවත් එය කෑලිවලට කඩන්නේ ඇහැට නොපෙනන ක්ෂුද්‍ර ජීවියා ය. ඇහැට නොපෙනන ක්ෂූද්‍ර ජීවියාට මහා නියඟයකින් පසු පොළොව මත පතිත වූ මේ ශාක පත්‍ර තොගය කැබලි කිරීමට ශුද්‍ර ජීවී සංඛ්‍යාව විශාල ප්‍රමාණයකින් වැඩිකර ගත යුතු ය.

පොළව සරු කරන තවත් මඟක් ඇත. ඒ අකුණු ගැසීමයි. එහි විද්‍යාත්මක සත්‍යය ශාක පත්‍ර, ක්ෂුද්‍ර ජීවීන් , තෙතමනය හා අකුණු ය. එම නිසා අකුණු ගැසීමට පෙර වපුරා ගොඩට ආ යුතු ය. එම නිසා කෘෂිකර්මය කරන ගොවියා බුද්ධිමත් නම් අකුණු ගසන කාලය ගණනය කොට ඊට පෙර වගාව අවසන් කළ යුතු ය. ගැමි වහරේ ඔවුන්ගේ ප්‍රාර්ථනය වන්නේ " හෙණ ගහපන් " යන්නය. ඒ සමඟ ඔවුන් ගොවීන්ට කියන්නේ ගණන් බලන ලෙස ය. එම නිසා ගැමි වහරේ " හෙණ ගහපන්- ගණන් බලාපන් " යන්න මෝඩයන්ගේ කථාවක් නොව විද්‍යාඥයින්ගේ කථාවක් ලෙස සළකා එය බුද්ධියෙන් විමසා බැලියයුතුය.

නියම කලට ගොයම් කැපූ පසු එනම් නවම් මාසයේ දී ගොයම් කැපූ පසු නැවත අක් වැස්ස පිරීමට කලින් කුඹුරට දවස් 45 ක විරාමයක් ලැබීම අනිවාර්යය වේ. මෙම විරාම කාලය තුළ ඉපනැල්ල යටින් මතුවන වල් පෑළෑටි ක්ෂුද්‍ර ජීවින්ට අවශ්‍යය ආහාර වෙනුවෙන් සූර්යය ශක්තිය ගබඩා කර ගනියි. ගොවියන් විසින් ඉපනැල්ලේ බඳින ගවයන් එම වල් පෑළෑටි සහ ගොයම් ගස්වල මුල් කොටස ආහාරයට ගනිමින් කුඹුර පුරා හෙළන ගොම ක්ෂුද්‍ර ජීවීන් ඉල්ලා සිටින ඔවුන්ගේ ආහාරයයි. දැන් කුඹුර පුරා ඇත්තේ ක්ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය ගොම සහ ශාක සියල්ල ගලවා මේ වන විට කුඹුරට ලබා දී ඇත. දැන් ක්ෂුද්‍ර ජීවීන්ට තමන්ගේ කාර්යය ආරම්භ කිරීම සඳහා එනම් පොහොර නිෂ්පාදන කාර්යය ආරම්භ කිරීම සඳහා අවශ්‍යව ඇත්තේ අකුණු සහිත අක්වැස්ස කවදත් කල්පුරා වහියි. එය ස්වභාදහමේ නිතීයකි.

අක් වැහි කල්පුරා කවදත් වහින්නේ
දුක්විඳ රැකෙන්නට ගොවිතැන් කරන්නේ
ඔක්කොම හේන් එළිකර තබන්නේ
වප මස පුර පෝය දැන බිජු වපුරන්නේ
එසේ නොවන්නේ නම් එය සෙනසුරාගේ අපලයකි.
කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
මල්වරා නොවෙද වැසිපල නොදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ

වැසිපල නියම රටක අක්වැසි නොවැසීම සිදුවිය නොහැකිය. අප කළ යුතුව ඇත්තේ නිරන්තරයෙන් අහස නිරීක්ෂණය කිරීම පමණි. ඔබ ගොවියකු නම් කළ යුත්තේ අක්වැසි ‘‘උඩබලා’’ ලකුණු නිරීක්ෂණය කර කුඹුරු කෙටීම සඳහා බිම බැලීම ය. එම නිසා " උඩ බිම බලා වැඩ කිරීම " මිස පොහොර සහනාධාරය වෙනුවෙන් " වටපිට බලා වැඩ කිරීම නවතා දැමි ය යුතු ය.

උපදෙස් - පරිසරවේදී තිලක් කන්දේගම 

Comments