පාපන්දු කිරුළේ ඒ තරු අතර මේ තරු පායයිද? | සිළුමිණ

පාපන්දු කිරුළේ ඒ තරු අතර මේ තරු පායයිද?

වත්මනදි ලෝක පාපන්දු ක්‍රීඩාවේ සුපිරිතම තරු ත්‍රිත්වයකි. ඒ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී, බ්‍රසීලයේ නේමාර් සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝය.

එසේ වුවත් ඔවුන් මෙන්ම දක්ෂතාවයන්ගෙන් පිරිපුන් තවත් පාපන්දු ක්‍රීඩකයෝ ලොව පුරාම සිටිති. නමුත් ඉහත සුපිරි තරු ත්‍රිත්වයට මෙන්ම ඔවුනට මාධ්‍ය මඟින් සුවිශාල වූ ප්‍රචාරයක් ලැබෙන්නේ නැත.

නමුත් මේ සියලුම දෙනාටම සමාන ප්‍රසිද්ධියක් ලැබෙන අවස්ථාවක් උදා වෙයි. ඒ සෑම සිවුවසරකට වරක්ය. එනම් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මගින්ය. 2018 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ රුසියාවේදීය. සුපුරුදු පරිදි එහිදීත් සිය දක්ෂතා තුළින් ලක්ෂ සංඛ්‍යාත වූ පාපන්දු ක්‍රීඩා ලෝලීන් ආකර්ෂණය කිරීමට වෙනත් පාපන්දු තරු සැදී පැහැදී සිටිති.

බොහෝ විට පාපන්දු ක්‍රීඩාවේදී ඉදිරිපෙළ ක්‍රීඩකයන්ට විශේෂිත ස්ථානයක් හිමි වෙති. ඒ ඔවුන්ගේ ප්‍රධානතම කාර්යය වන්නේ ගෝල් රැස් කිරීම වන බැවිනි.

මේ වනවිට සුපිරිතම ඉදිරිපෙළ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම සිටිති. ඒ අතරට ඊජිප්තුවේ මොහොමඩ් 'මෝ' සලාහ්, උරුගුවේ ලුයිස් සුවාරෙස්, ඔස්ට්‍රේලියාවේ ටිම් කේහිල්, ප්‍රංශයේ ඇන්ටොයින් ග්‍රිෂ්මාන්, බ්‍රසීලයේ ගේබ්රියෙල් ජීසස්, ජර්මනියේ තෝමස් මුලර්, දකුණු කොරියාවේ සොන් හියුන්ග් මින්, එංගලන්තයේ හැරි කේන්, පෝලන්තයේ රොබර්ට් ලෙවන්ඩොව්ස්කි සහ සෙනගාලයේ සාඩියෝ මානේ අයත්ය.

ඊජිප්තුවේ මෝ සලාහ් සිය 26 වැනි උපන් දිනය ලෝක කුසලාන තරගාවලිය සමයේදී සමරයි. මෙවර යුරෝපීය චැම්පියන්ස් ලීග් තරගාවලියේ අනුශූරයන් වූයේ එංගලන්තයේ ලිවර්පුල් කණ්ඩායමයි. ඒ සඳහා විශාලතම දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයා වූයේ සලාහ්ය. එමෙන්ම වසර 28 කට පසුව ලෝක කුසලාන තරගාවලියට ඊජිප්තුව සුදුසුකම් ලබා ගැනීම සඳහාත් හෙතෙම විශාල දායකත්වයක් සැපයිය.

එසේ වුවත් ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් පිලට එරෙහිව පැවැති චැම්පියන්ස් ලීග් අවසන් තරගයේදී සලාහ් උරහිස ආබාධයකට ලක්වූයේය. කෙසේ හෝ ඔහුට තම ප්‍රථම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. ඔහුට ජාත්‍යන්තර තරග 57 කදී ගෝල් 33 කි.

පෝලන්තයේ 29 හැවිරිදි ලෙවන්ඩොව්ස්කිත් මෙවර සහභාගි වනුයේ තම මංගල ලෝක කුසලාන තරගාවලියටයි. ජර්මනියේ බයර්න් මියුනික් කණ්ඩායමට ඔහු ක්‍රීඩා කරයි. ඔහු දැනට ජාත්‍යන්තර තරග 93 කදී ගෝල් 52 ක් රැස් කරගෙන සිටියි. එය ජාතික වාර්තාවකි.

මෙවර තරගාවලියට සහභාගි වන අප්‍රිකානු කලාපයේ සුපිරිතම ඉදිරිපෙළ තරු දෙදෙනෙකි. ඒ සලාහ් සහ සෙනගාලයේ මානේය. 26 හැවිරිද මානේට ජාත්‍යන්තර තරග 49 කදී ගෝල් 14 කි. ඔහුත් ලිවර්පුල් පිලට ක්‍රීඩා කරයි. මෙවර චැම්පියන්ස් ලිග් අවසන් තරගයේදී ලිවර්පුල් පිල වාර්තා කර ගත් එකම ගෝලය රැස් කළේත් මානේමය.

2018 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධානතම එමෙන්ම සුපිරිතම ඉදිරිපෙළ ක්‍රීඩකයා ලෙසට දකුණු කොරියාවේ සොන් හියුන්ග් මින් හැඳින්විය හැකිය.

ඔහුත් සිය 26 වැනි උපන් දිනය ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන විට සැමරීමට නියමිතයි. මේ වන විට ජාත්‍යන්තර තරග 63 කදී ඔහුට ගෝල් 20 කි. ඔහු 2014 ලෝක කුසලාන තරගාවලියටත් සහභාගිවිය. හෙතෙම මේ වන විට වෘත්තියමය මට්ටමින් එංගලන්තයේ ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

බ්‍රසීලයේ සුපිරිතම තරුව නේමාර්ය. එසේ වුවත් ඉදිරියේදී එම ස්ථානය හිමිකර ගනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තු වන ඉදිරිපෙළ ක්‍රීඩකයකුත් මෙවර තරගාවලියට සහභාගි වෙයි. ඒ ගේබ්රියෙල් ජීසස්ය.

2016 වසරේ සිට ඔහු ජාත්‍යන්තරව ක්‍රීඩා කරයි. මේ වන විට තරග 15 කදී ගෝල් 09 ක් ඔහු රැස් කරගෙන තිබේ. මෙවර එංගලන්තයේ ප්‍රිමියර් ලීග් ශූරයෝ වන මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට හෙතෙම ක්‍රීඩා කරයි. ඔහු තවමත් 21 හැවිරිදිය.

ජර්මනියට 2010 වසරේදී ලෝක කුසලාන තරගාවලියේදී තෙවැනි ස්ථානයයි. 2014 දී ලෝක ශුරතාවයයි. මේ ද්විත්ව අවස්ථාවන්හිදීම ඒ සඳහා විශාලතම දායකත්වය ලබා දුන්නේ තෝමස් මුලර්ය.

මුලර් එම තරගාවලියන්හිදී ගෝල් පහ බැගින් රැස් කර ගත් මුළු ගෝල් ගණන 10 කි. 28 හැවිරිදි මුලර්ට ජාත්‍යන්තර තරග 90 කදී ගෝල් 38 කි. ඔහු ක්‍රීඩා කරන්නේ බයර්න් මියුනික් කණ්ඩායමටයි.

වසර 20 කට පසුව යළිත් වතාවක් ලෝක ශූරයෝ වීම මෙවර ප්‍රංශයේ බලාපොරොත්තුවයි. ඒ සඳහා ඇන්ටොයින් ග්‍රිෂ්මාන් දස්කම් අතර රැඳී සිටීම අත්‍යවශ්‍ය වෙයි. 27 හැවිරිදි ග්‍රිෂ්මාන් ජාත්‍යන්තර තරග 51 කදී ගෝල් 19 ක් රැස් කර ගෙන සිටියි. ඔහු ස්පාඤ්ඤයේ ඇත්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරයි.

38 හැවිරිදි ටිම් කේහිල් කැන්ගරු දේශය නියෝජනය කරමින් මෙවර සහභාගි වන්නේ තම සිවුවැනි ලෝක කුසලාන තරගාවලියටයි. දැනට ඔහුට ජාත්‍යන්තර තරග 105 කදී ගෝල් 50 කි. එය ජාතික වාර්තාවකි.

උරුගුවේ හි සුපිරිතම ඉදිරිපෙළ ප්‍රහාරකයා වනුයේ ලුයිස් සුවාරෙස්ය. 31 හැවිරිදිය. ජාත්‍යන්තර තරග 97 කදී ගෝල් 50 ක් ඔහුට හිමිය. කලක් එංගලන්තයේ ලිවර්පුල් කණ්ඩායම නියෝජනය කළේය. වත්මනදී ස්පාඤ්ඤයේ බාර්සිලෝනාය.

මෙවර ලෝක කුසලානයට සහභාගි වන එංගලන්තයේ නායකයා වන්නේ 24 හැවිරිදි හැරි කේන්ය. මෙය ඔහුගේ මංගල ලෝක කුසලාන තරගාවලියයි. එංගලන්තයට තවමත් හිමිකර ගැනීමට හැකි වී තිබෙන්නේ එක් පාපන්දු ලෝක කුසලානයක් පමණකි. ඒ 1966 වසරේදී එංගලන්තයේදීමය.

නැවතත් ලෝක ශූරයෝ වීමට නම් කේන් මෙවර දස්කම් අතර සිටිය යුතුමයි. එංගලන්තයේ ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායමට ඔහු ක්‍රීඩා කරයි. දැනට ඔහුට ජාත්‍යන්තර තරග 23 කදී ගෝල් 12 කි.

Comments