ලොකු ලූනු හා අර්තාපල් අලකලංචිය | Page 3 | සිළුමිණ

ලොකු ලූනු හා අර්තාපල් අලකලංචිය

 ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කිරීමේ දී පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පසුගිය 02 දා මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මකවන පරිදි නැවත පෙර තිබු රුපියල් 40 දක්වා වැඩිකර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. මේ අන්දමින් ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් මිල ඉහළ යන පරිදි ආනයනික බද්ද වැඩි කරන්නේ දේශීය ලොකු ලූනු සහ අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එනවිට දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමික පියවරක් ලෙසිනි. ඉන් පැහැදිලි වන්නේ ලොකු ලූනු මෙන්ම අර්තාපල් වල ද ආනයනික මිල අඩු බවත් දේශීය මිල ඉහළ බවත් ය. ඒ මිල පරතරය අවසන් කර එකම මිලක් නිර්මාණය කර ගැනීම සදහා ආනයනික ලොකු ලූනු මෙන්ම අර්තාපල් මිල ද කෘත්‍රිමව සකස් කර ගැනීම බදු ඉහළ දැමීමේ අරමුණයි.

දේශීය ලොකු ලූනු අවශ්‍යතාව සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 200,000 හා 220,000 අතර පවතී. එම අවශ්‍යතාවට දේශීය ලොකු ලූනු නිෂ්පාදනය කරන්නේ සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 80,000ක් පමණි. එය සමස්ත දේශීය ලොකු ලූනු පරිභෝජනයෙන් 36%ක සැපයුමකි. ඒ අනුව සමස්ත ලොකු ලූනු අවශ්‍යතාවෙන් 64%ක්ම ආනයනය කෙරේ. රටේ ලොකු ලූනු අවශ්‍යතාව තෘප්ත කිරීම සඳහා විවිධ ආණ්ඩු විසින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ ද අපරට තවමත් ලොකු ලූනුවලින් ස්වයං පෝෂිතවීමට සමත්ව නැත. මෙහි බරපතළම ප්‍රශ්නය වන්නේ ලොකු ලූනු නිෂ්පාදනය කිරීමේ දී ලංකාවේ අධික නිෂ්පාදන පිරිවැයයි.

නිෂ්පාදනය කරන්නා වූ ලොකු ලූනු සහ අර්තාපල් ධාරිතාව අවමවීම හා ඊට අවශ්‍ය යෙදවුම්වල මිල වැනි ගැටලු නිසා ලොකු ලූනු සහ අර්තාපල් නිෂ්පාදනය කිරීමේ පිරිවැය ඉහළ මට්ටමක පවතී. මේ නිසා නිෂ්පාදන වියදම අධික වන අතර එය පිරිමසා ගැනීමට ලොකු ලූනු සහ අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා නියම වන මිල ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් කිලෝ ග්‍රෑමයක මිලට වඩා බෙහෙවින් ඉහළ ය. ඒ නිසා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පදනමින් ආණ්ඩුව කරන්නේ බද්දක් පනවා මිල සමාන කිරීමයි. නිදහස් වෙළෙද පළට රජය මේ අන්දමින් අත පෙවීම ඉතාම ප්‍රාථමික ක්‍රියාවක් වුවද පත්වන සෑම ආණ්ඩුවකම වෙළෙඳපොළ උපක්‍රමය එයවීම කනගාටුදායකය. මේ අන්දමින් ආනයනික ලොකු ලූනු සහ අර්තාපල්වලට පනවන බද්ද නිසා රජය උපයන ආදායම අති මහත්ය. ඒ ආදායම ලොකු ලූනු සහ අර්තාපල් ගොවියාගේ යහපත සඳහා යොදවන්නේ නම් එය යම් තරමකින් සාධාරණ ය. නමුත් එම ආදායම රජයේ වෙනත් වැය බර පියවා ගැනීම සඳහා යොදවන අතර ලොකු ලූනු සහ අර්තාපල් ගොවීන් 45,000ක් පමණ රැක ගැනීම සඳහා මහ ජනතාව තම පොකැට්ටුවෙන් වැඩිපුර වියදම් කළ යුතුය. විවෘත වෙළෙඳපොළේ අඩු මිලට ගත හැකි පරිභෝජන භාණ්ඩ සඳහා වැඩි මිලක් වැය වන ලෙස රජය මැදිහත්වීම වෙළෙඳපොළ න්‍යායන්ට අතිශයෙන්ම පරස්පර ය.

දේශීය වශයෙන් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය අගය කළ යුත්තකි. එසේම පාරිභෝගිකයන්ට අවම මිලකට භාණ්ඩ ලබාදීමත් කළ යුත්තකි. මේ කාරණා දෙකම තෘප්ත වන ලෙස වෙළෙඳපොළ නියාමනය කිරීම රජයක අනිවාර්ය වගකීමයි. එහෙත් පත්වන සියලු ආණ්ඩු ආන්තිකව කටයුතු කිරීම මගින් ඇති කරන්නේ බරපතළ ආර්ථික ව්‍යසනයකි. ඒ නිසා ලොකු ලූනු හා අර්තාපල් අස්වනු නෙළන කාලයට පාරිභෝගිකයනට අධික මිලක් ගෙවන්නට සිදු වෙයි.

මේ උභතෝකෝටිකයෙන් ගැලවීමට නම් දේශීය නිෂ්පාදන වියදම අවම කළ යුතුයමය. සාමාන්‍යයෙන් දේශීය ලොකු ලූනු සහ අර්තාපල් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමට ප්‍රබල හේතුවක් වන්නේ බීජ මිලෙහි පවතින සාපේක්ෂ අධිකතාවයි. ලොකු ලූනු සහ අර්තාපල් බීජ නිෂ්පාදනය ක්‍රමවත්ව නොකෙරෙන අතර ඒ නිසා ඒවා ඉහළ මිලක පවතී. අවම නිෂ්පාදනයක් සිදුවන විට පිරිවැය ඉහළ යෑම සාමාන්‍ය වෙළෙඳපොළ සිද්ධාන්තයකි. එසේම එම ලොකු ලූනු සහ අර්තාපල් නිෂ්පාදනය වෙන්නේ ද කුඩා ක්ෂේත්‍ර හිමි සුළු පරිමාණ ගොවීන් මගිනි. ගොවි ක්ෂේත්‍රය කුඩා කුඩා කැබලි බවට පත්ව තිබීම ද නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමට බලපායි. එසේම යෙදවුම්වල මිල අධික ලෙස ඉහළ යෑමද නිෂ්පාදන මිල උපරිම වීමට තවත් අතකින් බලපායි.

ශ්‍රි ලංකාවට ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කරන බොහෝ රටවල් ඒවා නිෂ්පාදනය කරන්නේ මහා පරිමාණයෙනි. එනිසා එම රටවල නිෂ්පාදන වියදම අවම මට්ටමක තබා ගැනීමට ඔවුහු සමත් ය. ඒ නිසා එම නිෂ්පාදනයන් ලංකාවට ආනයනය කළ පසුව ද අවම මිලකට ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වී තිබේ. නමුත් ඒ වාසිය ලාංකික ලොකු ලූනු ගොවියාට නොමැත. එනිසා එහි වන්දිය ගෙවන්නේ පාරිභෝගික මහජනතාවයි.

රටක් ස්වයං පෝෂිතවීම අගය කළ යුතු කාරණාවක් වුවද සියලු පාරිභෝගික භාණ්ඩවලින් ස්වයං පෝෂිතවීම මිථ්‍යාවකි. රටක් ලෙස අප සලකා බැලිය යුත්තේ අවම නිෂ්පාදන පිරිවැයක් රඳවා තබා ගැනීමට හැකි පාරිභෝගික භාණ්ඩවලින් ස්වයං පෝෂිත වන්නටය. නිෂ්පාදන පිරිවැය අධික භාණ්ඩ වලින් ස්වයං පෝෂිත වන්නට උත්සාහ දැරීමේ වන්දිය ගෙවන්නට වන්නේ රටේ පාරිභෝගික මහ ජනතාවට ය. වෙළෙඳපොළ ප්‍රතිපත්තිවලට රජයේ මෙම හැසිරීම ඉඳුරා පටහැනිය.

ගොවීන්ට යැපීම සදහා ක්‍රමයක් නොමැති වන ලෙස ආර්ථික ප්‍රතිපත්ති සැකසීම අයහපත් ය. එසේම පාරිභෝගිකයන් අසරණ වන ලෙස ආර්ථික ප්‍රතිපත්ති සැකසීම ද අයහපත් ය. රජය වෙළෙඳපොළ නියාමනය කරමින් කළ යුත්තේ නිෂ්පාදන වියදම අවම වගා සඳහා ගොවීන් පෙලඹවීම ය. නිෂ්පාදන වියදම අධික එහෙත් ලෝක වෙළෙඳපොළේ මිල අඩු පාරිභෝගික අවශ්‍යතා ආනයනය කිරීම ය. එසේ නොවන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව අගාධයට ඇද වැටීම වැළැක්විය නොහැක.

කේ. ජී. පිලිප් ශාන්ත 

Comments