ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ට ශ්‍යාම රාජ සම්මානය | Page 2 | සිළුමිණ

ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ට ශ්‍යාම රාජ සම්මානය

 මවු රටේ සිදුකරනු ලබන ජාතික, ආගමික හා ශාසනික සේවාව හා ජත්‍යන්තර වශයෙන් ථෙරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා සිදුකරනු ලබන සේවාව අගයමින් තායිලන්ත රජය මගින් සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරාධිපති, ආචාර්ය ගොඩගම මංගල නාහිමියන් වෙත ශ්‍යාම රාජ සම්මානය පිරිනමා ඇත.

තායි රජ ප්‍රමුඛ රජ පවුලේ සංකල්පයකට අනුව එරට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් මෙම සම්මානය සඳහා මෙවර බුරුමයෙන්, කාම්බෝජයෙන් හා ශ්‍රීලංකාවෙන් භික්ෂූන් වහන්සේ සිවු නමක් තෝරාගෙන තිබේ.

දිවංගත බූමිබෝල් (Bhumibol)තායිලන්ත රජු 1999 වසරට යෙදුණු තම හැට වැනි රාජ්‍යය වර්ෂය නිමිත්තෙන් එරට ජාතික, ආගමික හා ශාසනික සේවා කළ විශිෂ්ටයින් තෝරාගෙන සම්මාන ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ අතර ඔහුගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත්වූ මහා වජිරලන්කෝන් (Maha Vajiralongkorn)රජු එම සම්මානය රටින් පිටත අයටද ලබා දීම සඳහා කටයුතු කරනු ලැබීය.

ඒ ඔස්සේ ප්‍රථම වරට ශ්‍යාම රාජ සම්මානය තායිලන්ත පුරවැසියන් නොවන අයට ලබාදීම මෙම වසරේදී ආරම්භ කෙරුණු අතර එහිදී ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ට අමතරව සම්මානයට පාත්‍රවූයේ කාම්බෝජයේ හා බුරුමයේ සංඝරාජ හිමිවරු තෙනමකි.

බෞද්ධ පාසලක් ආරම්භ කර ගුණවත් සිසු පරපුරක් බිහි කිරීමට උරදීම, රංගිරි දඹුලු රජමහ විහාරයේ විහාරාධිපති ලෙස ශාසනික හා ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමට පියවර ගැනීම, එක්සත් ජාතීන්ගේ ජත්‍යන්තර වෙසක් දින සැමරුම් විධායක කමිටු සාමාජිකයෙකු ලෙස වසර 2008 සිට කටයුතු කිරීම,ජත්‍යන්තර වෙසක් උත්සවය තායිලන්තයේ පැවැත්වූ අවස්ථාවේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ඊට සහයෝගය දැක්වීම, ශ්‍රීදළදා මාලිගාවට අනුබද්ධිත පල්ලේකැලේ ජත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම පිණිස තායිලන්තයේ චූලා ලංකකෝන් විශ්ව විද්‍ය හා සම්බන්ධවී කටයුතු කිරීම,චීනයේ යුන්තාන් පළාතේ බෞද්ධ සංගමය හා සම්බන්ධවී එරටේ ථෙරවාදී සම්ප්‍රදාය ඇති කිරමට පියවර ගැනීම, එරට බෞද්ධ විද්‍යාලයක් ස්ථාපිත කිරීමට ශ්‍රීලංකාව වෙනුවෙන් සම්බන්ධ වීම, පාලි විශ්වවිද්‍යාලයක් චීනයේ ස්ථාපිත කිරීමට යෝජනා කිරීම හා ඒ වෙනුවෙන් අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීම ඇතුළු මංගල නාහිමි විසින් සිදුකරන ලද සේවා රැසක් මෙහිදී ඇගයීමට ලක්කර ඇත.

තායිලන්ත රජ පවුලේ සාමාජිකා චක්‍රී සිරින්ඩ්හොම් (Chakri Srindhom)කුමරිය අතින් මෙම සම්මානය පිළිගැන්වූ අතර තායිලන්ත සංඝරාජ නාහිමියන්ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

Comments