
සිළුමිණ හිටපු කාටුන් චිත්‍ර ශිල්පී කේ. කරුණාදාස මහතා වියෝවී වසර 19 ක් සපිරීම වෙනුවෙනි
සෙනෙහෙබර පියාණෙනි.
1927 අප්‍රේල් මස 19 වැනි දින වීදියගොඩදී උපත ලැබු කේ.කරුණාදාස හුදු කාටුන් චිත්‍ර ශිල්පියෙක් පමණක් නොවන්නේය. මුලික අධ්‍යාපනයෙන් අනතුරුව ගුරු පත්වීමක් ලැබ නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුවක් හා විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් අනතුරුව එතුමන් ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් ගණනාවකම සිසුනට සිංහල භාෂාව, සාහිත්‍ය, ඉතිහාසය වැනි විෂයයන් පිළිබඳ මනා දැනුමක් ලබාදෙමින් පුරා වසර තිස් පහක පමණ කාලයක් ගුරු වෘත්තියේ යෙදී සිට ඉන් පසුව විශ්‍රාම ලැබුවෙකි.
එතුමාගේ මුල්ම කාටුනය “ඇබෑර්තු නැත” නමින් 1954.09.05 වන දින ඩී.බී.ධනපාලයන්ගේ කර්තෘත්වයෙන් පළ වු “ලංකාදීප” පුවත්පතෙහි පළ වුයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මඟ පෙන්වීම යටතේය. එය අප පියාණන් ජීවත්ව සිටියදී සෑම කතාබහකදීම, හා සෑම සම්මුඛ සාකච්ඡාවකදීම පැවසුවකි.
එතුමන්ගේ කාටුන් නිර්මාණකරණයේ මුලික අරමුණ වුයේ විශේෂයෙන් සමාජයේ සැලකිල්ලට ගත යුතු වුවත් එහෙත් එවන් සැලකිල්ලකට බඳුන් නොවන අවස්ථා ගෙන හැර දැක්වීමය. ඒ අනුව එතුමන් බොහෝ විට සමාජ විචාරාත්මක කාටුන් නිර්මාණය සඳහා සීමා විය. එතුමා විශිෂ්ටතම සමාජ විචාරාත්මක තනි තීරුවේ කාටුන් සඳහා හිමි සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.
අපගේ පියාණන්ට මේ ගමන යෑම සඳහා දිරිමත් කළ අය අතුරින් මුල්තැන ගන්නී අපගේ මෑණියන්ය. එතුමිය අප පියාණන්ට සෙවණැල්ලක් මෙනි. සමහර අවස්ථාවලදී කාටුනයකට උචිත රසවත් දෙබසක් නිර්මාණය කර දෙමින් ද සෑම කාටුනයකම පළමු රස විඳින්නිය වෙමින් ද එතුමිය දයාබර සැමියා දිරිමත් කළාය.
අප මෑණියන්ගේ වියෝවින් වසරක් සපිරෙන දින පියාණන් විසින් සිළුමිණ පුවත්පතට ලියන ලද කවි පෙළක් සිහියට නැඟුණි.
සෙනෙහස බැඳුණු දෙහදක් ඒ දිනේ සිට
අහිතක් හිතා නැහැ නොවැ ඔබ මගෙන් පිට
දෙනුවන් පිය වු දා සිට හරියට අදට
වසරක් වුවද දවසක් යැයි සිතෙයි මට
ආදර රහස් වන මල් පෙති අතර ලියා
වන දෙව්ලියන් රඟ දෙන පෙම් ගීත ගයා
සැම උදයකම රස බස් සවනතෙහි තියා
සසර පුරා මා සනසනු ළඳුනි ඔයා
එතුමන්ගේ කාටුන් චිත්‍ර නිර්මාණයේ ආරම්භක පුවත්පත වන ලංකාදීපයට “පළහිලව්ව, නරිනයිදේ, සිනාවිත” ආදී නම්වලින් කාටුන් රැසක්ම ඉදිරිපත් කළේය. 1980 දී ලේක්හවුස් ආයතනයට සම්බන්ධවීමෙන් අනතුරුව “සිනාරැල්ල, බහුරු කෝලම්” යන විකට චිත්රවලින් ද “ලකී විකී, ඩෝරාගේ බෝනික්කා, නයනාගේ මනාලිය, මසුරු සිටාණෝ “යන චිත්‍ර කතාවලින් ද එම ආයතනයෙන්ම පළ වු සරසවිය පුවත්පතට “පික්චර් කෑලි” නමින් චිත්‍ර කතාවක් ද ඉදිරිපත් කරමින් එතුමන් සිය හාස්‍යය රසය මුසු කළේ එතුමන් තුළ තිබු කලා කෞශල්‍යය තුළින් අපුරු කාටුන් නිර්මාණය කරමිනි.
එපමණක් නොව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත “අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදිවලමයි” යන ගීතය ඇතුළු ගීත කිහිපයක්ම ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් ගායනා කරමින් ගායන ශීල්පියෙකු ලෙස ද කඳපොළ කුමාරතුංගයන් අධ්‍යක්ෂණය කළ බදුලු කෝච්චිය චිත්‍රපටයේ රඟපාමින් රංගන ශිල්පියෙකු ලෙස ද එතුමා සිය කුසලතා ඉදිරිපත් කළේය.
මෙම ප්‍රතිභාපුර්ණ කලා ශිල්පියාගේ විකට චිත්‍ර සමුහයකින් සමන්විත ග්රන්ථයක් එළි දක්වනු ලැබු අතර එහි මුලිකත්වය දැරුයේ සරසවිය පුවත්පතෙහි හිටපු කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාය. එසේම ලේක්හවුස් ආයතනයත්, ඇම්.ඩී.ගුණසේන සමුහ ව්‍යාපාරයේ අධ්යක්ෂ මණ්ඩලය මේ සඳහා ඇප කැප වී අප හට සහයෝගය ලබා දුනි.
තම හැකියා එක් ක්ෂේත්රයකට පමණක් සීමා නොකර ක්ෂේත්‍ර ගණනාවකම දිදුලන තරුවක්ව කලා ලොව එකළු කළ අපගේ ආදරණීය පියාණෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය පියෙක් වුයේය. එවන් හෘදයාංගම මිනිසෙකුගේ වියෝව අදින් වසර 19ක් තරම් අතීතයට දිව ගිය ද එතුමන් විසින් අප හදවත් තුළ සනිටුහන් කළ සදාදරණිය මතක සටහන් අදටත් ජීවමානය.
සෙනෙහෙබර පියාණෙනි.
සසර මතුදා නිවන් දක්නා තෙක්
ඔබ අපගේම ආදරණීය පියතුමන් වේවා !
නායනානන්ද දෙණිපිටිය - පුතා
සමදරා දෙණිපිටිය - දුව