

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හයවැනිදා ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
මෙම තරගාවලියේ දෙවැනි තරගය 14 දා ශාන්ත ලුෂියාහි දී පැවැත්වෙන අතර තෙවැනි තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස 23 දා බාර්බෙඩෝස්හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව්හි තරග සංචාරයකට එක්වන්නේ දිගු කාලයකට පසුවය.
දිෙන්ෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර ජේසන් හෝල්ඩර් සමඟ බටහිර ඉන්දීය කොදෙව්වන් පිටියට පිවිසෙති. මෙම තරගාවලියට එක්වන විට ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානයේ පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව්වන් නවවැනි ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර මෙතෙක් පවත්වා ඇත්තේ ටෙස්ට් තරගාවලි අටකි. අවසන් වරට ශ්‍රී ලංකාව කොදෙව්හි ටෙස්ට් තරගාවලියට එක්ව ඇත්තේ 2007 - 08 තරගවාරයේදීය. තරග දෙකකින් සමන්විත වූ එකී තරගාවලිය 1 - 1 ක් ලෙස ජය ගැනීමට දෙපිල සමත් විය. දෙපිල අතර මෙතෙක් තරග 17 ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 8 ක් සහ කොදෙව්වන් තරග 3 ක් ජය ගෙන තිබේ. තරග 6 ක් ජය පරාජයෙන් තොරව අවසන්ව තිබේ.











